කියවීම්
2026 ජූනි 15
Monday of the Eleventh Week in Ordinary Time
දවසේ දේව මෙහෙය
Reading I
රාජාවලියේ පළමු වන පොත 21:1-16
1ඉන්පසු මෙසේ සිදු විය. සමාරියේ රජු වන ආහබ්ගේ මාලිගාවට සමීපව ජෙශ්‍රෙයෙල් නගරයේ නාබොත්ට මිදි වත්තක් තිබිණි.
2ආහබ් නාබොත්ට කතා කොට, ”ඔබේ මිදි වත්ත මාගේ ගෙට සමීපව තිබෙන නිසා එය මට එළවලු වත්තක් පිණිස දෙන්න; ඒ වෙනුවට ඊට වඩා හොඳ මිදි වත්තක් ඔබට දෙන්නෙමි. එසේ නැත්නම්, ඔබ කැමැති නම්, එහි වටිනා මිල ඔබට දෙන්නෙමි”යි කී ය.
3මාගේ පියවරුන්ගේ උරුමය ඔබට දීමෙන් සමිඳාණන් වහන්සේ මා වළක්වන සේක් වා”යි නාබොත් ආහබ්ට කී ය.
4එසේ ජෙශ්‍රෙයෙලීය නාබොත් කතා කොට, ”මාගේ පියවරුන්ගේ උරුමය ඔබට නොදෙමි”යි කී ඒ වචනය නිසා ආහබ් ශෝක වී කෝපයෙන් තමාගේ ගෙට ගොස් ඇඳේ වැතිර, මුහුණ අහකට හරවාගෙන, කෑම නොකා සිටියේ ය.
5එවිට ඔහුගේ භාර්යාව වන ජෙශෙබෙල් ඔහු ළඟට අවුත්, ”ඔබ සිත අප්‍රසන්න ව තිබෙන්නේත්, ඔබ කෑම නොකා සිටින්නේත් මක්නිසා දැ”යි ඔහුගෙන් ඇසුවා ය.
6ඔහු ද, ”මම ජෙශ්‍රෙයෙලීය නාබොත්ට කතා කොට, ‘ඔබේ මිදි වත්ත මට මිලේට දෙන්න; එසේ නැත්නම්, ඔබ කැමැති නම්, මම එය වෙනුවට ඔබට මිදිවත්තක් දෙන්නෙමි’යි ඔහුට කීවෙමි. එහෙත්, ඔහු මට උත්තර දෙමින්, ‘මාගේ මිදි වත්ත ඔබට නොදෙන්නෙමි’යි කීවේ යැ”යි ඈට කී ය.
7ඔහුගේ භාර්යාව වන ජෙශෙබෙල් කතා කොට, ”දැන් රට පාලනය කරන රජ ඔබ නොවන්නෙහි ද? නැඟිට කෑම කා ඔබේ සිත ප්‍රීති කරගන්න. මම ජෙශ්‍රෙයෙලීය නාබොත්ගේ මිදි වත්ත ඔබට ලබා දෙන්නෙමි”යි ඔහුට කීවා ය.
8ඈ ආහබ්ගේ නමින් ලියුම් ලියා ඔහුගේ මුද්‍රාවෙන් මුද්‍රා කොට, නාබොත් සමඟ ඔහුගේ නුවර විසූ ප්‍රජා මූලිකයන්ටත්, ප්‍රභූවරුන්ටත් ඒ ලියුම් යැව්වා ය.
9ඈ ලියුම්වල මෙසේ ලීවා ය: ”ඔබ හැම උපවාසයක් ප්‍රකාශ කොට, නාබොත් සෙනඟ ඉදිරියෙහි මුල් තැන සිටුවා ඔහු ඉදිරිපිට තක්කඩියන් දෙදෙනෙකු සිටුවන්න.
10ඔව්හු ඔහුට විරුද්ධ ව චෝදනා කරමින්, ‘ඔබ දෙවියන් වහන්සේටත්, රජුටත් සාප කෙළෙහි ය’යි කියත් වා. පසු ව ඔහු පිටතට ගෙන ගොස් ගල් ගසා මරන්න.”
11ඔහුගේ නගරවැසියන් වන ඒ නගරයේ විසූ ප්‍රජා මූලිකයෝ ද ප්‍රභූවරු ද ජෙශෙබෙල් තමන්ට යැවූ ලියුම්වල ලියා තිබුණු ප්‍රකාරයට කළෝ ය.
12ඔව්හු උපවාසයක් ප්‍රකාශ කොට, නාබොත් සෙනඟ ඉදිරිපිට මුල් තැනක සිටෙව්වෝ ය.
13තක්කඩියන් දෙදෙනෙක් පැමිණ ඔහු ඉදිරියෙහි වාඩි වී, ”නාබොත් දෙවියන් වහන්සේටත්, රජුටත් සාප කෙළේ ය”යි සෙනඟ ඉදිරියේ නාබොත්ට විරුද්ධ ව චෝදනා කළෝ ය. එවිට ඔව්හු ඔහු නගරයෙන් පිටතට ගෙන ගොස් ගල් ගසා මරා,
14නාබොත් ගල් ගසනු ලැබ මළේ ය”යි ජෙශෙබලේට කියා යැවුවෝ ය.
15තවද, නාබොත් ගල් ගසනු ලැබ මියගිය බව ජෙශෙබෙල් ඇසූ විට, ඈ ආහබ්ට කතා කොට, ”ජෙශ්‍රෙයෙලීය නාබොත් ඔබට විකුණන්නට අකමැති වූ ඔහුගේ මිදි වත්ත ඔබ ගොස් හිමි කරගන්න. මන්ද නාබොත් ජීවත් ව නැත. මියගොස් ඇතැ”යි කීවා ය.
16නාබොත් මළ බව ආහබ් ඇසූ විට, ඔහු ජෙශ්‍රෙයෙලීය නාබොත්ගේ මිදි වත්ත අයිති කරගන්න පිණිස එහි යන්න පිටත් වුණේ ය.
Responsorial Psalm
ගීතාවලිය 5:2-3, 4-6, 6-7
2රජිඳුනි, මාගේ දෙවිඳුනි, ඔබ සරණ පතා මම එන්නෙමි. කරුණාවෙන් මා යැදුමට සවන් දෙනු මැනව.
3සමිඳුනි, අලුයම මාගේ යැදුමට සවන් දෙනු මැනව; අරුණ’ලු එන කල පූජා පුද කොට ඔබ එන තුරු බලා සිටින්නෙමි.
4ඔබ දුෂ්ටකමට ප්‍රිය කරන දෙවි කෙනෙක් නොවන සේක; ඔබ අබිමුව නපුරට ඉඩ නොතබන සේක.
5අහංකාර අයට ඔබ අබිමුවෙහි තැනක් නැත්තේ ය. අපරාධකරුවන්ට ඔබ ද්වේෂ කරන සේක.
6සමිඳාණෝ බොරු තෙපලන දන වනසන සේක; මිනීමරු කපටි අය පිළිකුල් කරන සේක.
7මම ඔබ විපුල පෙම පෙරදැරි කොට ඔබ නිවෙසට පිවිසෙන්නෙමි; ගරුබිය පාමින් ශුද්ධ මැදුර අබිමුව නමදින්නෙමි.
Alleluia
ගීතාවලිය 119:105
105ඔබේ වචන මාගේ දෙපයට පහනක් ය; මාගේ මාවතට එළියක් ය.
Gospel
ශුද්ධ වූ මතෙව් 5:38-42
38‘ඇසට ඇස ය, දතට දත ය’ යන කීම ඔබ අසා ඇත.
39එහෙත්, මම ඔබට කියමි, එදිරිකාරයාට විරුද්ධ ව එකට එක නොකරන්න. යමෙකු ඔබේ දකුණු කම්මුලට ගැසුවොත්, ඔහුට අනික් කම්මුල ද හරවන්න.
40යමෙකු නඩු කියා ඔබේ කමිසය ගන්න කැමැති වුවොත්, ඔහුට ඔබේ කබායත් ගන්න අවසර දෙන්න.
41හේවා නිලධාරියෙකු තම බඩු පොදිය එක කිලෝමීටරයක් දුර උසුලාගෙන යන්න ඔබට බල කළොත්, ඔහු සමඟ එය කිලෝමීටර් දෙකක් උසුලාගෙන යන්න.
42ඔබෙන් ඉල්ලන්නාට දෙන්න; ඔබෙන් ණයට ගන්න කැමැති අයට පිටු නොපාන්න.”