ජූනි 2026

බ්‍ර සි සෙ
123456
78910111213
14151617181920
21222324252627
282930
අද දිනට

කියවීම්

2026 ජූනි 17

Wednesday of the Eleventh Week in Ordinary Time

දවසේ දේව මෙහෙය
Reading I

රාජාවලියේ දෙ වන පොත 2:1, 6-14

1තවද, සමිඳාණන් වහන්සේ එලියා සුළි සුළඟකින් ස්වර්ගයට ගන්නට කැමැති වූ අවස්ථාවේ දී එලියා, එලිෂා සමඟ ගිල්ගාල් නගරයෙන් පිටත් ව ගියේ ය. 6එලියා ද කතා කොට, ”සමිඳාණන් වහන්සේ මා ජොර්දානට යවන නිසා මෙහි නවතින්නැ”යි ඔහුට කී ය. ඔහු උත්තර දෙමින්, ”ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ද ජීවමාන ඔබේ නාමයෙන් ද මම ඔබ අත් නොහරිමි”යි දිවිරී ය. එවිට ඒ දෙදෙනා ම යන්න ගියහ. 7දිවැසිවරුන්ගේ කණ්ඩායමේ පණස්දෙනෙක් ගොස්, ඔවුන් ඉදිරිපිට දුරින් සිටියෝ ය. ඒ දෙදෙනා ද ජොර්දානය ළඟ සිටියෝ ය. 8එවිට එලියා තමාගේ උතුරු සළුව රැගෙන, අකුළා වතුරට ගැසී ය. වතුර දෑතට බෙදී ගියේ ය. ඒ දෙදෙනා වියළි බිම පිට එගොඩ වූ හ. 9තවද, ඔවුන් එගොඩ වූ කල එලියා කතා කොට, ”ඔබ වෙතින් මා ගන්න පළමුවෙන් ඔබට මාගෙන් ඕනෑ දෙයක් ඉල්ලන්නැ”යි එලිෂාට කී ය, එලිෂා පිළිතුරු දෙමින්, ”ඔබට තිබෙන ආත්මානුභාවය මෙන් දෙගුණයක් මා කෙරෙහි පැමිණේ වා”යි කී ය. 10ඔහු ද, ”ඔබ අමාරු දෙයක් ඉල්ලුවෙහි ය. එහෙත්, ඔබ වෙතින් මා ගන්න විට ඔබ මා දුටුවොත් ඔබට එසේ වන්නේ ය; නැතහොත්, එසේ නොවන්නේ යැ”යි කී ය. 11තවද, ඔවුන් කතා කරමින් යද්දී, ගිනි අශ්ව රථයක් ද ගිනි අශ්වයෝ ද පෙනී ඔවුන් දෙදෙනා වෙන් කළෝ ය. එලියා සුළි සුළඟකින් ස්වර්ගයට නැඟී ගියේ ය. 12එලිෂා ඒ දැක, ”ඉශ්රායෙල්හි රථ සහ අසරුවන් වැනි බලසම්පන්න මාගේ පියාණෙනි, මාගේ පියාණෙනි”යි කී ය. ඔහු තවත් එලියා නුදුටුවේ ය. 13එවිට ඔහු තමාගේ වස්ත්‍ර අල්ලා දෙකට ඉරා, එලියාගෙන් වැටුණු ඔහුගේ සළුව රැගෙන හැරී ආවේ ය. 14ඉන්පසු එලිෂා ජොර්දානය අද්දර සිට, එලියාගෙන් වැටුණු ඔහුගේ සළුව රැගෙන, ”එලියාගේ දෙවි සමිඳාණන් වහන්සේ කොතැන ද,” කියා වතුරට ගැසී ය. ඔහුත් වතුරට ගැසූ විට එය දෑතට බෙදී ගියේ ය. එලිෂා එගොඩ විය.
Responsorial Psalm

ගීතාවලිය 31:20, 21, 24

20මිනිසුන්ගේ කුමන්ත්‍රණවලින් ඔබ ආරක්ෂාවෙහි ඔබ ඔවුන් සඟවන සේක; කලහකාරි අයගෙන් ඔවුන් වෙන් කොට ඔබේ මැදුරෙහි සුරැකි ව තබන සේක. 21සමිඳුන් හට ප්‍රශංසා වේ වා! මන්ද, එතුමාණෝ බලකොටු නුවරක දී එතරම් පුදුම ලෙස මට කරුණාව දැක්වූ සේක. 24සමිඳුන් කෙරේ විශ්වාසය තබන සියල්ලෙනි, ශක්තිමත් වන්න; සිතින් ධෛර්යවත් වන්න.
Alleluia

ශුද්ධ වූ ජොහන් 14:23

23ජේසුස් වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, ”යමෙක් මට ප්‍රේම කරන්නේ නම්, හෙතෙම මාගේ ධර්මය පිළිපදින්නේ ය. මාගේ පියාණන් වහන්සේ ද ඔහුට ප්‍රේම කරන සේක. අපි ඔහු වෙතට පැමිණ ඔහු සමඟ වාසය කරන්නෙමු.
Gospel

ශුද්ධ වූ මතෙව් 6:1-6, 16-18

1මිනිසුන්ට පෙනෙන පිණිස ලෝකයා ඉදිරියෙහි ඔබේ පුණ්‍ය ක්‍රියා නොකරන්න බලාගන්න. එසේ කළහොත්, ස්වර්ගයෙහි වැඩ වසන ඔබේ පියාණන් වහන්සේගෙන් කිසි විපාකයක් ඔබට නොලැබෙන්නේ ය. 2එබැවින් ඔබ දන් දෙන කල, මිනිසුන්ගෙන් ප්‍රශංසා ලබන පිණිස ධර්මශාලාවල දීත්, වීථිවල දීත් කෛරාටිකයන් කරන්නාක් මෙන් ඔබට පෙරටුවෙන් හොරණෑ නොපිඹින්න. සැබැවින් ම, මම ඔබට කියමි, ඔවුන්ගේ විපාකය ඔවුන්ට දැනට ම ලැබී ඇත. 3එහෙත්, ඔබ දන් දෙන කල, දකුණත කරන දෙය වමතට නොදැනේ වා. 4ඒ දන් දීම රහසක් ව තිබිය යුතු ය. එවිට රහසින් එය දකින ඔබේ පියාණන් වහන්සේ ඔබට පල විපාක දෙන සේක.” 5ඔබ යාච්ඤා කරන කල කෛරාටිකයන් කරන්නාක් මෙන් නොකරන්න. මිනිසුන්ට පෙනෙන පිණිස ඔව්හු ධර්මශාලාවලත්, මංසන්ධිවලත් සිටගෙන යාච්ඤා කිරීමට ප්‍රිය වෙති. සැබැවින් ම මම ඔබට කියමි, ඔවුන්ගේ විපාකය දැනට ම ඔවුන්ට ලැබී ඇත. 6එහෙත්, ඔබ යාච්ඤා කරන කල ඔබේ ම ඇතුළු කාමරයට වැද, දොර වසාගෙන, අදෘශ්‍යමාන ව වසන ඔබේ පියාණන් වහන්සේට යාච්ඤා කරන්න. එවිට රහසින් ඔබ කරන දේ දකින ඔබේ පියාණන් වහන්සේ ඔබට පල විපාක දෙන සේක. 16ඔබ උපවාස කරන කල කෛරාටිකයන් මෙන් දොම්නස් මුහුණු ඇති ව නොසිටින්න. තමන් උපවාස කරන බව මිනිසුන්ට පෙනෙන පිණිස ඔව්හු මුහුණු විරූප කරගනිති. සැබැවින් ම මම ඔබට කියමි; ඔවුන්ගේ පල විපාක දැනට ම ඔවුන්ට ලැබී ඇත. 17එහෙත්, ඔබ උපවාස කරන කල, හිස තෙල් ගල්වා, මුහුණ සෝදාගන්න. 18මෙසේ, අදෘශ්‍යමාන ව වසන ඔබේ පියාණන් වහන්සේට මිස, ඔබ උපවාස කරන බව මිනිසුන්ට නොපෙනෙයි. එවිට රහසින් කරන දේ දකින ඔබේ පියාණන් වහන්සේ ඔබට පල විපාක දෙන සේක.”