කියවීම්
2026 ජූනි 7
The Solemnity of the Most Holy Body and Blood of Christ
දවසේ දේව මෙහෙය
Reading I
ද්විතීය නීති සංග්‍රහය 8:2-3, 14-16
2තවද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ අණපණත් ඔබ පිළිපදින්නහු ද නැද්ද කියා ඔබේ සිත දැනගනු පිණිස, මේ හතළිස් අවුරුද්ද තුළ පාළුකරය ඔස්සේ ඔබ යටහත් බවට පමුණුවා, සෝදිසි කරමින් උන් වහන්සේ ඔබ ගෙන ගිය දීර්ඝ ගමන සිහි කරන්න.
3උන් වහන්සේ ඔබ යටහත් බවට පමුණුවා සාගින්නෙන් යන්නට හැරිය සේක. ඉන්පසු ඔබ වත්, ඔබේ පියවරුන් වත් නොදත් ‘මන්නා’ නමැති කෑමෙන් ඔබ පෝෂණය කළ සේක. උන් වහන්සේ මෙසේ කෙළේ මිනිසා ජීවත් වන්නේ කෑමෙන් පමණක් නොව සමිඳාණන් වහන්සේගේ මුවින් නික්මෙන සියලු වචනවලින් බව ඔබට උගන්වනු පිණිස ය.
14ඔබ හිස උදුම්මා නොගෙන, වහල්කමේ නිවාසය වන මිසර දේශයෙන් ඔබ පිටතට ගෙනා ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ අමතක නොකරන්න.
15විසකුරු සර්පයන්ගෙන් හා ගෝනුස්සන්ගෙන් ගහණ වූ මහා භයානක පාළුකරය ඔස්සේ උන් වහන්සේ ඔබ ගෙන ගිය සේක. නියඟය පැවති, වතුර නැති ස්ථානවල දී කළුගල් පර්වතයෙන් ඔබට වතුර ලබා දුන් සේක.
16පාළුකරයේ දී ඔබේ පියවරුන් පවා නොදත්, ‘මන්නා’ නමැති ආහාරයකින් උන් වහන්සේ ඔබ පෝෂණය කළ සේක. උන් වහන්සේ එසේ කෙළේ ඔබ යටහත් බවට පමුණුවා, ඔබ සෝදිසි කොට, අන්තිමේ දී ඔබට සෙත සලසනු සඳහා ය.
Responsorial Psalm
ගීතාවලිය 147:12-13, 14-15, 19-20
12එම්බා ජෙරුසලම! සමිඳුන්ට ප්‍රශංසා කරන්න. සියොන් ගිර, තිගේ දෙවිඳුන්ට ප්‍රශංසා කරන්න.
13මන්ද, එතුමාණෝ තිගේ වාසල් දොරටුවල අගුල් සවිමත් කළ සේක; තිගේ දරුවන්ට ආශීර්වාද කළ සේක.
14තිගේ සීමා තුළ සාමය සිදු කරන සේක; ඉස්තරම් තිරිඟු පිටියෙන් තෘප්තියට පමුණුවන සේක.
15එතුමාණෝ ස්වකීය ආඥාව පොළොවෙහි ඉම දක්වා යවන සේක. එතුමන්ගේ වචන යුහු ව පැතිර යයි.
19එතුමාණෝ ජාකොබ්ට සිය වචනය ද ඉශ්රායෙල්ට සිය පණත් සහ නියමයන් ද ප්‍රකාශ කරන සේක.
20එතුමාණෝ වෙන කිසි ජාතියකට මෙසේ නොකළ සේක. ඔව්හු එතුමන්ගේ නියමයන් දැන නොගත්තෝ ය. සමිඳුන්ට ප්‍රශංසා වේ වා!
Reading II
1 කොරින්ති 10:16-17
16අප ආසිරි කුසලාන ගෙන ආශීර්වාද කරන විට ඉන් අදහස් වන්නේ ක්‍රිස්තුන් වහන්සේගේ රුධිරයේ සහභාගිකම නොවේ ද? අප රොටි කඩන විට ඉන් අදහස් වන්නේ ක්‍රිස්තුන් වහන්සේගේ ශරීරයේ සහභාගිකම නොවේ ද?
17රොටිය එකක් වන බැවින් අපි බොහෝ දෙනෙක් වුව ද, එකම ශරීරයක් වෙමු. මන්ද, අප එක රොටියක් බෙදාගන්නා බැවිනි.
Alleluia
ශුද්ධ වූ ජොහන් 6:51
51ස්වර්ගයෙන් පහළ වන ජීවනදායක ආහාරය මම ය. යමෙක් මේ ආහාරයෙන් වැළඳුවොත්, ඔහු සදහට ම ජීවත් වන්නේ ය. මා විසින් දෙනු ලබන ඒ ආහාරය මාගේ මාංසය වේ. මා එය දෙන්නේ ලෝකයාගේ ජීවනය පිණිස ය”යි වදාළ සේක.
Gospel
ශුද්ධ වූ ජොහන් 6:51-58
51ස්වර්ගයෙන් පහළ වන ජීවනදායක ආහාරය මම ය. යමෙක් මේ ආහාරයෙන් වැළඳුවොත්, ඔහු සදහට ම ජීවත් වන්නේ ය. මා විසින් දෙනු ලබන ඒ ආහාරය මාගේ මාංසය වේ. මා එය දෙන්නේ ලෝකයාගේ ජීවනය පිණිස ය”යි වදාළ සේක.
52එවිට ජුදෙව්වරු ඔවුනොවුන් අතර විවාද කරමින්, ”මේ මිනිසා, ඔහුගේ මාංසය අනුභව කරන පිණිස අපට දෙන්නේ කෙසේ දැ”යි කී හ.
53එබැවින් ජේසුස් වහන්සේ ඔවුන් මෙසේ ඇමතූ සේක: ”ඒකාන්තයෙන් මම ඔබට කියමි, ඔබ මනුෂ්‍ය-පුත්‍රයාණන්ගේ මාංසය අනුභව නොකරන්නහු නම්, ඔහුගේ රුධිරය පානය නොකරන්නහු නම්, ඔබ තුළ ජීවනය නැත.
54යමෙක් මාගේ මාංසය අනුභව කරන්නේ ද, මාගේ රුධිරය පානය කරන්නේ ද, ඔහුට සදාතන ජීවනය ඇත. තවද, මම ඔහු අන්තිම දවසේ දී උත්ථාන කරන්නෙමි.
55මන්ද, මාගේ මාංසය සැබෑ ආහාරය වේ; මාගේ රුධිරය සැබෑ පානය වේ.
56මාගේ මාංසය අනුභව කරන, මාගේ රුධිරය පානය කරන තැනැත්තේ මා තුළ ජීවත් වන්නේ ය; මම ද ඔහු තුළ ජීවත් වන්නෙමි.
57ජීවමාන පියාණන් වහන්සේ මා එවා වදාළ බැවින්, මා පියාණන් වහන්සේ නිසා ජීවත් වන ලෙස ම, මා අනුභව කරන තැනැත්තේ, මා නිසා ජීවත් වෙයි.
58මේ වනාහි ස්වර්ගයෙන් පහළ වූ ආහාරය වේ. එය අපේ පියවරුන් වැළඳූ ආහාර මෙන් නොවේ. ඒ ආහාරය වැළඳූ ඔව්හු මළහ. එහෙත්, මේ ආහාරය වළඳන තැනැත්තේ සදහට ම ජීවත් වන්නේ ය.”