සැප්තැම්බර් 2027

බ්‍ර සි සෙ
1234
567891011
12131415161718
19202122232425
2627282930
අද දිනට

කියවීම්

2027 සැප්තැම්බර් 20

Andrew Kim Taegon, Priest, Martyr, Paul Chong Hasang, Catechist, Martyr, and Companions, Martyrs Obligatory Memorial

දවසේ දේව මෙහෙය
First Reading

එස්රා 1: 1-6

1පර්සියාවේ රජ වූ සයිරස්ගේ පළමු වන අවුරුද්දේ දී, සමිඳාණන් වහන්සේ ජෙරමියා මඟින් ප්‍රකාශ කළ වචනය ඉටු වන පිණිස, උන් වහන්සේ පර්සියාවේ රජ වූ සයිරස්ගේ සිත උද්‍යෝගවත් කළ සේක. ඔහු තමාගේ රාජ්‍යයේ සතර දිග් භාගයෙහි ප්‍රසිද්ධියේ කියවන පිණිස ප්‍රකාශනයක් නිකුත් කෙළේ ය. 2එය මෙසේ ය: ”පර්සියාවේ රජු වන සයිරස් තෙමේ මෙසේ කියයි: ‘ස්වර්ගයේ දෙවි සමිඳාණන් වහන්සේ පොළෝ තලයෙහි සියලු රාජ්‍යයන් මට දී තිබේ. තවද, උන් වහන්සේ ජුදාහි ඇති ජෙරුසලම් නගරයෙහි උන් වහන්සේට මාලිගාවක් ගොඩනඟන්නට මට අණ කර තිබේ. 3උන් වහන්සේගේ මුළු සෙනඟගෙන් ඔබ අතරේ සිටින කවර මිනිසකේ හෝ වේවා, දෙවි සමිඳාණන් වහන්සේ ඔහු සමඟ වැඩ සිටින සේක් වා! ඔහු ජුදාහි ඇති ජෙරුසලමෙහි සිටින ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ මාලිගාව ගොඩනඟන්නට ජෙරුසලමට යා යුතු ය. උන් වහන්සේ වූ කලී, ජෙරුසලමේ වැඩ සිටින දෙවියන් වහන්සේ ය. 4යම් ජුදෙව්වෙක් ඉතිරි ව යම් තැනක සිටී ද, ඒ ස්ථානයේ සිටින මනුෂ්‍යයෝ ජෙරුසලමේ තිබෙන දෙවියන් වහන්සේගේ මාලිගාව උදෙසා සිය කැමැත්තෙන් දෙන පඬුර හැර, රන් රිදී ද බඩුබාහිරාදිය හා ගවමහිෂයන් ද දෙමින් ඔහුට උපකාර කරත් වා!’ ” 5ජෙරුසලමෙහි සමිඳාණන් වහන්සේගේ මාලිගාව ගොඩනඟන පිණිස, දෙවියන් වහන්සේ විසින් සිත් උද්‍යෝගවත් කරවන ලද සියලු දෙනා ම එනම්, ජුදාවරුන්ගේත්, බෙන්ජමින්වරුන්ගේත් පිය වංශවල ප්‍රධානීහු ද පූජකයෝ ද ලෙවීවරු ද එහි යන්නට සූදානම් වූ හ. 6ඔවුන් අවට සිටි සියල්ලෝ ද සිය කැමැත්තෙන් දුන් නා නා විධ පඬුරුවලට අමතර ව රිදී භාණ්ඩ ද රන් ද බඩුබාහිරාදිය ද ගවමහිෂයන් ද අනර්ඝ දේවල් ද යන මේවායින් ඔවුන්ට උපකාර කළහ.
Responsorial Psalm

ගීතාවලිය 126: 1b-2ab, 2cd-3, 4-5, 6

1සමිඳුන් අප මුදා සියොනට ගෙනා කල, අපට එය සිහිනයක් මෙන් විය. 2එවිට අපි සිනාවෙන් ඉපිලී ගියෙමු; ප්‍රීතියෙන් ගී ගායනා කෙළෙමු. එවිට, ”සමිඳාණෝ මොවුන් උදෙසා ඉමහත් දේ කළ සේකැ”යි විජාතීහු කියන්නට ගත්හ. 3සමිඳාණෝ අප උදෙසා ඉමහත් දේ කළ සේක; එබැවින් අපි සන්තෝෂ වමු. 4සමිඳුනි, අපේ b සිරකරුවන් දකුණු දිශාවේ ගලා යන ඇල දොළ මෙන් අපට යළි ගෙන දුන මැනව. 5දුකින් කෙත වපුරන්නෝ තුටින් අස්වැන්න නෙළාගන්නෝ ය. 6ඔව්හු වී මලු රැගෙන කඳුළු සල සලා පිටත් ව ගිය නමුත්, තම ගොයම් මිටි රැගෙන ප්‍රීතියෙන් පින පිනා ආපසු ආහ.
Alleluia

ශුද්ධ වූ මතෙව් 5: 16

16එමෙන්ම මිනිසුන් ඔබේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයෙහි වැඩ වසන ඔබේ පියාණන් වහන්සේට ප්‍රශංසා කරන පිණිස, ඔබේ ආලෝකය ඔවුන් ඉදිරියෙහි බබළවන්න.”
Gospel

ශුද්ධ වූ ලූක් 8: 16-18

16කිසිවෙකු පහනක් දල්වා බඳුනකින් වසන්නේ වත් යහනක් යට තබන්නේ වත් නැත; එහෙත්, ඇතුළු වන්නන්ට එළිය පෙනෙන පිණිස පහන්රුක උඩ තබති. 17ඒ නිසා හෙළි කරනු නොලබන සැඟවුණු දෙයක් නැත; නොහොත් ප්‍රකාශයට පත් නොවන, හෙළි නොවන කිසි රහසක් ද නැත. 18එබැවින් ඔබ සවන් දෙන්නේ කෙසේ දැ යි විමසිල්ලෙන් සිටින්න. මන්ද, යමක් ඇති තැනැත්තාට දෙනු ලැබේ; යමක් නැති තැනැත්තාගෙන්, තමාට ඇතැ යි සිතන දෙය පවා පැහැරගනු ලැබේ.”