කියවීම්
2026 ජූනි 3
Memorial of Saint Charles Lwanga and Companions, Martyrs
දවසේ දේව මෙහෙය
Reading I
2 තිමෝති 1:1-3, 6-12
1මේ හසුන, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ ඉටු වී ඇති ජීවනයේ පොරොන්දුව ලෙස, දෙවියන් වහන්සේගේ කැමැත්ත හේතුකොටගෙන, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ ප්‍රේරිතවරයෙකු වන පාවුලුගෙන්, ප්‍රේමවන්ත දරුවා වන තිමෝතියස් වෙතට ය.
2දෙවි පියාණන් වහන්සේගෙන් ද, අපේ ස්වාමීන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගෙන් ද වරප්‍රසාදයත්, දයාවත්, ශාන්තියත් ඔබට වේ වා!
3මම දිවා රෑ දෙක්හි ම නිතර මාගේ යාච්ඤාවල දී ඔබ සිහි කරමින්, මාගේ මුතුන්මිත්තන් කළාක් මෙන් පිරිසිදු හෘදය සාක්ෂියකින් මා සේවය කරන දෙවියන් වහන්සේට ස්තුති කරමි.
6ඒ නිසා මාගේ හස්තාලේපනය හේතුකොටගෙන ඔබ කෙරෙහි තිබෙන දෙවියන් වහන්සේගේ දීමනාව ගිනි දැල්ලක් සේ දල්වාගන්නා ලෙස ඔබට සිහි කරවමි.
7දෙවියන් වහන්සේ අපට දුන්නේ, බයාදු ගතිය නොව, බලසම්පන්න, ප්‍රේමාන්විත, හික්මුණු ආත්මානුභාවය ය.
8එහෙයින් අපේ සමිඳාණන් වහන්සේ උදෙසා සාක්ෂි දැරීම ගැනත්, උන් වහන්සේගේ සිරකරුවා වන මා ගැනත්, ලජ්ජා නොවන්න. එහෙත් දෙවියන් වහන්සේගේ බලය කෙරෙහි විශ්වාසය තබා, සුබ අස්න වෙනුවෙන් දුක් විඳීමෙහි පංගුකාරයෙක් වන්න.
9උන් වහන්සේ අප ගළවා, කැපවූ ජීවිතයකට අප කැඳවූ සේක. එසේ කළේ අපේ ම පුණ්‍ය ක්‍රියාවක් නිසා නොව, උන් වහන්සේගේ ම අභිප්‍රායත් දේව වරප්‍රසාදයත් අනුව ය. මෙය, කාලයාගේ පටන්ගැන්මට පෙර ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ විසින් දෙනලද්දකි.
10එහෙත් මෙය දැන් එළිදරව් කරන ලද්දේ අපේ මිදුම්කාරයාණන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ ප්‍රකාශ වීමෙන් ය. උන් වහන්සේ මරණයේ බලය බිඳදමා, ජීවනයත්, අමරණීය භාවයත්, සුබ අස්න මඟින් හෙළි කර වදාළ සේක.
11ඒ සුබ අස්න පිළිබඳ දේශනාකරුවෙකු ද ප්‍රේරිතයෙකු ද, ගුරුවරයෙකු ද ලෙස මම පත් කරනු ලැබුවෙමි.
12මා දුක් විඳින්නේ ඒ නිසා ම ය. එහෙත් මම ලජ්ජා නොවෙමි. මන්ද, මා අදහන්නේ කවරෙකු ද කියා මම දනිමි. මට භාර දී තිබෙන දෙය, ඒ මහා දවස දක්වා ආරක්ෂා කිරීමට උන් වහන්සේට හැකි බව මම සැක නොකරමි.
Responsorial Psalm
ගීතාවලිය 123:1-2, 2
1සගලොව වැඩ වසන සමිඳුනි ඔබ දෙස මාගේ ඇස් ඔසවමි.
2බලව, දාසයෙකුගේ ඇස් සිය ස්වාමියාගේ අත දෙසත්, දාසියකගේ ඇස් සිය ස්වාමි දුවගේ අත දෙසත් යොමු වී තිබෙන්නාක් මෙන්, අපේ දෙවිඳාණන්ගේ කරුණාව අප වෙත පහළ වන තෙක්, අපේ දෑස එතුමාණන් දෙස යොමා තිබේ.
Alleluia
ශුද්ධ වූ ජොහන් 11:25, 26
25ජේසුස් වහන්සේ කතා කරමින්, පුනරුජ්ජීවනය ද, ජීවනය ද මම වෙමි; මා අදහාගන්නා මැරුණත් ජීවත් වන්නේ ය;
26ජීවත් ව සිටින, මා අදහාගන්න කිසිවෙක් කිසි කලෙක නො මැරෙන්නේ ය. ඔබ මෙය අදහන්නෙහි දැ”යි ඇසූ සේක.
Gospel
ශුද්ධ වූ මාර්ක් 12:18-27
18පුනරුජ්ජීවනයක් නැතැ යි උගන්වන සද්දුසිවරුන්ගෙන් සමහරු උන් වහන්සේ වෙත අවුත් ප්‍රශ්න කරමින්, උන් වහන්සේගෙන් මෙසේ ඇසූ හ:
19ගුරුදේවයෙනි, යමෙකුගේ සහෝදරයෙක් දරුවෙකු නොලැබ, සිය භාර්යාව ජීවත් ව සිටිය දී මියගියොත්, ඔහුගේ සහෝදරයා ඒ ස්ත්‍රිය පාවාගෙන සිය සහෝදරයාගේ නමට දරුවන් ඉපදවිය යුතු ය යි මෝසෙස් විසින් අපට අණ දී තිබේ.
20වරක් සහෝදරයෝ සත් දෙනෙක් සිටියහ. පළමුවැන්නා භාර්යාවක පාවාගෙන දරුපල නැති ව මළේ ය.
21දෙවැන්නාත් ඇය පාවාගෙන දරුපල නැති ව මළේ ය. තෙවැන්නාටත් එසේ ම විය.
22සත්දෙන ම දරුපල නැති ව මළෝ ය. හැමට ම පසු ස්ත්‍රිය ද මළා ය.
23සත් දෙනා ම ඇය භාර්යාව කොට පාවාගත් බැවින් පුනරුජ්ජීවනයේ දී, ඔවුන් මළවුන්ගෙන් නැඟිටින කල ඈ ඔවුන්ගෙන් කවරෙකුගේ භාර්යාව වන්නී ද?”
24ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට මෙසේ වදාළ සේක: ”ඔබ මුළා වන්නේ ශුද්ධ ලියවිලි වත් දෙවියන් වහන්සේගේ බලපරාක්‍රමය වත් නොදන්නා නිසා නොවේ ද?
25මා එසේ කියන්නේ මළවුන්ගෙන් උත්ථානවීමේ දී ආවාහ වීමක් හෝ විවාහ වීමක් හෝ නැති බැවිනි; ඔව්හු ස්වර්ගයෙහි දේව දූතයන් මෙන් වෙති.
26තවද මළවුන් නැඟිටුවනු ලැබීම ගැන, ‘මම ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ය, ඊසාක්ගේ දෙවියන් වහන්සේ ය, ජාකොබ්ගේ දෙවියන් වහන්සේ ය’යි දෙවියන් වහන්සේ මෝසෙස්ට වදාළ බව ඔහුගේ පොතේ ගිනිගත් පඳුර ගැන සඳහන් වන පාඨයෙහි ඔබ කියවා නැද් ද?
27උන් වහන්සේ මළවුන්ගේ දෙවියන් වහන්සේ නොව ජීවතුන්ගේ දෙවියන් වහන්සේ ය. ඔබ බොහෝ සේ මුළා ව ගොස් ඇත.”