කියවීම්
2026 ජූනි 19
Friday of the Eleventh Week in Ordinary Time
දවසේ දේව මෙහෙය
Reading I
රාජාවලියේ දෙ වන පොත 11:1-4, 9-18, 20
1අහසියාගේ මව වූ අතලියා ඇගේ පුත්‍රයා මළ බව දැක නැඟිට මුළු රාජ වංශය විනාශ කළා ය.
2එහෙත්, ජෝරාම් රජුගේ දූ වූ අහසියාගේ සහෝදරී වූ ජෙහෝෂෙබා තොමෝ මරනු ලැබූ රජුගේ පුත්‍රයන් අතරෙන් අහසියාගේ පුත් ජෝවාෂ් රැගෙන ඔහුගේ කිරි මව සමඟ යහන් ගෙයි රහසිගත ව තැබුවා ය. ඔහු මරනු නොලබන ලෙස අතලියාගෙන් ඔහු සඟවන ලදී.
3ඔහු සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි ඈ සමඟ අවුරුදු හයක් සැඟවී සිටියේ ය. අතලියා දේශයෙහි රජකම් කළා ය.
4සත් වන අවුරුද්දේ දී ජෙහෝයාදා පණිවුඩ යවා ආරක්ෂක භටයන්ගේ ද රජ මාලිගාවේ මුරකාරයන්ගේ ද ශතාධිපතීන් ගෙන්වා සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දී තමා ළඟට පමුණුවාගෙන ඔවුන් සමඟ ගිවිසුමක් කොට, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දී ඔවුන්ගෙන් දිවුරුම් ගෙන, රජුගේ පුත්‍රයා ඔවුන්ට පෙන්වා කතා කොට,
9ශතාධිපතියෝ ජෙහෝයාදා පූජකයා අණ කළ සියල්ල ලෙස කරමින්, එකිනෙකා තම තමාගේ මිනිසුන් එනම්, සබත් දවසේ දී ඇතුළු වන තැනැත්තන් සබත් දවසේ දී පිටත යන තැනැත්තන් ද සමඟ කැඳවාගෙන ජෙහෝයාදා පූජකයා ළඟට ආවෝ ය.
10පූජකයා සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි තිබූ දාවිත් රජුගේ හෙල්ල හා පලිස් ශතාධිපතීන්ට දුන්නේ ය.
11මුරකාරයෝ එක් එක්කෙනා තම තමාගේ අතින් ආයුධ රැගෙන මාලිගාවේ දකුණු පැත්තේ පටන් වම් පැත්ත දක්වා පූජාසනයත්, මාලිගාවත් ළඟ රජු වටකර සිටියහ.
12එවිට ඔහු රජුගේ පුත්‍රයා පිටතට ගෙනවුත්, ඔහුගේ හිස පිට ඔටුන්න තබා ව්‍යවස්ථාව ඔහුට දුන්නේ ය. ඔව්හු රජකමට ඔහු අභිෂේක කොට අත්පොළසන් දී, ”රජතුමා සැරදේ වා”යි කීවෝ ය.
13අතලියා තොමෝ මුරකාරයන්ගේත්, සෙනඟගේත් ඝෝෂාව අසා සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි සිටි සෙනඟ ළඟට ආවා ය.
14ඈ බැලූ විට සිරිත් ප්‍රකාර රජු කණුව ළඟ සිටින බව ද රජු ළඟ අධිපතීන් ද නළාකාරයන් ද සිටින බව ද දේශයේ මුළු සෙනඟ ප්‍රීතියෙන් හොරණෑ පිඹින බව ද දැක හිත් වේදනාවෙන් ඇගේ ඇඳුම් ඉරාගෙන, ”ද්‍රෝහිකමකි, ද්‍රෝහිකමකි” කියා මොරගැසුවා ය.
15එවිට ජෙහෝයාදා පූජකයා සේනාවේ ප්‍රධානීන් වන ශතාධිපතීන්ට කතා කොට, ”ඇය මුර භටයන් අතරෙන් පිටතට ගෙන යන්න. ඈ පස්සේ යමෙකු ආවොත් ඔහු කඩුවෙන් මරන්නැ”යි අණ කෙළේ ය. මන්ද, ”සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දී ඈ මරනු නොලැබේ වා”යි පූජකයා කී ය.
16මෙසේ ඔව්හු ඈට යන්නට ඉඩ හැරියෝ ය. ඈ රජ ගෙදරට අශ්වයන් ඇතුළු වන මාර්ගයෙන් ගෙන ගිය විට එහි දී මරනු ලැබුවා ය.
17සමිඳාණන් වහන්සේගේ සෙනඟ ව සිටින හැටියට සමිඳාණන් වහන්සේ සහ රජු ද සෙනඟ ද අතර ජෙහෝයාදා තෙමේ ගිවිසුමක් කෙළේ ය; එසේ ම රජු ද සෙනඟ ද අතරේත් ගිවිසුමක් කෙළේ ය;
18දේශයේ මුළු සෙනඟ බාල්ගේ දේවාලයට ගොස් එය කඩා ඔහුගේ පූජාසනය ද රූප ද මුළුමනින් බිඳදමා, පූජාසනය ඉදිරියෙහි දී බාල්ගේ පූජකයා වූ මත්තාන් මැරුවෝ ය. පූජක තෙමේ සමිඳාණන් වහන්සේගේ මාලිගාවට මුලාදෑනීන් පත් කෙළේ ය.
20මෙසේ දේශයේ මුළු සෙනඟ ප්‍රීති වූ හ. නුවර ද සාමකාමී ව තිබිණි.
Responsorial Psalm
ගීතාවලිය 132:11, 12, 13-14, 17-18
11සමිඳාණෝ සැබැවින් ම දාවිත්ට මෙලෙස දිවුළ සේක: ”නුඹේ ම කුමරෙකු නුඹේ සිහසුනට පත් කරන්නෙමි.
12නුඹේ පුත්‍රයෝ මාගේ ගිවිසුම ද මා ඔවුන්ට උගන්වන ශික්ෂා පද ද රක්ෂා කරන්නෝ නම්, ඔවුන්ගේ පුත්‍රයෝත් නුඹේ සිහසුන අරා සදාකල් හිඳගන්නෝ ය,”
13සමිඳාණෝ සියොන් තෝරාගත් සේක. සිය වාසභවනය ලෙස ඊට කැමැති වූ සේක.
14මෙය සදාකල් ම මාගේ වාසස්ථානය වේ. මම මෙහි වැඩ වසන්නෙමි; මම ඊට කැමැති වෙමි.
17එහි දාවිත්ගෙන් පැවැතෙන්නෙකු බලවත් රජෙකු කරන්නෙමි. මාගේ අභිෂේක ලත් තැනැත්තාට පහනක් මෙන් දිළෙන්නට සලසන්නෙමි.
18ඔහුගේ සතුරන් ලජ්ජාවට පත් කරන්නෙමි. එහෙත්, ඔහු මත ඔහුගේ කිරුළ බබළන්නේ ය.
Alleluia
ශුද්ධ වූ මතෙව් 5:3
3බැගෑ සිතින් දෙවි සරණ පතන්නෝ භාග්‍යවන්තයෝ ය; ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේ ය.
Gospel
ශුද්ධ වූ මතෙව් 6:19-23
19මෙලොව ඔබට වස්තු රැස්කර නොගන්න. මලකඩ ද කාවෝ ද ඒවා කාදමති. සොරු ද උමං කැණ ඒවා සොරාගනිති.
20එහෙත්, ස්වර්ගයෙහි ඔබට වස්තු රැස්කරගන්න. එහි දී මලකඩ වත් කාවෝ වත් ඒවා නාස්ති නොකරති. සොරු ද උමං කැණ ඒවා සොරා නොගනිති.
21ඔබේ වස්තුව කොතැන ද ඔබේ සිතත් එතැන ය.”
22සිරුරට පහන ඇස ය. එහෙයින් ඔබේ ඇස නීරෝගි නම්, ඔබේ මුළු සිරුර ආලෝකවත් වේ.
23ඔබේ ඇස රෝගී නම්, ඔබේ මුළු සිරුර ම අඳුරු වේ. ඔබ තුළ ඇති ආලෝකය අඳුරු වී ගියහොත්, එය කෙතරම් ඝන අන්ධකාරයක් ද?