ජූනි 2026

බ්‍ර සි සෙ
123456
78910111213
14151617181920
21222324252627
282930
අද දිනට

කියවීම්

2026 ජූනි 21

Twelfth Sunday in Ordinary Time

දවසේ දේව මෙහෙය
Reading I

ජෙරමියා 20:10-13

10කසුකුසුව මට ඇසේ, අවට ඇත්තේ භීතියකි; ‘අපි ඔහු ප්‍රතික්ෂේප කරමු. ප්‍රතික්ෂේප කරමු’ කියා මාගේ හිත මිතුරෝ පවා කියති. මාගේ වැටීම ද ඔව්හු බලා සිටිති. ‘සමහර විට ඔහු රැවටෙනු ඇත; එවිට ඔහු පරාජය කොට ඔහුගෙන් පළිගන්නට අපට පුළුවනැ’යි ඔව්හු කියති. 11එහෙත් සමිඳුනි, ඔබ තුමාණෝ මහා යුද වීරයෙකු සේ මා සමඟ සිටින සේක. එබැවින් මාගේ පීඩාකාරයෝ පැකිළෙන්නෝ ය; ඔව්හු ජය නොගන්නෝ ය; ඔවුන්ට ජය ගැනීමට බැරි නිසා ඔව්හු ලජ්ජාවට පත් වන්නෝ ය. එය කවදාවත් අමතක නොවන සදාකාල අවනම්බුවක් වන්නේ ය. 12සව් බලැති සමිඳුනි, සැදැහැවතුන් පිරික්සන, මාගේ සතුරන්ගේ සිත හද විනිවිද දකින ඔබ තුමාණන් මාගේ සතුරන්ගෙන් පළිගනු දැකීමට මට වර දුන මැනව. මම මාගේ විනිශ්චය ඔබ අතට පවරන්නෙමි. 13සමිඳුන්ට ගී ගයන්න; එතුමාණන් පසසන්න. මන්ද, එතුමාණෝ නපුරු මිනිසුන්ගේ අතින් පීඩිත වූවන් මුදාලන සේක.
Responsorial Psalm

ගීතාවලිය 69:8-10, 14, 17, 33-35

8මාගේ සොහොයුරන්ට මම නාඳුනන්නෙක් වීමි; මාගේ මවගේ පුත්‍රයන් හට මම විදේශිකයෙක් වීමි. 9ඔබේ දෙව් මැදුරට ඇති උද්‍යෝගය මා දවන්නේ ය. ඔබට නින්දා කරන්නන්ගේ නින්දා මා පිට පැටවී ඇත්තේ ය. 10එබැවින් මා කඳුළු සලමින් උපවාස කරන විට සෙනඟ මට නින්දා කරන්නෝ ය. 14මට එරී යන්න නොදී මඩ වගුරෙන් මා මුදාගත මැනව! මාගේ සතුරාගෙන් ද ගැඹුරු ජලයෙන් ද මා මුදාගත මැනව! 17ඔබේ දාසයා වෙතින් ඔබ මුහුණ ඉවතට නොගත මැනව! මා විපතට පත් ව සිටින බැවින් යුහු ව මට පිළිතුරු දුන මැනව! 33මන්ද, සමිඳාණෝ දිළිඳුන් හට සවන් දෙන සේක; හිරගත වී සිටින තම සෙනඟ අත් නොහරින සේක. 34අහසත්, පොළොවත් උන් වහන්සේට ප්‍රශංසා කරත් වා! මුහුදත්, එහි හැසිරෙන සියල්ලෝත් එතුමන්ට ප්‍රශංසා කරත් වා! 35දෙවිඳාණෝ සියොන් කන්ද මුදාගෙන ජුදාගේ නගර ගොඩනඟන සේක. එතුමන් සෙනඟ එහි වසමින් එය භුක්ති විඳින්නෝ ය.
Reading II

රෝම 5:12-15

12එක මනුෂ්‍යයෙකු නිසා පාපයත්, පාපය නිසා මරණයත් ලෝකයට පිවිසියාක් මෙන්, සියලු මනුෂ්‍යයන් පව් කළ බැවින්, මරණය මුළු මිනිස් සංහතියට ම පොදු ව පවතී. 13කිසි ම නීතියක් ඇති වීමට පෙර ලෝකයෙහි පාපය තිබිණි. එහෙත් නීතියක් නැති තැන මිනිසාට විරුද්ධ ව පාපය ගණන් ගනු නොලැබේ. 14එසේ ව තිබියදීත්, ආදම් පටන් මෝසෙස් දක්වා, ආදම් මෙන් ආඥා කඩ කිරීමෙන් පව් නොකළ අය කෙරේ පවා මරණය රජකම් කෙළේ ය. ආදම් වනාහි එන්නට සිටින තැනැන් වහන්සේ පිළිබඳ පූර්ව ආදර්ශයක් විය. 15එහෙත් දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයේ ක්‍රියාවත්, ආදම්ගේ පාපී ක්‍රියාවත් අතර සමානත්වයක් නැත. එසේ කියන්නේ, එක මිනිසෙකුගේ පාපය හැම මිනිසාගේ ම මරණයට හේතු වූ නමුත්, දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය හා ජේසුස් ක්‍රිස්තුස් නම් එක මනුෂ්‍යයාගේ දයාන්විත දීමනාව බොහෝ දෙනෙකුට විපුල ආසිරි ගෙන දීමේ අමුතු ම හේතුවක් වූ බැවිනි.
Alleluia

ශුද්ධ වූ ජොහන් 15:26, 27

26මා විසින් ඔබ වෙත එවා වදාරන සහායදායකයාණන්, එනම්, පියාණන් වහන්සේ වෙතින් නික්මෙන සත්‍යතාවේ ආත්මයාණන් පැමිණි කල උන් වහන්සේ මා ගැන සාක්ෂි දරන සේක. 27තවද, මුල සිට ම ඔබ මා සමඟ සිටි බැවින් ඔබත් සාක්ෂිකාරයෝ වන්නහු ය.
Gospel

ශුද්ධ වූ මතෙව් 10:26-33

26එබැවින් මිනිසුන්ට බිය නොවන්න. මන්ද, දැන් සැඟ වී ඇති සෑම දේ ම හෙළි කරනු ලැබේ. සෑම රහසක් ම ප්‍රකට කරනු ලැබේ. 27මා විසින් ඔබට අඳුරේ දී පවසන ලද දෙය ඔබ දවාලේ දී කියන්න. ඔබේ කනට රහසින් ඇසෙන දෙය, ගෙමුදුන්වලින් ප්‍රකාශ කරන්න. 28ශරීරය නැසුවත්, ආත්මය නසන්න නුපුළුවන් අයට බිය නොවන්න. එහෙත්, ආත්මය ද ශරීරය ද නිරයෙහි විනාශ කරන්න පුළුවන් තැනැන් වහන්සේට ම බිය වන්න. 29ගේ කුරුල්ලන් දෙදෙනෙකු තුට්ටුවකට විකුණනවා නොවේ ද? එහෙත්, එයින් එකෙක් වත් ඔබේ පියාණන් වහන්සේ නොදැනුවත් ව බිමට නොවැටෙන්නේ ය. 30ඔබේ හිසකේ සියල්ල පවා ගණන් කොට ඇත. 31එබැවින් බිය නොවන්න; ගේ කුරුල්ලන් රාශියකට වඩා ඔබ අගනේ ය. 32යමෙක් මනුෂ්‍යයන් අබිමුවෙහි මා පිළිගත් බවට සාක්ෂි දරන්නේ ද, මමත් ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන් වහන්සේ අබිමුවෙහි ඔහු පිළිගත් බවට සාක්ෂි දරන්නෙමි. 33එහෙත්, යමෙක් මනුෂ්‍යයන් අබිමුවෙහි මා ප්‍රතික්ෂේප කරන්නේ ද, මමත් ස්වර්ගයේ වැඩ සිටින මාගේ පියාණන් වහන්සේ අබිමුවෙහි ඔහු ප්‍රතික්ෂේප කරන්නෙමි.”