කියවීම්
2027 සැප්තැම්බර් 24
Ordinary Weekday
දවසේ දේව මෙහෙය
First Reading
හග්ගයි 2: 1-9
1එම අවුරුද්දේ ම හත් වන මාසයේ විසිඑක් වන දා සමිඳාණන් වහන්සේ දිවැසිවර හග්ගයි මඟින් කතා කළ සේක.
2ජුදාහි ආණ්ඩුකාර වූ ෂෙයල්තියෙල්ගේ පුත් සෙරුබ්බාබෙල්ටත්, ජෙහෝශාදාක්ගේ පුත් උත්තම පූජක වූ ජෝෂුවාටත් සෙනඟ අතර ඉතිරි වූ සියල්ලන්ටත් මෙසේ කියන්නට උන් වහන්සේ හග්ගයිට නියම කළ සේක:
3මේ දේව මාලිගාවේ මුලින් තිබූ තේජස දුටු යමෙක් නුඹලා අතරෙහි ඉතිරි ව සිටිත් ද? දැන් නුඹලාට මෙය පෙනෙන්නේ කෙසේ ද? මේ ගැන නුඹලාගේ ම සිතේ කැක්කුමක් නැද් ද?
4එහෙත්, සෙරුබ්බාබෙල් ධෛර්යවත් වන්න. සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. අහෝ! උත්තම පූජක ජෝෂුවා, ජෙහෝශාදාක්ගේ පුත්‍රය, ධෛර්යවත් වන්න. දේශයේ සියලු වැසියෙනි, ධෛර්යවත් වන්න. වැඩ පටන් ගන්න; මම නුඹලා සමඟ සිටිමි යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.
5නුඹලා මිසරයෙන් පිට වී ආ කල මම නුඹලා සමඟ නිරන්තරයෙන් සිටින බවට පොරොන්දු දුන් ප්‍රකාරයට මාගේ ආත්මානුභාවය තවමත්, නුඹලා සමඟ ය. ඒ නිසා බිය නොවන්න.
6සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ”නොබෝ කලකින් මම අහස සහ පොළොවත්, මුහුද සහ ගොඩබිමත් සොලවන්නෙමි.
7සියලු ජාතීන් ද සොලවන්නෙමි. ඔවුන්ගේ වස්තුව මෙහි ගලා එන්නේ ය.
8සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ කියන සේක. මම දේව මාලිගාව තේජසින් පුරවන්නෙමි. රිදී මාගේ ය; රන් ද මාගේ ය.
9අලුත් දේව මාලිගාවේ තේජාලංකාරය පැරණි දේව මාලිගාවේ අලංකාරය ඉක්මවා යන්නේ ය. එහි මාගේ සෙනඟට සෞභාග්‍යයත්, ශාන්තියත් දෙන්නෙමි. මෙසේ පවසන්නේ සියලු බලැති සමිඳාණන් වහන්සේ වන මම ය.”
Responsorial Psalm
ගීතාවලිය 43: 1, 2, 3, 4
1දෙවිඳුනි, අභක්තික සෙනඟට එරෙහි ව, මා වෙනුවෙන් කරුණු කියා මා නිදහස් කළ මැනව. කපටි, අසාධාරණ මිනිසුන්ගෙන් මා මුදාගත මැනව.
2මාගේ ආරක්ෂාකරු ඔබ ය; මා අත් හැරියේ මන් ද? සතුරාගෙන් පීඩා විඳ විලාප කීමට මට ඉඩ හැරියේ මන් ද?
3ඔබේ ආලෝකය හා සත්‍යය මට දුන මැනව; ඒවායින් මට මඟපෙන්වීම ලැබී, ඔබේ ශුද්ධ සියොන් පව්වට ආපසු ගොස්, ඔබේ වාසභවනය වන දෙව් මැදුරට පිවිසීමට මට ලැබේවා.
4දෙවියෙනි, මාගේ දෙවියෙනි, එවිට මම දිව්‍ය පූජාසනය වෙත, මාගේ පස්වණක් ප්‍රීතිය වන දෙවිඳුන් වෙත ගොස් වීණා වාදනයෙන් ඔබ පසසන්නෙමි.
Alleluia
ශුද්ධ වූ මාර්ක් 10: 45
45කුමක් හෙයින් ද මනුෂ්‍ය-පුත්‍රයාණන් වුව ද වැඩියේ, සේවය ලැබීමට නොව සේවය කිරීමට ය; බොහෝ දෙනා උදෙසා මිදීමේ මිලයක් වී සිය දිවි පිදීමට ය.”
Gospel
ශුද්ධ වූ ලූක් 9: 18-22
18ඉන්පසු උන් වහන්සේ තනියම යාච්ඤා කරද්දී ශ්‍රාවකයෝ උන් වහන්සේ සමඟ සිටියහ. එවිට උන් වහන්සේ, ”මහජනයා මා කවරෙකැ යි කියද්දැ”යි ඔවුන්ගෙන් ඇසූ සේක.
19ඔව්හු, ”සමහරු ‘ස්නාවක-ජොහන් ය’ කියාත් සමහරු ‘එලියා ය’ කියාත් අන් සමහරු, ‘ආදියෙහි සිටි දිවැසිවරයන්ගෙන් කෙනෙක් නැවත උත්ථාන වී ය’ කියාත් කියති”යි පිළිතුරු දුන්හ.
20එහෙත්, ඔබ! ඔබ මා කවරෙකු කියා කියන්නහු දැ”යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. ”ඔබ දෙවියන් වහන්සේගේ ක්‍රිස්තුවරයාණෝ ය”යි පේදුරු පිළිතුරු දුන්නේ ය.
21උන් වහන්සේ මෙය කිසිවෙකුට නොකියන ලෙස ඔවුන්ට තදින් අණ දුන් සේක.
22තවද, ”මනුෂ්‍ය-පුත්‍රයාණන් බොහෝ දුක් වේදනා විඳින්ටත්, ප්‍රජා මූලිකයන් ද නායක පූජකවරයන් ද විනයධරයන් ද විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්න හා මරනු ලබන්ටත් තෙ වන දින යළි මරණින් උත්ථාන කරනු ලබන්ටත් නියම ව ඇතැ”යි වදාළ සේක.