කියවීම්
2027 සැප්තැම්බර් 4
Ordinary Weekday/ Optional Memorial of the Blessed Virgin Mary
Optional Memorial of the Blessed Virgin Mary
First Reading
කොලොස් 1: 21-23
21පසුගිය කාලයේ දී ඔබ දෙවියන් වහන්සේගෙන් ඈත් වී සිටියහු ය. ඔබේ නපුරු ක්‍රියා නිසා ඔබ උන් වහන්සේට සිතින් සතුරු ව සිටියහු ය.
22එහෙත් දැන් දෙවියන් වහන්සේ ස්වකීය පුත්‍රයාණන්ගේ ජීවිතය හා මරණය කරණකොටගෙන තමන් හට ඔබ සමඟි කරගත් සේක. එසේ කෙළේ ඔබ ශුද්ධ, නොකැළැල්, නිදොස් අය හැටියට දැන් උන් වහන්සේ ඉදිරියට පමුණුවාගැනීම සඳහා ය.
23එය ඉටු වීමට නම්, ඔබ ඇදහිල්ලේ නිරත ව සිටිමින්, සුබ අස්නේ බලාපොරොත්තුවෙන් පිට නොගොස්, එය පදනම් කොටගෙන ස්ථීර ව පැවතිය යුතු ය. ඔබ ඇසූ සුබ අස්න අහසින් යට සැමදෙනට ම ප්‍රකාශ කර ඇත. පාවුලු නම් මම ඒ සුබ අස්නේ සේවකයෙක් වීමි.
Responsorial Psalm
ගීතාවලිය 54: 3-4, 6 and 8
3විදේශිකයෝ මට විරුද්ධ ව නැඟිට්ටෝ ය; සාහසිකයෝ මා මරන්නට සෙවුවෝ ය. මාගේ අධිපතියාණන් දෙවිඳුන් බව ඔව්හු නොපිළිගත්තෝ ය.
4දෙවිඳාණෝ මාගේ සහායට වඩින සේක; සමිඳාණෝ මාගේ දිවියට රැකවරණය දෙන සේක.
6තුටුපහටු සිතින් මම ඔබට පඬුරු පුදන්නෙමි. සමිඳුනි, සැබැවින් ම ඔබ යහපත් බැවින් මම ඔබේ නාමය පසසන්නෙමි.
Alleluia
ශුද්ධ වූ ජොහන් 14: 6
6ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”මාර්ගය ද සත්‍යය ද ජීවනය ද මම වෙමි; මා මඟින් මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙත නොපැමිණෙන්නෝ ය.
Gospel
ශුද්ධ වූ ලූක් 6: 1-5
1එක් සබත් දිනක ජේසුස් වහන්සේ කෙත් යායක් මැදින් ගමන් කරන විට උන් වහන්සේගේ ශ්‍රාවකයෝ කරල් කඩා අතින් පොඩි කර කෑ හ.
2එවිට පරිසිවරුන්ගෙන් සමහරෙක්, ”සබත් දිනයේ දී නොකටයුත්තක් ඔබ කරන්නේ මන්දැ”යි ඇසූ හ.
3ජේසුස් වහන්සේ උත්තර දෙමින්, ”දාවිත් රජු තමන්ට ද සිය පිරිවරට ද බඩගිනි වූ විට කළ දේ,
4එනම්, දෙවියන් වහන්සේගේ ගෘහයට ඇතුළු ව, පූජකයන් මිස අන් කෙනෙකුන් අනුභව නොකළ යුතු, පිදූ රොටි කා, සිය පිරිවරටත් දුන් පුවත ඔබ කියවා නැද්දැ”යි ඔවුන්ගෙන් ඇසූ සේක.
5උන් වහන්සේ තවදුරටත් කතා කරමින්, ”මනුෂ්‍ය-පුත්‍රයාණෝ සබත් දිනට පවා අධිපතියාණෝ ය”යි ඔවුන්ට වදාළ සේක.