ජූනි 2026

බ්‍ර සි සෙ
123456
78910111213
14151617181920
21222324252627
282930
අද දිනට

කියවීම්

2026 ජූනි 20

Saturday of the Eleventh Week in Ordinary Time

දවසේ දේව මෙහෙය
Reading I

වංශාවලියේ දෙ වන පොත 24:17-25

17ජෙහෝයාදා මියගිය පසු ජුදාහි අධිපතීහු අවුත් රජුට ආචාර කළහ. එවිට රජ ඔවුන්ට සවන් දුන්නේ ය. 18ඔව්හු තමන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ මාලිගාව අත්හැර දමා අෂේරා කප් කණුවලටත්, පිළිමවලටත් සේවය කළෝ ය. ඔවුන්ගේ මේ වරද නිසා ජුදා දේශය ද ජෙරුසලම ද පිට දේව උදහස පැමිණියේ ය. 19එහෙත්, ඔවුන් සමිඳාණන් වහන්සේ වෙත හරවන පිණිස උන් වහන්සේ දිවැසිවරුන් ඔවුන් අතරට එවූ සේක. ඒ දිවැසිවරුන් ඔවුන්ට අවවාද කළ නමුත්, ඔව්හු ඇහුම්කන් නුදුන්හ. 20දෙවියන් වහන්සේගේ ආත්මානුභාවය ජෙහෝයාදා පූජකයාගේ පුත් ශෙකරියා පිට පැමිණියේ ය. ඔහු සෙනඟට ඉහළින් නැඟිට සිට ඔවුන්ට කතා කොට, ”දෙවියන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘නුඹලා සමිඳාණන් වහන්සේගේ ආඥා කඩ කරන්නේ මන් ද? නුඹලාට යහපතක් නොවන්නේ ය. නුඹලා සමිඳාණන් වහන්සේ අත්හැරිය නිසා උන් වහන්සේත් නුඹලා අත්හැරිය සේකැ’ ”යි කීවේ ය. 21ඔව්හු රජුගේ ආඥාව පිට ඔහුට විරුද්ධ ව කුමන්ත්‍රණ කොට, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ මළුවේ දී ඔහුට ගල් ගැසුවෝ ය. 22මෙසේ ජෝවාෂ් රජ ශෙකරියාගේ පිය වූ ජෙහෝයාදා තමාට පෙන් වූ කරුණාව සිහි නොකොට ඔහුගේ පුත්‍රයා මැරී ය. ඔහු මැරෙද්දී කතා කොට, ”සමිඳාණන් වහන්සේ මෙය බලා ප්‍රතිවිපාක දෙන සේක්වා”යි කීවේ ය. 23ඊළඟ අවුරුද්දෙහි සිරියන්වරුන්ගේ සේනාව ජෝවාෂ්ට විරුද්ධ ව පැමිණියේ ය. ඔව්හු ජුදා දේශයටත්, ජෙරුසලමටත් පැමිණ, සෙනඟ අතරෙන් සෙනඟගේ සියලු අධිපතීන් නැතිකර දමා, ඔවුන්ගෙන් ගත් මුළු කොල්ලය දමස්කයේ රජුට යැවූ හ. 24සිරියන්වරුන්ගේ සේනාව ගණනින් ස්වල්ප දෙනෙකු ව පැමිණි නමුත්, ජුදාවරුන් තම පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අත්හළ නිසා, සමිඳාණන් වහන්සේ ඉතා විශාල සේනාවක් ඔවුන් අතට පාවා දුන් සේක. මෙසේ ඔව්හු ජෝවාෂ්ට සුදුසු ලෙස දඬුවම් දුන්හ. 25ඔහු බොහෝ තුවාළ වී සිටිද්දී ඔවුන් ඔහු අත්හැර ඔහු වෙතින් ගිය පසු, ඔහුගේ සේවකයෝ පූජක වූ ජෙහෝයාදාගේ පුත්‍රයන්ගේ මරණය ගැන ඔහුට විරුද්ධ ව කුමන්ත්‍රණ කොට ඔහුගේ ඇඳේ දී ඔහු මැරුවෝ ය. මෙසේ ඔහු මියගියේ ය. ඔව්හු දාවිත්ගේ නුවර ඔහු තැන්පත් කළ නමුත්, රජවරුන්ගේ සොහොන් ගෙවල තැන්පත් නොකළෝ ය.
Responsorial Psalm

ගීතාවලිය 89:4-5, 29-30, 31-32, 33-34

4‘මම ඔබේ පෙළපත සදහට ම පිහිටුවන්නෙමි. පරපුරෙන් පරපුරට ඔබේ සිහසුන ගොඩනඟන්නෙමි.’ ” 5අහෝ සමිඳුනි! ඔබ කරන අසිරිමත් ක්‍රියා ගැන අහස් තලය ගී ගයන්නේ ය. සුරලොව පිරිස් ඔබේ විශ්වාසවන්තකම ගැන ගීතිකා කරන්නෝ ය. 29ඔහුගේ රාජ වංශය අහස මෙන් තිරසර ව පවතින්නේ ය; ඔහුගේ පෙළපතෙන් ම කෙනෙක් නිරතුරු රජකමට පත් වන්නේ ය. 30ඔහුගේ දරුදැරියෝ මාගේ නීතියට අකීකරු වන්නෝ නම්, මාගේ නියමයන්ට අනුව ජීවත් නොවන්නෝ නම්, 31ඔව්හු මාගේ නියෝග නොසලකා හරින්නෝ නම්, මාගේ අණපණත් නොපිළිපදින්නෝ නම්, 32එවිට, ඔවුන්ගේ කැරලිගැසීමට දණ්ඩෙන් ද ඔවුන්ගේ අපරාධවලට කස පහරින් ද මම දඬුවම් දෙන්නෙමි. 33එහෙත්, මම මාගේ ප්‍රේමය කවදාවත් දාවිත්ගෙන් ඉවත් නොකරන්නෙමි. ඔහු කෙරෙහි මාගේ විශ්වාසවන්තකම නිෂ්ප්‍රභ නොකරන්නෙමි. 34මම මාගේ ගිවිසුම කඩ නොකරන්නෙමි; පොරොන්දු කිසිවක් වෙනස් නොකරන්නෙමි.
Alleluia

2 කොරින්ති 8:9

9අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ත්‍යාගශීලී කරුණාව ඔබ දන්නහු ය. උන් වහන්සේ ධනවත් ව සිටි නමුත්, තමන් වහන්සේගේ දිළිඳුකම කරණකොටගෙන ඔබ ධනවත් වන පිණිස ඔබ උදෙසා දිළිඳු වූ සේක.
Gospel

ශුද්ධ වූ මතෙව් 6:24-34

24ස්වාමිවරුන් දෙදෙනෙකුට මෙහෙවර කිරීමට කිසිවෙකුට නුපුළුවන. මන්ද, ඔහු එක් කෙනෙකුට වෛර බැඳ අනික් අයට ප්‍රේම වන්නේ ය. නැතහොත්, එක් කෙනෙකුට ළැදි වී, අනික් අය හෙළා දක්නේ ය. දෙවියන් වහන්සේට සහ වස්තුවට සේවය කරන්න ඔබට නොහැකි ය.” 25එහෙයින් මම ඔබට කියමි: කුමක් කමු ද, කුමක් බොමු ද කියා ජීවිතය ගැන වත්, කුමක් අඳිමු ද කියා ශරීරය ගැන වත් කරදර නොවන්න. කෑමට වඩා ජීවිතය ද, ඇඳුමට වඩා ශරීරය ද අගනේ නොවේ ද? 26අහසේ කුරුල්ලන් දෙස බලන්න. උන් වපුරන්නේ වත්, කපන්නේ වත්, අටුවල රැස්කරන්නේ වත් නැත. එහෙත්, ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ උන් පෝෂණය කරන සේක. ඔබ ඔවුන්ට වඩා බොහෝ වටිනවා නොවේ ද? 27කරදර වීමනේ තමාගේ dආයු ප්‍රමාණය දික් කරගන්න ඔබ අතරෙන් කවරෙකුට පුළුවන් ද? 28ඔබ ඇඳුම් ගැන කරදර වන්නේ කුමට ද? කෙතේ මානෙල් වැඩෙන හැටි කල්පනා කරන්න; ඒවා වෙහෙසෙන්නේ වත්, නූල් කටින්නේ වත් නැත. 29එහෙත්, සියලු රාජ තේජසින් විරාජ මාන වූ සලමොන් වුව ද, මේ මල්වලින් එකක් සේ සැරසී නොසිටියේ යයි ඔබට කියමි. 30ඇදහිල්ල හීන තැනැත්තෙනි! අද තිබී හෙට උදුනේ දැවීයන කෙතේ තණ කොළ දෙවියන් වහන්සේ එසේ සරසන සේක් නම්, ඊට කොපමණ වැඩියෙන් උන් වහන්සේ ඔබ නොසරසන සේක් ද? 31එහෙයින් කුමක් කමු ද, කුමක් බොමු ද, කුමක් අඳිමු ද කියමින් කරදර නොවන්න. 32විජාතීන් සෑම විට ම සොයන්නේත් මේවා ම ය; මේවා ඔබට ඕනෑ බව ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ දන්නා සේක. 33එහෙත්, පළමු කොට උන් වහන්සේගේ රාජ්‍යය ද ධර්මිෂ්ඨකම ද සොයන්න; එවිට මේ සියල්ලත් ඔබට දෙනු ලැබේ. 34එබැවින් හෙට දවස ගැන කරදර නොවන්න. හෙට දවසේ කරදර හෙට දවසට සෑහේ. එක දවසක කරදරවලට තව කරදර එකතු නොකරන්න.”