කියවීම්
2026 ජූනි 12
Solemnity of the Most Sacred Heart of Jesus
දවසේ දේව මෙහෙය
Reading I
ද්විතීය නීති සංග්‍රහය 7:6-11
6මෙසේ කළ යුත්තේ, ඔබ වනාහි දෙවි සමිඳාණන් වහන්සේට කැප වූ ශුද්ධ සෙනඟක් වන බැවිනි. පොළෝ තලයෙහි සිටින සියලු සෙනඟ අතරෙන් තමන් වහන්සේට ම විශේෂ වූ සෙනඟක් මෙන් උන් වහන්සේ ඔබ තෝරාගත් සේක.
7සමිඳාණන් වහන්සේ ඔබට ප්‍රේම කෙළේත්, ඔබ තෝරාගත්තේත්, අන් සෙනඟකට වඩා ඔබ ගණනින් බහුල වූ නිසා නොවේ. ඔබ වනාහි සියලු සෙනඟ අතරෙන් ඉතා ම කුඩා ජනතාවකි.
8එහෙත්, සමිඳාණන් වහන්සේ ඔබට ප්‍රේම කළ බැවිනුත්, ඔබේ පියවරුන්ට උන් වහන්සේ දිවුළ පොරොන්දුව ඉටු කිරීමට කැමැති වූ බැවිනුත්, උන් වහන්සේ සිය බාහු බලය පෙන්වා, ඔබ මුදාගෙන අවුත්, මිසර රජ වූ පාරාවෝ ඔබ බැඳ සිටි වහල්කමේ බැමිවලින් ඔබ ගළවා ලූ සේක.
9එබැවින් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ පමණක් දෙවියන් වහන්සේ බවත්, උන් වහන්සේ විශ්වාසවන්ත දෙවි කෙනෙකු බවත් දැනගන්න. උන් වහන්සේට කරුණාව පාමින්, උන් වහන්සේගේ අණපණත් පිළිපදින අයට පරම්පරා දහසක් දක්වා උන් වහන්සේත් ගිවිසුම ඉටු කරමින් ස්ථීර ප්‍රේමය දක්වන සේක.
10උන් වහන්සේට වෛර කරන්නන් වනසාලමින්, ඔවුන්ගේ මුහුණ ඉදිරිපිට ම ඔවුන්ට විපාක දෙන සේක. උන් වහන්සේට වෛර කරන්නන්ට මුහුණ ඉදිරිපිට දී ම විපාක දීමට උන් වහන්සේ ප්‍රමාද නො වන සේක.
11එබැවින් මා ඔබට අද දින නියම කරන අණපණත් ද, නීති හා නියෝග ද ආරක්ෂා කරමින් ඔබ ඒවා පිළිපැදිය යුතු ය.”
Responsorial Psalm
ගීතාවලිය 103:1-2, 3-4, 6-7, 8, 10
1මාගේ සිත, සමිඳුන් පසසන්න; හද පත්ලෙන් ම එතුමන්ගේ ශුද්ධ නම පසසන්න.
2මාගේ සිත, සමිඳුන් පසසන්න; එතුමන්ගේ සියලු උපකාර අමතක නොකරන්න.
3එතුමාණෝ මාගේ සියලු පාප කමා කරන සේක; මාගේ සියලු රෝග සුව කරන සේක.
4මාගේ ජීවිතය පාතාල ලෝකයෙන් මුදාලන සේක; ප්‍රේමය හා දයාව නමැති කිරුළෙන් මා සරසන සේක.
6සමිඳාණෝ සාධාරණ ලෙස ක්‍රියා කරන සේක. පීඩිතයන්ට එතුමාණෝ යුක්තිය ඉටු කරන සේක.
7සමිඳාණෝ ස්වකීය මාර්ග මෝසෙස්ටත්, තම බලවත් ක්‍රියා ඉශ්රායෙල් සෙනඟටත් දැක් වූ සේක.
8සමිඳාණෝ අනුකම්පාවෙන් හා දයාවෙන් පරිපූර්ණ ය; නොකිපෙන සුලු ය, අතිශයින් කරුණාවන්ත ය.
10එතුමාණෝ අපේ පාපවලට සරිලන ලෙස අපට දඬුවම් නොදෙන සේක; අපේ අයුතුකම්වලට සැසඳෙන ලෙස ප්‍රතිවිපාක නොදෙන සේක.
Reading II
1 ජොහන් 4:7-16
7ප්‍රේමවන්තයෙනි, අපි එකිනෙකාට ප්‍රේම කරමු. මන්ද, ප්‍රේමය දෙවියන් වහන්සේගෙන් ය. ප්‍රේම කරන සෑම දෙන ම දෙවියන් වහන්සේගෙන් උපත ලබා සිටින බැවින් උන් වහන්සේ අඳුනති.
8ප්‍රේම නොකරන්නා දෙවියන් වහන්සේ නාඳුනයි. මන්ද, දෙවියන් වහන්සේ ප්‍රේමය ය.
9අප කෙරෙහි දෙවියන් වහන්සේගේ ප්‍රේමය ප්‍රකාශ කරනු ලැබුවේ දෙවියන් වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන්, අප උන් වහන්සේ කරණකොටගෙන ජීවත් වන පිණිස, ලෝකයට එවා වදාළ කාරණයෙන් ය.
10ප්‍රේමය යන්නෙන් මා අදහස් කරන්නේ අප දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම නොව, උන් වහන්සේ අපට ප්‍රේම කර සිය පුත්‍රයාණන් අපේ පාපයෙන් මිදීමේ මිලය වශයෙන් එවීම ය.
11ප්‍රේමවන්තයෙනි, දෙවියන් වහන්සේ අපට මෙසේ ප්‍රේම කළ සේක් නම්, අපත් එකිනෙකාට ප්‍රේම කළ යුතු ය.
12කිසිවෙකු කිසි කලෙක දෙවියන් වහන්සේ දුටුවේ නැත. එහෙත්, අපි එකිනෙකාට ප්‍රේම කරමු නම්, දෙවියන් වහන්සේ අප තුළ වැඩවසන සේක. උන් වහන්සේගේ ප්‍රේමය ද අප තුළ පරිපූර්ණ වන්නේ ය.
13අප උන් වහන්සේ තුළ ද, උන් වහන්සේ අප තුළ ද සිටින බව අප දන්නේ, උන් වහන්සේ සිය ආත්මයාණන් වහන්සේ අපට ප්‍රදානය කර ඇති බැවිනි.
14තවද, පියාණන් වහන්සේ තමන් පුත්‍රයාණන් ලෝකයාගේ ගැළවුම්කාරයාණන් වන පිණිස එවා වදාළ බව අපි දුටිමු. ඊට සාක්ෂි දරමු.
15යමෙක් ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් බව අදහාගනිමින් ප්‍රකාශ කරන්නේ ද, දෙවියන් වහන්සේ ඔහු තුළත්, ඔහු දෙවියන් වහන්සේ තුළත් වාසය කරති.
16මෙසේ අප කෙරෙහි ඇති දෙවියන් වහන්සේගේ ප්‍රේමය දැන හැඳින අපි එය විශ්වාස කර සිටිමු. දෙවියන් වහන්සේ ප්‍රේමය ය. ප්‍රේමයෙහි ජීවත් වන්නා උන් වහන්සේ තුළ ජීවත් වෙයි. දෙවියන් වහන්සේ ද ඔහු තුළ ජීවත් වන සේක.
Alleluia
ශුද්ධ වූ මතෙව් 11:29
29මා ගුණවත්, මෘදු, නිහතමානී කෙනෙකු බැවින් මාගේ වියගහ කරට ගෙන මාගෙන් ඉගෙනගන්න. එවිට ඔබට සහනය ලැබෙනු ඇත.
Gospel
ශුද්ධ වූ මතෙව් 11:25-30
25ඒ අවස්ථාවේ දී ජේසුස් වහන්සේ උත්තර දෙමින් මෙසේ වදාළ සේක: ”ස්වර්ගයටත්, පොළොවටත් ස්වාමීන් වන පියාණන් වහන්ස, ඔබ වහන්සේ මේ කරුණු පැණවතුන් හා නැණවතුන් කෙරෙන් ආවරණය කොට, බාලයන්ට අනාවරණය කළ හෙයින් ඔබට තුති පුදමි.
26එසේ ය, පියාණෙනි, ඔබට ප්‍රිය මනාප එය ම ය.
27මාගේ පියාණන් වහන්සේ සියල්ල මට පවරා දී ඇත. පියාණන් වහන්සේ හැර, අන් කිසිවෙක් පුත්‍රයාණන් නොහඳුනති. පුත්‍රයාණන් සහ පියාණන් වහන්සේ එළිදරව් කිරීමට පුත්‍රයාණන් විසින් තෝරාගනු ලැබූ යමෙක් වේ ද, ඔහු හැර අන් කිසිවෙක් පියාණන් වහන්සේ නොහඳුනති.
28වෙහෙස වන, බර උසුලන සියල්ලෙනි, මා වෙත එන්න; මම ඔබට සහනය දෙමි.
29මා ගුණවත්, මෘදු, නිහතමානී කෙනෙකු බැවින් මාගේ වියගහ කරට ගෙන මාගෙන් ඉගෙනගන්න. එවිට ඔබට සහනය ලැබෙනු ඇත.
30මාගේ වියගහ පහසු ය; මාගේ බර ද සැහැල්ලු ය.”