කියවීම්
2026 ජූනි 14
Eleventh Sunday in Ordinary Time
දවසේ දේව මෙහෙය
Reading I
නික්මයාම 19:2-6
2ඔව්හු රෙපිඩීම් නම් ස්ථානයෙන් පිටත් ව සීනයි පාළුකරයට පැමිණ එහි කඳවුරු බැඳගත්හ. එහි ඔවුන්ගේ කඳවුර පිහිටියේ කන්ද ඉදිරිපිට ය.
3මෝසෙස් දෙවියන් වහන්සේ හමු වීමට කන්දට නැංගේ ය. එවිට සමිඳාණන් වහන්සේ කන්දේ සිට ඔහුට හඬගසා, ”නුඹ ජාකොබ්ගේ පෙළපත වන ඉශ්රායෙල් ජනයාට මෙසේ කිව යුතු ය:
4‘මා මිසර වැසියන්ට කළ දේ ද, මා නුඹලා රාජාලියෙකුගේ පියාපත් උඩ ගෙනෙන මෙන් මා වෙත නුඹලා උසුලාගෙන පැමිණි අයුරු ද නුඹලා දුටුවහු ය.
5එබැවින් දැන් ඉතින් නුඹලා සැබැවින් ම මාගේ හඬට කීකරු වන්නහු නම්, මාගේ ගිවිසුම පිළිපදින්නහු නම්, සියලු සෙනඟ අතුරින් නුඹලා මට ම අයිති සම්පත වන්නහු ය. මන්ද, මුළු මහ පොළොව මා සතු ය.
6නුඹලා මට පූජක රාජ්‍යයක් ද කැප වූ ජාතියක් ද වන්නහු ය’ ”යි වදාළ සේක.
Responsorial Psalm
ගීතාවලිය 100:1-2, 3, 5
1මුළු පොළෝ වැසියෙනි, සමිඳුන් හට ප්‍රීති ඝෝෂා පවත්වන්න.
2සමිඳුන් හට ප්‍රීතියෙන් වැඳ පුදා, ප්‍රීති ගී ගයමින් එතුමන් ඉදිරියට පැමිණෙන්න.
3සමිඳාණන් දෙවිඳුන් බව දැනගන්න. අප මැව්වේ එතුමාණෝ ය; අපි එතුමන්ගේ ය, එතුමන්ගේ සෙනඟ ය. එතුමන්ගේ තණ බිම්වල බැටළුවෝ ය.
5මන්ද, සමිඳාණෝ යහපත් ය; එතුමන්ගේ ප්‍රේමය ස්ථිර ය; සදහට ම පවත්නේ ය. පරපුරෙන් පරපුරට එතුමන්ගේ විශ්වාසවන්තකම පවත්නේ ය.
Reading II
රෝම 5:6-11
6අප අනාථ ව සිටිය දී ම ක්‍රිස්තුන් වහන්සේ පව්කාරයන් උදෙසා නියමිත කාලයේ දී සිය දිවි පිදූ සේක.
7සත් ගුණවත් කෙනෙකු උදෙසා දිවි පිදීමට යමෙකු තුළ ධෛර්යය තිබුනත් එවැන්නෙකු උදෙසා දිවි පිදීමක් සිදුවන්නේ කලාතුරකිනි.
8අප උදෙසා ඇති දෙවියන් වහන්සේගේ ප්‍රේමය ප්‍රත්‍යක්ෂ වන්නේ අප පව්කාරයන් ව සිටිය දී ම ක්‍රිස්තුන් වහන්සේ අප උදෙසා දිවි පිදූ බැවිනි.
9ක්‍රිස්තුන් වහන්සේගේ යාගික b රුධිරය හේතුවෙන් දමිටු බවට පමුණුවනු ලැබ, උන් වහන්සේ කරණකොටගෙන දේව උදහසින් මිදීම ගැන අපට වඩාත් සහතික ය.
10අපි සතුරන් ව සිටිය දී ම දේව පුත්‍රයාණන්ගේ මරණය නිසා උන් වහන්සේ සමඟ සමඟි කරනු ලැබුවෙමු නම්, එසේ සමඟි කරනු ලැබූ අපි, දැන් ඊටත් වඩා ක්‍රිස්තුන් වහන්සේගේ ජීවිතය නිසා ගැළවීම ලබමු.
11එපමණකුත් නොව, දෙවියන් වහන්සේ හා සමඟ නැවත අපට සමඟිය අත් කර දුන් ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මඟින් අපි දෙවියන් වහන්සේ කෙරේ අතිශයින් ප්‍රීති ප්‍රමෝද වෙමු.
Alleluia
ශුද්ධ වූ මාර්ක් 1:15
15ඒ දේශනාව මේ ය: ”නියමිත මොහොත පරිපූර්ණ වී තිබේ; දෙවියන් වහන්සේගේ රාජ්‍යය ආසන්න ය; පසුතැවී සිත් හරවා ගන්න; සුබ අස්න අදහාගන්න” යනුයි.
Gospel
ශුද්ධ වූ මතෙව් 9:36-10:8
36ජේසුස් වහන්සේ ජනකාය දැක, ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන් දුක්ගැහැට විඳිමින් විසිර ගොස් සිටි බැවින් ඔවුන්ට අනුකම්පා කළ සේක.
37එවිට උන් වහන්සේ සිය ශ්‍රාවකයන්ට කතා කොට, ”අස්වැන්න බහුල ය; ගොවීහු විරල ය.
38එහෙයින් අස්වැන්න කැපීමට ගොවීන් එවන ලෙස අස්වැන්න භාර හිමියා හට අයැදින්නැ”යි වදාළ සේක.
1ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන් දොළොස් දෙනා තමන් වෙත කැඳවා, අශුද්ධාත්මයන් දුරු කරන පිණිස ද සියලු ආකාර ලෙඩ රෝග සුව කරන පිණිස ද ඔවුන්ට බලය පවරා දුන් සේක.
2ප්‍රේරිතයන් දොළොස් දෙනාගේ නම් මෙසේ ය: පළමු ව පේදුරු නම් ලත් සීමොන් සහ ඔහුගේ සොහොයුරු ඇන්ඩෘ ය; සෙබදීගේ පුත් ජාකොබ් සහ ඔහුගේ සොහොයුරු ජොහන් ය;
3පිලිප් සහ බර්තොලමේව් ය; තෝමස් සහ අයකැමියා වන මතෙව් ය; අල්පෙවුස්ගේ පුත් ජාකොබ් සහ තද්දෙවුස් ය;
4අන්ත ජාතිවාදී සීමොන් සහ උන් වහන්සේ පාවා දුන් ජූදස් ඉස්කාරියොත් යන මොවුහු ය.
5ජේසුස් වහන්සේ මෙකී දොළොස් දෙනා යවමින් ඔවුන්ට මෙසේ අණ දුන් සේක: ”විජාතීන්ගේ මාවතකට පා නොතබන්න; සමාරියයන්ගේ නුවරකට ඇතුළු නොවන්න;
6ඉශ්රායෙල් වංශයේ නැති වූ බැටළුවන් වෙතට යන්න.
7එසේ ගොස්, ‘ස්වර්ග රාජ්‍යය ළං වී ඇතැ’යි දේශනා කරන්න.
8රෝගීන් සුව කරන්න, මළවුන් නැඟුටුවන්න, ලාදුරු රෝගීන් පවිත්‍ර කරන්න. දුෂ්ටාත්මයන් දුරු කරන්න. ඔබ නොමිලයේ ලැබුවහු ය, නොමිලයේ දෙන්න.