කියවීම්
2026 ජූනි 22
Monday of the Twelfth Week in Ordinary Time
දවසේ දේව මෙහෙය
Reading I
රාජාවලියේ දෙ වන පොත 17:5-8, 13-15, 18
5එවිට අසිරියාවේ රජ දේශය මුළුල්ලෙහි ගොස් සමාරියට පැමිණ, තුන් අවුරුද්දක් එය වටලාගෙන සිටියේ ය.
6තවද, හෝෂෙයාගේ නව වන අවුරුද්දේ අසිරියාවේ රජ සමාරිය අල්ලාගෙන ඉශ්රායෙල්වරුන් අසිරියාවට ගෙන ගොස් හලාහි ද ගෝශාන් ගංගාව වන හාබොර් ළඟ ද මේදවරුන්ගේ නුවරවල ද පදිංචි කරවී ය.
7එසේ වූයේ, ඉශ්රායෙල් ජනයා පාරාවෝ රජුගේ බලයෙන් නිදහස් කොට මිසර දේශයෙන් ගෙනා තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කරමින් වෙන දෙවිවරුන්ට බිය ව,
8සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනයා ඉදිරියෙන් පන්නාදැමූ විජාතීන්ගේ සම්ප්‍රදායයන් අනුව ද හැසුරුණු නිසා ය.
13එහෙත්, සමිඳාණන් වහන්සේ තමන්ගේ සියලු දිවැසිවරුන් ද දර්ශකයන් ද ලවා ඉශ්රායෙල්වරුන්ටත්, ජුදාවරුන්ටත් අවවාද කරමින්, ”නුඹලාගේ නපුරු මාර්ගවලින් ඉවත් වී, නුඹලාගේ පියවරුන්ට මා අණ කළ, මාගේ සේවකයන් වන දිවැසිවරුන් අත නුඹලාට එවූ මාගේ මුළු ව්‍යවස්ථාව අනුව මාගේ ආඥා පවත්වන්නැ”යි වදාළ සේක.
14එහෙත්, ඔව්හු සවන් නො දී, තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ නොඇදහු ඔවුන්ගේ පියවරුන් මුරණ්ඩු වූ ලෙස තමන්ගේ මුරණ්ඩුකම් වැඩිකරගෙන,
15උන් වහන්සේගේ පණත් ද ඔවුන්ගේ පියවරුන් සමඟ කළ උන් වහන්සේගේ ගිවිසුම ද ඔවුන්ට උන් වහන්සේ දුන් උන් වහන්සේගේ අවවාද ද එපා කර, වැදගැම්මක් නැති නිෂ්ඵල රූපවලට නමස්කාර කොට, වැදගැම්මක් නැති අය වෙමින් ඔවුන් වටකර සිටි විජාතීන් මෙන් නොකරන හැටියට සමිඳාණන් වහන්සේ ඔවුන්ට අණ කළ නමුත්, ඒ විජාතීන්ගේ සම්ප්‍රදායයන් අනුව හැසුරුණෝ ය.
18ඒ නිසා සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් කෙරෙහි ඉතා උදහස් වී තමන්ගේ ඇස් හමුයෙන් ඔවුන් පහකළ සේක. ඉතිරි වූයේ ජුදා ගෝත්‍රය පමණකි.
Responsorial Psalm
ගීතාවලිය 60:3, 4-5, 12-13
3ඔබ ජනතාවට දුක් විඳින්නට සැලැසූ සේක; වෙරිමත් කරවන මිදියුස ඔබ අපට පෙවූ සේක.
4ඔබට ගරුබිය පාන අයට ඔබ අනතුරු ඇඟවීමක් කළ සේක; එසේ කෙළේ, පැමිණෙන්නට යන විපතෙන් පලා යන පිණිස ය.
5ඔබට ප්‍රේම කරන්නන් මිදෙනු පිණිස ඔබේ දකුණතින් අපට ගැළවීම දුන මැනව; අපේ යැදුමට පිළිතුරු දුන මැනව.
12දෙවිඳුන්ගේ සහාය ඇති ව අපි වීරයන් මෙන් සටන් කරන්නෙමු; එතුමාණෝ ම අපේ එදිරිකරුවන් පයින් පාගාදමන සේක.
Alleluia
හෙබ්‍රෙව් 4:12
12දෙවියන් වහන්සේගේ වචනය ජීවමාන ය; ක්‍රියාශීලී ය; දෙමුවහත් කඩුවකටත් වඩා තියුණු ය; ආත්මය ප්‍රාණයෙන් ද, සන්ධි ඇටමිදුලුවලින් ද වෙන් කරන තරම් විනිවිද යන්නේ ය; සිතේ සිතුවිලි ද අරමුණු ද විමසන්නේ ය.
Gospel
ශුද්ධ වූ මතෙව් 7:1-5
1විනිශ්චය නොකරන්න; එවිට ඔබ ද විනිශ්චය කරනු නොලබන්නෙහි ය.
2ඔබ දෙන විනිශ්චයයෙන් ම ඔබත් විනිශ්චය කරනු ලබන්නෙහි ය. ඔබ මනින මිම්මෙන් ම ඔබටත් මැන දෙනු ලැබේ.
3ඔබේ ම ඇසේ ඇති ලී කොටය ගැන නොතකා ඔබේ සහෝදරයාගේ ඇසේ ඇති ලී කුඩ ගැන බලන්නේ මන් ද?
4නොහොත් ඔබේ ම ඇසෙහි ලී කොටය තිබිය දී, සහෝදරයාට කතා කොට, ‘ඔබේ ඇසේ තිබෙන ලී කුඩ පහ කරන්න ඉඩ දෙන්නැ’යි ඔහුට කියන්නේ කොහොම ද?
5කෛරාටිකය, පළමු කොට ඔබේ ඇසෙන් ලී කොටය පහ කරන්න; එවිට සහෝදරයාගේ ඇසෙන් ලී කුඩ පහ කරන්න ඔබට හොඳින් පෙනෙනු ඇත.