ජූනි 2026

බ්‍ර සි සෙ
123456
78910111213
14151617181920
21222324252627
282930
අද දිනට

කියවීම්

2026 ජූනි 10

Wednesday of the Tenth Week in Ordinary Time

දවසේ දේව මෙහෙය
Reading I

රාජාවලියේ පළමු වන පොත 18:20-39

20එවිට ආහබ් මුළු ඉශ්රායෙල් ජනයා අතරට පණිවුඩ යවා දිවැසිවරුන් කර්මෙල්‍ කන්දට රැස් කරවී ය. 21එවිට එලියා මුළු සෙනඟ ළඟට අවුත් කතා කොට, ”තීරණයක් නොගෙන දෙගිඩියාවෙන් ඔබ කොපමණ කල් සිටින්නහු ද? සමිඳාණන් වහන්සේ දෙවියන් වහන්සේ නම්, උන් වහන්සේ අනුව යන්න. බාල් දේවතාවා දෙවියන් වහන්සේ නම්, ඔහු අනුව යන්නැ”යි කීවේ ය. එහෙත්, සෙනඟ ඔහුට කිසි උත්තරයක් දුන්නේ නැත. 22එවිට එලියා සෙනඟට කතා කොට, ”සමිඳාණන් වහන්සේගේ දිවැසිවරයෙකු ව, ඉතිරි ව සිටින්නේ මම පමණකි. එහෙත්, බාල් දේවතාවාගේ දිවැසිවරු හාරසිය පණස්දෙනෙක් සිටිති. 23එබැවින් අපට ගොනුන් දෙදෙනෙකු දෙත් වා! ඔව්හු එක ගොනෙකු තෝරාගෙන කෑලිවලට කපා, දර පිට තබා යටින් ගිනි නොතබත් වා! මමත් අනික් ගොනා පිළියෙළ කොට දර පිට තබා, යටින් ගිනි නොතබන්නෙමි. 24ඔබ හැම ඔබේ දෙවියන්ගේ නාමය කියා යාච්ඤා කරන්න. මමත් සමිඳාණන් වහන්සේගේ නාමය කියා යාච්ඤා කරන්නෙමි. එවිට ගිනි එවීමෙන් උත්තර දෙන දෙවියන් වහන්සේ ම සැබෑ දෙවියන් වහන්සේ වන සේක් වා!”යි කීවේ ය. මුළු සෙනඟ උත්තර දෙමින්, ”ඒ කීම යහපතැ”යි කීවෝ‍ ය. 25එලියා බාල් දේවතාවාගේ දිවැසිවරුන්ට කතා කොට, ”ඔබ හැම බොහෝ දෙනෙකු හෙයින්, පළමුකොට ගොනෙකු තෝරාගෙන පිළියෙළ කර, ඔබේ දෙවියන්ගේ නාමය කියා යාච්ඤා කරන්න. එහෙත්, යටින් ගිනි නොතබන්නැ”යි කීවේ ය. 26ඔව්හු තමන්ට ලැබුණු ගොනා රැගෙන පිළියෙළ කොට, උදය පටන් ඉර මුදුන් වේලාව දක්වා බාල් දේවතාවාගේ නාමයෙන් යාච්ඤා කරමින්, ”අහෝ බාල් දේවතාවෙනි” කියා කෑ ගසමින්, සාදා තිබුණු පූජාසනය වටේට නට නටා ඇවිද්දො‍් ය. එහෙත්, කිසි හඬක් වත්, උත්තර දුන් කිසිවෙක් වත් නො වූ හ. 27ඉර මුදුන් වේලාවේ එලියා ඔවුන්ට කවටකම් කරමින්, ”ශබ්ද නඟා මොරගසන්න, මන්ද, ඔහු දෙවියෙකි. ඔහු කල්පනා කරමින් හෝ බැහැර ගොසින් හෝ ගමනක් යමින් හෝ ඇත. සමහර විට ඔහු නිදාගෙන සිටියි. ඒ නිසා පුබුදු වන්න උවමනා ය”යි කීවේ ය. 28ඔව්හු මහත් හඬින් මොරගසා තමන්ගේ සිරිත අනුව ලේ ඇඟේ ගලා යන තුරු පිහිවලිනුත්, හෙල්ලවලිනුත් තමන්ගේ ශරීර කපාගත්හ. 29මද්දහන පසු වී සවස යාගය ඔප්පු කරන වේලාව දක්වා ඔව්හු ඔල්මාදයෙන් දොඩවමින් බෙරිහන් දුන්හ. එහෙත්, කිසි හඬක් වත් උත්තර දුන් කිසිවෙක් වත්, සැලකූ කෙනෙක් වත් නො වූ හ. 30එවිට එලියා, ”මා ළඟට එන්නැ”යි සෙනඟට කී ය. මුළු සෙනඟ ඔහු ළඟට ආවෝ‍ ය. ඔහු වනාහි කඩා දමා තිබූ සමිඳාණන් වහන්සේගේ පූජාසනය යළි සාදා, 31‘නුඹේ නාමය ඉශ්රායෙල් වන්නේ ය’ යන සමිඳාණන් වහන්සේගේ පණිවුඩය ලැබූ ජාකොබ්ගේ පුත්‍රයන්ගේ ගෝත්‍රවල ගණන ලෙස ගල් දොළොසක් රැගෙන 32උන් වහන්සේගේ නාමයෙන් පූජාසනයක් ගොඩනැඟී ය. ඉන්පසු ඒ පූජාසනය වටේට වතුර ලීටර් දහහතරක් පමණ අල්ලන තරම් වූ අගලක් කපා, 33දර පිළිවෙළින් තබා, ගොනා කැබෙලි කොට කපා දර පිට තැබී ය. තවද, ”වතුර සැළි සතරක් පුරවා දවන යාග පූජාව පිටත්, දර පිටත් වත්කරන්නැ”යි ඔහු කීවේ ය. 34දෙ වන‍ වරත්, ”එසේ ම කරන්නැ”යි ඔහු කී විට ඔව්හු දෙ වන‍ වරත් එසේ කළෝ ය. තුන් වන වරත්, ”එසේ ම කරන්නැ”යි ඔහු කී විට, ඔව්හු තුන් වන වරත් එසේ කළෝ ය. 35වතුර පූජාසනය වටේට ගලා ගොස්, අගල ද වතුරෙන් පිරුණේ ය. 36සවස යාගය ඔප්පු කරන වේලාවේ දිවැසිවර එලියා ළං වී කතා කොට, ”ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද ඉශ්රායෙල්ගේ ද දෙවි සමිඳාණන් වහන්ස ඔබ ඉශ්රායෙල්හි දෙවියන් වහන්සේ බව ද මා ඔබේ සේවකයා බව ද මා මේ දෙය කෙළේ, ඔබේ වචනය ලෙස බව ද අද ඔවුන්ට දැනගන්නට ලැබේ වා! 37සමිඳාණන් වහන්ස මට උත්තර දුන මැනව. ස්වාමීන් වන ඔබ දෙවියන් වහන්සේ බවත්, මේ සෙනඟගේ සිත් නැවත හරවාගත්තේ ඔබ ම බවත් මොවුන් දැනගන්න පිණිස මට උත්තර දුන මැනව”යි කී ය. 38එවිට සමිඳාණන් වහන්සේ වෙතින් ගිනි බැස පූජාවත්, දරත්, ගලුත්, ධූලිත් දවා අගලේ වතුරත් වියළවා දැමී ය. 39මුළු සෙනඟ එය දැක මුණින්තළා වැටී, ”සමිඳාණන් වහන්සේ ම දෙවියන් වහන්සේ ය; සමිඳාණන් වහන්සේ ම දෙවියන් වහන්සේ ය”යි කීවෝ‍ ය.
Responsorial Psalm

ගීතාවලිය 16:1-2, 4, 5 and 8, 11

1දෙවිඳුනි, මම ඔබ සරණකොට ගතිමි. එබැවින් මා රැකගත මැනව. 2මම මෙසේ කීමි: ”සමිඳුනි, ඔබ මාගේ සමිඳාණන් වහන්සේ ය, මාගේ සව් සම්පත ය. ඔබ හැර අන්කිසි සෙතක් මට නැත්තේ ය.” 4අන් දෙවි පිහිටක් පතා දුවන අයගේ දුක බොහෝ වන්නේ ය. පානීය ලේ පූජා මම ඔවුන්ට නොපුදන්නෙමි; ඔවුන්ගේ නාම මා මුවින් නොපවසන්නෙමි. 5සමිඳුනි, මාගේ උරුමය හා ඉරණම ඔබ වහන්සේ ය. ඔබ, ඔබ පමණක් ම මා උරුම කොටස රක්නා සේක. 8හිමි තුමන් නිරතුරු මා අබියස තබාගන්නෙමි. මා දකුණු පස එතුමාණන් වැඩ වසන බැවින් මම නොසැලෙන්නෙමි. 11ඔබ මට ජීවන මඟ හෙළි කරන සේක. ඔබ අබිමුවෙහි පිරිපුන් සතුට මට වන්නේ ය. ඔබ දකුණු පස සැප සම්පත් සදහට ම ඇත්තේ ය.
Alleluia

ගීතාවලිය 25:4, 5

4සමිඳුනි, ඔබේ ක්‍රියා මාර්ගය මට හෙළි කළ මැනව; ඔබේ මාවත් මට පැහැදිලි කළ මැනව. 5ඔබේ සත්‍යය අනුව මා ගෙන ගිය මැනව; මට එය ඉගැන්නුව මැනව; මන්ද, ඔබ මාගේ විමුක්තිදායක දෙවිඳාණෝ ය. දවස පුරා ඔබ එන මඟ බලා සිටිමි.
Gospel

ශුද්ධ වූ මතෙව් 5:17-19

17මම ව්‍යවස්ථාවලිය හා දිවැසාවලිය අවලංගු කරන පිණිස ආවෙමි යි නොසිතන්න. මා ආයේ, ඒවා අවලංගු කිරීමට නොව, සම්පූර්ණ කිරීමට ය. 18සැබැවින් ම මම ඔබට කියමි, අහස හා පොළොව පහ ව ගියත්, සියල්ල පරිපූර්ණ වන තුරු, ව්‍යවස්ථාවලියෙන් ඉස්පිල්ලක් වත් පාපිල්ලක් වත් පහ වී නොයන්නේ ම ය. 19එබැවින් මේ ආඥාවලින් ඉතා සුළු එකක් වත් කඩ කරන හා කඩ කරන ලෙස මිනිසුන්ට උගන්වන කවරෙකු වුව ද, ඔහු ස්වර්ග රාජ්‍යයෙහි ඉතා සුළු ය යි කියනු ලබන්නේ ය. එහෙත්, ඒවා පිළිපදින, ඒවා උගන්වන කවරෙකු වුව ද, ඔහු ස්වර්ග රාජ්‍යයෙහි උතුම් ය යි කියනු ලබන්නේ ය.