කියවීම්
2026 ජූනි 25
Thursday of the Twelfth Week in Ordinary Time
දවසේ දේව මෙහෙය
Reading I
රාජාවලියේ දෙ වන පොත 24:8-17
8ජෙහෝයාකින් දහඅට අවුරුදු වයසේ දී රජ වී තුන් මසක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම නෙහෂ්තා ය. ඈ ජෙරුසලමේ එල්නාතාන්ගේ දුවකි.
9ඔහු තමාගේ පියා කළ සියල්ල ලෙස සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය.
10ඒ කාලයෙහි බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර්ගේ හමුදා ජෙරුසලමට විරුද්ධ ව පැමිණ නුවර වැටලූ හ.
11ස්වකීය හමුදා නුවර වටලා සිටිය දී බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් ද එතැනට පැමිණියේ ය.
12එවිට ජුදාහි රජ වූ ජෙහෝයාකින් ද ඔහුගේ මෑණියෝ ද රාජ සේවකයෝ ද අධිපතියෝ ද ඇමතියෝ ද නුවරින් පිටත සිටි බබිලෝනියේ රජුට යටත් වූ හ. බබිලෝනියේ රජ තෙමේ තමා රජකමට පත් වී අට වන අවුරුද්දේ දී ඒ නගරය අල්ලාගත්තේ ය.
13ඔහු සමිඳාණන් වහන්සේ වදාළ ලෙස සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ වස්තු සියල්ල ද රජ ගෙයි වස්තු ද එතැනින් පිටතට ගෙන යනුයේ, ඉශ්රායෙල් රජ වූ සලමොන් සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි සාදා තිබුණු සියලු රන් භාජන කැබලි කොට කැපී ය.
14ඔහු ජෙරුසලම් වැසියන් ද සියලු අධිපතීන් ද සියලු යුද්ධ භටයන් ද වන දසදහස්දෙනෙකු සහ සියලු ශිල්පීන් ද ආචාරීන් ද විප්‍රවාසයට ගෙන ගියේ ය. දේශයේ ඉතා දුප්පතුන් මිස කිසිවෙක් ඉතිරි නො වූ හ.
15ඔහු ජෙහෝයාකින් බබිලෝනියට ගෙන ගියේ ය. රජුගේ මෑණියන් ද රජුගේ භාර්යාවන් ද ඔහුගේ ඇමතියන් ද දේශයේ බලවන්තයන් ද ඔහු පිටිවහල්කමට රැගෙන ජෙරුසලමේ සිට බබිලෝනියට ගෙන ගියේ ය.
16සත්දහසක් වූ සියලු යුද්ධ භටයන් ද ශිල්පීන් සහ ආචාරීන් දහසක් ද වන යුද්ධ කරන සියලු බලවන්තයෝ බබිලෝනියේ රජු විසින් විප්‍රවාසයට බබිලෝනියට ගෙන යන ලදහ.
17බබිලෝනියේ රජ ද ඔහුගේ බාප්පා වන මත්තනියා ඔහු වෙනුවට රජකමට පත් කොට ඔහුගේ නම ශෙදෙකියා යයි වෙනස් කෙළේ ය.
Responsorial Psalm
ගීතාවලිය 79:1-2, 3-5, 8, 9
1අහෝ දෙවිඳුනි, මිසදිටුවෝ ඔබේ උරුමය ආක්‍රමණය කළෝ ය. ඔබේ ශුද්ධ මාලිගාව කෙලෙසුවෝ ය. ජෙරුසලම් නගරය නටබුන් ගොඩක් කළෝ ය.
2ඔබේ සේවකයන්ගේ මළකඳන් ඔව්හු ආකාශ පක්ෂීන්ට කෑමට දුන්නෝ ය. ඔබේ දැහැමියන්ගේ මාංසය මිහි පිට තිරිසනුන්ට කෑමට දුන්නෝ ය.
3ඔව්හු ඔවුන්ගේ ලේ ජෙරුසලම වටා ජලය මෙන් වැගිරෙවුවෝ ය. ඔවුන් වැළලීමට කිසිවෙක් නොසිටියෝ ය.
4අපේ අසල්වැසියන් හට අපි සරදමක් වූයෙමු; අප අවට සිටින්නන් හට විහිළුවක් ද නින්දාවක් ද වූයෙමු.
5අහෝ සමිඳුනි! ඔබ කොපමණ කල් කෝප වී සිටින සේක් ද? සදහට ම ද? ඔබේ උදහස කොපමණ කල් ගින්න මෙන් දැවෙන්නේ ද?
8අපේ පියවරුන්ගේ දුෂ්ට ක්‍රියා අපට විරුද්ධ ව සිහි නොකළ මැනව. ඔබේ මෘදු දයාව අප කෙරෙහි විගස පැමිණෙවුව මැනව. අපේ බලාපොරොත්තු සියල්ල සුන් වී ඇත.
9අපේ මිදුම්කාර දෙවිඳුනි, ඔබේ මහිමාන්විත නාමය නිසා අපට සරණ වුණ මැනව; ඔබේ නාමය උදෙසා අප මුදා අපට කමා කළ මැනව.
Alleluia
ශුද්ධ වූ ජොහන් 14:23
23ජේසුස් වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, ”යමෙක් මට ප්‍රේම කරන්නේ නම්, හෙතෙම මාගේ ධර්මය පිළිපදින්නේ ය. මාගේ පියාණන් වහන්සේ ද ඔහුට ප්‍රේම කරන සේක. අපි ඔහු වෙතට පැමිණ ඔහු සමඟ වාසය කරන්නෙමු.
Gospel
ශුද්ධ වූ මතෙව් 7:21-29
21ස්වර්ගයෙහි වැඩ වසන මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන අය මිස මට, ‘ස්වාමීනි, ස්වාමීනි’යි කියන සියල්ලෝ ම ස්වර්ග රාජ්‍යයට ඇතුළු නොවන්නෝ ය.
22ඒ දවසේ දී බොහෝ දෙනෙක්, ‘ස්වාමීනි, ස්වාමීනි, අපි ඔබේ නාමයෙන් දිවැස් වැකි නොකීවෙමු ද? ඔබේ නාමයෙන් දුෂ්ටාත්මයන් දුරු නොකෙළෙමු ද? ඔබේ නාමයෙන් නොයෙක් ප්‍රබල ක්‍රියා නොකෙළෙමු දැ’යි මට කියනු ඇත.
23එවිට මම, ‘කිසි කලක ඔබ නොහැඳින්නෙමි; දුදනෙනි, මා වෙතින් අහක් ව යන්නැ’යි ඔවුන්ට කියන්නෙමි.”
24එහෙයින් යමෙක් මාගේ වචන අසා, ඒවා පිළිපදී ද, ඔහු පර්වතය මත තමාගේ ගෙය තනාගත් නැණවතෙකුට සමාන ය.
25වැසි වැස, ජලය ගලා, සුළඟ හමා ඒ ගෙට ගැසී ය, එය පර්වතය මත පිහිටි බැවින් බිඳ නොවැටිණි.
26තවද, යමෙක් මාගේ මේ වචන අසා, ඒවා නොපිළිපදී ද, ඔහු වැලි මත ගෙය තනාගත් අනුවණ මනුෂ්‍යයෙකුට සමාන ය.
27වැසි වැස, ජලය ගලා, සුළඟ හමා ඒ ගෙට ගැසී ය, එය බිඳ වැටිණි. එහි වැටීම ද භයංකර විය.”
28ජේසුස් වහන්සේ මේ වචන කියා නිම කළ කල්හි, සමූහයෝ උන් වහන්සේගේ අනුශාසනා ගැන විස්මිත වූ හ.
29මන්ද, උන් වහන්සේ ඔවුන්ගේ විනයධරයන් මෙන් නොව, ආධිපත්‍යය ඇත්තෙකු මෙන් ඔවුන්ට අනුශාසනා කළ හෙයිනි.