කියවීම්
2027 සැප්තැම්බර් 30
Jerome, Priest, Doctor Obligatory Memorial
දවසේ දේව මෙහෙය
First Reading
නෙහෙමියා 8: 1-4a, 5-6, 7b-12
1හත් වන මස පළමු වන දවස පැමිණි කල ඉශ්රායෙල් සෙනඟ තමන්ගේ නගරවල සිටියෝ ය. මුළු සෙනඟ ද එක් කෙනෙකු මෙන් වතුර දොරටුව ඉදිරිපිට චතුරශ්‍රයෙහි රැස් වූ හ. එවිට ඔව්හු සමිඳාණන් වහන්සේ විසින් ඉශ්රායෙල්වරුන්ට අණ කරන ලද මෝසෙස්ගේ ව්‍යවස්ථා පොත ගෙනෙන්නට නීතිවේදියා සහ පූජකයා වන එස්රාට කී හ.
2පූජකයා වන එස්රා ද හත් වන මාසයේ පළමු වන දා සභාව එනම්, පුරුෂයන් ද ස්ත්‍රීන් ද තේරුම්ගන්නට පුළුවන් වයසට පැමිණි දරුදැරියන් ද ඉදිරිපිට ව්‍යවස්ථා පොත ගෙනවුත්,
3වතුර දොරටුව ඉදිරියේ තිබුණු චතුරශ්‍රය ඉදිරිපිට සිට, ස්ත්‍රී පුරුෂයන් ද තේරුම්ගත හැකි වයසට පැමිණි දරුදැරියන් ද ඉදිරියේ දී අලුයම් වේලේ පටන් ඉර මුදුන් වේලාව දක්වා ඒ පොත කියෙවුවේ ය. මුලු සෙනඟ ද ව්‍යවස්ථා පොතට සවන් දුන්හ.
4ව්‍යවස්ථා පොත කියවීම පිණිස සාදන ලද වේදිකාවක් පිට නීතිවේදියා වන එස්රා සිටියේ ය. ඔහු ළඟ ඔහුගේ දකුණු පැත්තෙන් මත්තිතියා ද ෂෙමා ද අනායා ද උරියා ද හිල්කියා ද මයසේයා ද; වම් පැත්තෙන් පෙදායා ද මිෂායෙල් ද මල්කියා ද හාෂුම් ද හෂ්බද්දානා ද ශෙකරියා ද මෙෂුල්ලාම් ද සිටියෝ ය.
5මුළු සෙනඟට වඩා උස් තැනක සිටි එස්රා මුළු සෙනඟ ඉදිරියෙහි පොත දිග ඇරියේ ය. ඔහු එය දිග අරින විට සෙනඟ සියලු දෙන නැඟිට සිටියෝ ය.
6එස්රා අති උත්තම දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කෙළේ ය. මුළු සෙනඟ ද අත් ඔසවමින්, ”එසේ ම වේ වා!” කියා හිස් නමා මුණින්තලා වී සමිඳාණන් වහන්සේට නමස්කාර කළෝ ය.
7තවද, ජේෂුවා ද බානී ද ෂෙරෙබියා ද ජාමීන් ද අක්කුබ් ද ෂබ්බෙතයි ද හෝදියා ද මයසේයා ද කෙලීටා ද අශරියා ද ජොශාබාද් ද හානාන් ද පෙලායා ද යන ලෙවීවරු ද සෙනඟ ඔවුන් සිටි තැන්වල නැවතී සිටිය දී ම ඔවුන්ට ව්‍යවස්ථාව තේරුම් කර දුන්හ.
8මෙසේ ඔව්හු දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථා පොත පැහැදිලි ලෙස කියවා එහි අර්ථය තෝරා දුන්හ. මිනිස්සු ද කියෙවූ දේ තේරුම් ගත්හ.
9තිර්ෂාතා වූ නෙහෙමියා ද නීතිවේදියා වූ පූජක එස්රා ද සෙනඟට ඉගැන්වූ ලෙවීවරු ද මුළු සෙනඟට කතා කොට, ”අද දින ඔබ හැමගේ දෙවි සමිඳාණන් වහන්සේට ශුද්ධ දිනයක් ය. වැලපෙන්නට වත්, අඬන්නට වත් එපා ය”යි කී හ. එසේ කීවේ, මුළු සෙනඟ ව්‍යවස්ථාවේ වචන ඇසූ කල ඇඬූ බැවිනි.
10එවිට ඔහු ඔවුන්ට කතා කොට, ”ඔබ ගොස් රසවත් දේවල් කා, මිහිරි පානය බී, කිසිවක් සූදානම් කර නොගත් අයට ආහාර පංගු යවන්න. කුමක් නිසා ද අද දින අපේ සමිඳාණන් වහන්සේට ශුද්ධ දිනයකි. ශෝක නොවන්න. මන්ද, සමිඳාණන් වහන්සේ කෙරෙහි ප්‍රීති වීම ඔබේ ශක්තිය වේ ය”යි කී ය.
11ලෙවීවරු ද කතා කරමින්, ”අද දවස ශුද්ධ දිනයක් නිසා, නිශ්ශබ්ද වන්න. ශෝක නොවන්නැ”යි මුළු සෙනඟ නිශ්චල කළෝ ය.
12එසේ සෙනඟ සියලු දෙන කන්නටත්, බොන්නටත්, කෑම පංගු යවන්නටත්, බොහෝ සේ ප්‍රීතිවන්නටත් පිටත් වී ගියෝ ය. කුමක් නිසා ද ඔවුන් ප්‍රකාශ කළ වචන ඔව්හු තේරුම් ගත්තෝ ය.
Responsorial Psalm
ගීතාවලිය 19: 8, 9, 10, 11
8සමිඳුන්ගේ අණපණත් සාධාරණ ය; සිතට සතොස වඩන්නේ ය. සමිඳුන්ගේ අණසක පැහැදිලි ය; දෙනෙතට එළිය දෙන්නේ ය,
9සමිඳුන් කෙරෙහි ගරුබිය නිර්මල ය; එය සදහට ම පවතින්නේ ය. සමිඳුන්ගේ විනිශ්චය යුක්තිසහගත ය; මුළුමනින් දැහැමි වේ ම ය.
10රනට වඩා, පෙරූ රනට වඩා, එය මනහර ය; පැණියට වඩා, මී පැණියට වඩා, එය සුමිහිරි ය.
11එය ඔබ සේවකයා හට අනතුරු ඇඟවීමක් වන්නේ ය; එය පිළිපැදීමෙන් විපුල විපාක අත්වන්නේ ය.
Alleluia
ශුද්ධ වූ මාර්ක් 1: 15
15ඒ දේශනාව මේ ය: ”නියමිත මොහොත පරිපූර්ණ වී තිබේ; දෙවියන් වහන්සේගේ රාජ්‍යය ආසන්න ය; පසුතැවී සිත් හරවා ගන්න; සුබ අස්න අදහාගන්න” යනුයි.
Gospel
ශුද්ධ වූ ලූක් 10: 1-12
1ඉන්පසු සමිඳාණන් වහන්සේ තවත් c සැත්තෑ දෙනෙකු පත් කොට තමන් යන්න අදහස් කළ සියලු නගර හා පෙදෙස්වලට ඔවුන් දෙදෙනා බැගින් තමන්ට කලින් යැවූ සේක.
2උන් වහන්සේ ඔවුන්ට මෙසේ වදාළ සේක: ”ගොයම නම් බහුල ය. ගොවීහු විරල ය. එබැවින් ගොයම් කැපීමට මෙහෙකරුවන් එවන මෙන් ගොයමේ හිමියාණන්ට යාච්ඤා කරන්න.
3ඉතින් යන්න. වගවලසුන් මැදට බැටළු පැටවුන් යවන්නාක් මෙන් මම ඔබ යවමි.
4පසුම්බියක් හෝ මල්ලක් හෝ පා වහන් හෝ නොගෙන යන්න. මඟ දී ආචාර කිරීම් සඳහා පමා නොවන්න.
5ඔබ යම් ගෙදරකට ඇතුළු වූ කල, පළමුකොට ‘මේ ගෙදරට සාමය වේ වා!’යි පතන්න.
6සාමය ලබන්නට සුදුසු කෙනෙක් එහි සිටිත් නම් ඔබගේ සාම පැතුම ඔහු පිට රැඳෙනු ඇත. නැතහොත් එය ඔබ වෙත පෙරළා එනු ඇත.
7ඔවුන් දෙන දෙය කමින් බොමින් ඒ ගෙදර ම නැවතී සිටින්න. මන්ද, මෙහෙකරුවා සිය වේතනය ලැබිය යුතු ය; ගෙදරින් ගෙදරට නොයන්න.
8ඔබ යම් නුවරකට ඇතුළු වූ කල ඔවුන් ඔබ පිළිගත්තොත්, ඔබ ඉදිරියෙහි තබන දේ වළඳන්න.
9එහි සිටින රෝගීන් සුව කරන්න. ‘දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඔබ වෙත පැමිණියේ ය’යි ඔවුන්ට ප්‍රකාශ කරන්න.
10එහෙත් යම් නුවරකට ඇතුළු වූ කල ඔවුන් ඔබ නොපිළිගත්තොත්, ඒ නුවර වීදිවලට ගොස්,
11‘අපේ පාදවල වැකුණු මේ නුවර දූවිලි පවා ඔබට විරුද්ධ ව අපි ගසා දමමු; ඒ කෙසේ වුවත් දෙවියන් වහන්සේගේ රාජ්‍යය ළං ව ඇති බව දැනගන්නැ’යි කියන්න.
12මෙය මම ඔබට කියමි, ඒ දවසේ දී ඒ නුවරට වඩා සොදොමට සහනය ඇති වන්නේ ය.”