කියවීම්
2026 ජූනි 16
Tuesday of the Eleventh Week in Ordinary Time
දවසේ දේව මෙහෙය
Reading I
රාජාවලියේ පළමු වන පොත 21:17-29
17තවද, සමිඳාණන් වහන්සේගේ පණිවුඩය තිෂ්බීය එලියා වෙත පැමිණ,
18නුඹ පිටත් ව සමාරියේ වසන ඉශ්රායෙල් රජු වන ආහබ් රජු හමුවන්න යන්න. ඔහු නාබොත්ගේ මිදි වත්ත අයිති කරගන්න එහි ගොස් සිටියි.
19නුඹ ඔහුට කතා කොට, ‘නුඹ ඒ වත්ත මිනී මරා අයිති කරගත්තෙහි දැ යි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ’යි කියන්න. තවද, ‘බල්ලෝ යම් තැනක දී නාබොත්ගේ ලේ ලෙවකෑවෝ ද එතැන්හි දී බල්ලෝ නුඹේ ලේ එසේ ය, නුඹේ ම ලේත් ලෙවකන්නෝ යයි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ’යි ඔහුට දන්වන්නැ”යි කී ය.
20ආහබ් ද කතා කොට, ”අහෝ මාගේ හතුර, ඔබ මා සොයාගත්තෙහි දැ”යි එලියාට කී ය. ඔහු උත්තර දෙමින්, ”මම නුඹ සොයාගතිමි. මක්නිසා ද, නුඹ සමිඳාණන් වහන්සේගේ ඇස් හමුවෙහි නපුරු දේ කරන්න නුඹ ම භාර වී සිටින්නෙහි ය.
21බලන්න ‘මම නුඹ පිට විපත පමුණුවා නුඹ සහමුලින් ම අහකට නෙරපාදමා, නුඹේ පවුලට අයත් සියලු පිරිමින්, ඉශ්රායෙල්වරුන් අතරෙහි දාසයන් වුවත්, නිර්දාසයන් වුවත්, මරා දමා,
22නුඹ මා කෝප කරවමින් ඉශ්රායෙල්වරුන්ට පව් කරන්නට සලස්වමින් කළ ක්‍රියාව නිසා, නුඹේ වංශය නෙබාත්ගේ පුත් ජෙරොබෝවම්ගේ වංශය මෙන් ද අහියාගේ පුත් බාෂාගේ වංශය මෙන් ද කරන්නෙමි’යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.
23උන් වහන්සේ ජෙශෙබෙල් ගැන ද කතා කොට, ‘ජෙශ්‍රෙයෙල් නගරයේ පවුර ළඟ දී බල්ලෝ ජෙශෙබෙල් කන්නෝ ය.
24ආහබ්ගේ වංශයෙන් නුවර තුළ දී මැරෙන අය බල්ලෝ කන්නෝ ය. පිටත දී මැරෙන අය පක්ෂීහු කන්නෝ ය’යි වදාළ සේකැ”යි කීවේ ය.
25සැබැවින් ම තම භාර්යාව වන ජෙශෙබෙල් විසින් පොළඹවනු ලැබ සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කරන්න භාර වූ ආහබ්ට සමාන කිසිවෙක් නොසිටියේ ය.
26සමිඳාණන් වහන්සේගේ ඉශ්රායෙල් ජනයා ඉදිරියෙහි පන්නාදැමූ අමෝරිවරුන් කළ සියල්ල ලෙස ඔහු දේව රූප පසුපස ගොස් ඉතා පිළිකුල් ක්‍රියා කෙළේ ය.
27ආහබ් ඒ වචන ඇසූ විට ශෝකයෙන් තම ඇඳුම් ඉරාගෙන, ඇඟේ හමට ගෑවෙන පරිදි ගෝණි රෙදි දමාගෙන, නිරාහාර ව ගෝණි රෙදි පිට නිදාගනිමින් කලකිරුණ ස්වභාවයකින් හැසුරුණේ ය.
28එකල්හි සමිඳාණන් වහන්සේගේ වචනය තිෂ්බීහි එලියා වෙත පැමිණ,
29ආහබ් මා ඉදිරියෙහි යටත් වූ අයුරු නුඹ දුටුවෙහි ද? ඔහු මා ඉදිරියෙහි යටත් වූ බැවින් ඒ විපත ඔහුගේ කාලයේ දී නොව, ඔහුගේ පුත්‍රයාගේ කාලයේ දී ඔහුගේ වංශය පිට පමුණුවන්නෙමි”යි කී ය.
Responsorial Psalm
ගීතාවලිය 51:3-4, 5-6, 11 and 16
3මාගේ අපරාධ මම මැනැවින් දනිමි. දිවා රෑ දෙක්හි මාගේ පාප මට සිහි වේ.
4ඔබට විරුද්ධ ව, ඔබට පමණක් විරුද්ධ ව මම පව් කෙළෙමි; ඔබ හමුවෙහි මම නපුර කෙළෙමි. එබැවින් ඔබේ තීන්දුව සාධාරණ ය; ඔබේ විනිශ්චය යුක්ති සහගත ය.
5පවට නැම්ම ඇතිව යි, මා මෙලොව උපන්නේ; කෙලෙස් මලින් යුතුව යි, මා මව් කුසේ පිළිසිඳුණේ.
6සත්‍යයට හා අවංක බවට ඔබ ප්‍රිය කරන සේක. එබැවින් සැබෑ ප්‍රඥාව මට ඉගැන්නුව මැනව.
11ඔබ හමුයෙන් මා පලවා නොහැරිය මැනව; ඔබේ ශුද්ධාත්මය මා කෙරෙන් ඉවත් නොකළ මැනව.
16ඔබ පුද පඬුරුවලට රිසි නැත; ඔබ ඒවාට රිසි නම්, මම ඒවා ඔබට පුදන්නෙමි. දවන යාග පූජාවලට ද ඔබ රිසි නොවන සේක.
Alleluia
ශුද්ධ වූ ජොහන් 13:34
34මම ඔබට අලුත් ආඥාවක් දෙමි. එකිනෙකාට ප්‍රේම කරන්න. මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න.
Gospel
ශුද්ධ වූ මතෙව් 5:43-48
43‘නුඹේ අසල්වැසියාට ප්‍රේම කරන්න, සතුරාට වෛර කරන්නැ’යි කී බව ඔබ අසා ඇත.
44එහෙත් මම ඔබට කියමි, ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න; ඔබට පීඩා කරන්නන් උදෙසා යාච්ඤා කරන්න.
45මෙසේ ඔබ ස්වර්ගයෙහි වැඩ සිටින ඔබේ පියාණන් වහන්සේගේ පුත්‍රයෝ වන්නහු ය. කුමක් නිසා ද, උන් වහන්සේ දුදනන් හට හා සුදනන් හට තම හිරු එළිය උදා කරවන සේක; දමිටුන් හට හා අදමිටුන් හට වැසි වස්වන සේක.
46ඔබට ප්‍රේම කරන්නන්ට පමණක් ඔබ ප්‍රේම කරන්නහු නම්, එයින් ඇති විපාකය කුමක් ද? අයකැමියෝ පවා එසේ නොකරත් ද?
47ඔබේ සහෝදරයන්ට පමණක් ඔබ ආචාර කරන්නහු නම්, එහි ඇති විශේෂය කුමක් ද? විජාතිකයෝ පවා එසේ නොකරත් ද?
48එබැවින් ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ සර්ව සම්පූර්ණ ව සිටින්නාක් මෙන් ඔබ ද සර්ව සම්පූර්ණ වන්න.”