කියවීම්
2026 ජූනි 23
Tuesday of the Twelfth Week in Ordinary Time
දවසේ දේව මෙහෙය
Reading I
රාජාවලියේ දෙ වන පොත 19:9-11, 14-21, 31-35, 36
9කුෂ්හි රජු වන තිර්හාකා රජ ඔබට විරුද්ධ ව යුද්ධ කරන්නට එන්නේ යැ”යි ඔහුට සැළ විය. එවිට ඔහු හෙසකියා ළඟට නැවත දූතයන් එවා,
10ඔබ ජුදාහි රජු වන හෙසකියාට මෙසේ කියන්න: අසිරියාවේ රජු අතට ජෙරුසලම අසු නොවන්නේ ය කියා ඔබ විශ්වාස කරන ඔබේ දෙවියන් වහන්සේට නොරැවටෙන්න.
11මෙන්න, අසිරියාවේ රජවරුන් සියලු දේශවලට කළ දේ එනම්, ඒවා විනාශ කරදැමූ බව ඔබ අසා තිබේ. එසේ නම්, ඔබ ගැළවෙනු ඇද් ද?
14හෙසකියා පණිවුඩකාරයන් අතින් ලියුම ගෙන කියවා, සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගොස්, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි එය විදහා පා,
15උන් වහන්සේ ඉදිරියෙහි යාච්ඤා කරමින්, ”කෙරුබ්වරුන් අතර වැඩ වසන ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ, පොළොවේ සියලු රාජ්‍යයන් කෙරෙහි ඔබ ම, ඔබ පමණක් ම, දෙවියන් වහන්සේ ය; ඔබ අහසත්, පොළොවත් මැවූ සේක.
16සමිඳාණන් වහන්ස, ඔබේ කන යොමු කොට ඇසුව මැනව; සමිඳාණන් වහන්ස, ඔබේ ඇස් ඇර බැලුව මැනව; ජීවමාන දෙවියන් වහන්සේට අපහාස කරන පිණිස සෙනකෙරිබ් කියා එවූ වචන ඇසුව මැනව;
17සමිඳාණන් වහන්ස, අසිරියාවේ රජවරුන් ජාතීන් ද ඔවුන්ගේ දේශ ද පාළු කොට,
18ඔවුන්ගේ දෙවිවරුන් ගින්නෙහි හෙළුවා සැබෑ ය. මන්ද, ඒවා දෙවිවරුන් නොව මනුෂ්‍යයන්ගේ හස්ත කර්මාන්ත වන ලී සහ ගල් ය. ඒ නිසා ඔව්හු ඒවා විනාශ කළහ.
19එබැවින් අපේ දෙවියන් වහන්ස, ඔබ ම, ඔබ පමණක් ම, ස්වාමීන් වන දෙවියන් වහන්සේ බව පොළොවේ සියලු රාජ්‍ය දැනගන්න පිණිස ඔහුගේ අතින් අප ගැළෙව්ව මැනව”යි කී ය.
20එවිට ආමොස්ගේ පුත් යෙසායා හෙසකියාට මෙසේ කියා යැවී ය: ”ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: අසිරියාවේ රජු වන සෙනකෙරිබ් ගැන ඔබ මට කළ යාච්ඤාව මම ඇසීමි.
21ඔහු ගැන සමිඳාණන් වහන්සේ කියන පණිවුඩය මේ ය: සියොන් පුරඟන නුඹ සුළු කොට සලකන්නී ය; නුඹට කවටකම් කරන්නී ය; ජෙරුසලම්හි දුව හිස වන වනා, නුඹට උසුළු-විසුළු කරන්නී ය.
31මන්ද, ඉතිරි කුඩා පිරිස ජෙරුසලමෙන් ද මිදුණු පිරිස සියොන් කන්දෙන් ද නික්මෙනු ඇත. සමිඳාණන් වහන්සේ මෙය කිරීමට අධිෂ්ඨාන කළ සේක.
32එබැවින් සමිඳාණන් වහන්සේ අසිරියාවේ රජු ගැන මෙසේ කියන සේක: ‘අසිරියාවේ රජ මේ නගරයට ඇතුළුවන්නේ වත්, ඊගහක් ඊට විදින්නේ වත්, ඉදිරි පිටට පලිහක් රැගෙන එන්නේ වත්, ඊට විරුද්ධ ව ගොඩැල්ලක් නඟන්නේ වත්, නැත.
33ඔහු මේ නුවර තුළට නෑවිත් තමා ආ මඟින් හැරී යන්නේ ය. සමිඳාණන් වහන්සේ වන මම මෙසේ වදාරමි.
34මක්නිසා ද, මා නිසාත්, මාගේ මෙහෙකරු වූ දාවිත් නිසාත් මේ නුවර ගළවන්න මම එය රැකගන්නෙමි.’ ”
35ඒ රාත්‍රියේ සමිඳාණන් වහන්සේගේ දූතයා පිටත් ව ගොස් අසිරියන්වරුන්ගේ කඳවුරෙහි එක්ලක්ෂ අසූපන්දහසකට පහර දුන්නේ ය. මිනිසුන් අලුයම නැඟිට බලන විට, ඒ සියල්ලෝ මැරී සිටියහ.
36එවිට අසිරියාවේ රජු වන සෙනකෙරිබ් පිටත් ව ගොස් නිනිවෙහි වාසය කෙළේ ය.
Responsorial Psalm
ගීතාවලිය 48:2-3, 3-4, 10-11
2උතුරු දෙසින් වන, මහ රජුගේ නුවර වූ සියොන් කන්ද උස මහතින් මනරම් ය; මුළු පොළොවට පියකරු ය.
3නුවර බලකොටු ඇතුළෙහි සුරැකි ව විසිය හැකි බව, දෙවි තුමන් පෙන්වා දී ඇත.
4රජවරුන් රාශිභූත ව, නුවරට එරෙහි ව සටනට යන හැටි නරඹන්න;
10දෙවිඳුනි, ඔබට හිමි ගරු පැසසුම් දස දෙසින් ඔබ වෙත නැඟී එයි. ඔබේ කිතු ගොස පොළොව පුරා පැතිර ඇත. ඔබ සාධාරණ ලෙස රජ කරන සේක.
11ඔබේ සාධාරණ විනිසයන් නිසා සියොන් කන්දේ වැසියෝ සතුටින් පිනා යත් වා! ජුදාහි නුවරවල ප්‍රීති ගීත ඇසේ වා!
Alleluia
ශුද්ධ වූ ජොහන් 8:12
12යළිත් අවස්ථාවක ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට, ”ලෝකයේ ආලෝකය මම ය; මා අනුගමනය කරන්නා අඳුරෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේ ය”යි වදාළ සේක.
Gospel
ශුද්ධ වූ මතෙව් 7:6, 12-14
6පූජනීය දේ බල්ලන්ට නොදෙන්න. ඔබේ මුතු ඇට ඌරන් ඉදිරියෙහි නොදමන්න. එසේ කළොත්, උන් ඒවා පයින් පාගාදමා හැරී අවුත් ඔබ කැබලි කොට ඉරාදමනු ඇත.”
12අනුන් ඔබට යමක් කරනවාට ඔබ කැමැති ද, ඔබත් ඒ දේ ම ඔවුන්ටත් කරන්න. ව්‍යවස්ථාවලියේ හා දිවැසාවලියේ හරය එය වේ.”
13පටු දොරටුවෙන් ඇතුළු වන්න. විනාශයට යන දොරටුව විශාල ය, පාරත් පළල් ය. එයින් ඇතුළු වන්නෝ ද බොහෝ ය.
14එහෙත්, ජීවනයට යන දොරටුව පටු ය; පාර ද අවහිර ය; එය සොයාගන්නෝ ස්වල්ප දෙනෙක් පමණකි.”