ජූනි 2026

බ්‍ර සි සෙ
123456
78910111213
14151617181920
21222324252627
282930
අද දිනට

කියවීම්

2026 ජූනි 26

Friday of the Twelfth Week in Ordinary Time

දවසේ දේව මෙහෙය
Reading I

රාජාවලියේ දෙ වන පොත 25:1-12

1ශෙදෙකියා රජකමට පත් වී නව වන අවුරුද්දේ දහ වන මාසයේ දහ වන දා බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් තමාගේ මුළු සේනාව සමඟ ජෙරුසලමට විරුද්ධ ව අවුත් ඊට විරුද්ධ ව කඳවුරු බැඳ, එය වටා බලකොටු ගොඩනැඟුවේ ය. 2මෙසේ ශෙදෙකියා රජුගේ එකොළොස් වන අවුරුද්ද දක්වා නුවර වටලා තිබිණි. 3සතර වන මාසයේ නව වන දා දේශයේ සෙනඟට කෑම නැති වන තරමට සාගතය නුවර තුළ බලවත් විය. 4එකල නුවර සතුරන්ට අසු වී කල්දිවරුන් වටකර සිටිය දී, සියලු යුද්ධ භටයෝ රජ උයන ළඟ පවුරු දෙක අතරේ තිබෙන දොරටුවෙන් රාත්‍රියේ පලා ගියහ. රජ අරබා සමභූමි පාරෙන් පලා ගියේ ය. 5එහෙත්, කල්දිවරුන්ගේ සේනාව රජු පසුපස්සේ එලවාගෙන ගොස්, ජෙරිකෝවේ සමභූමිවල දී ඔහු කිට්ටු කර ආවෝ ය. ඔහුගේ මුළු සේනාව ද ඔහු වෙතින් විසිර ගියහ. 6ඔව්හු රජු අල්ලාගෙන රිබ්ලා නුවර සිටි බබිලෝනියේ රජු ළඟට ගෙන ගියහ. එවිට රජ ඔහු ගැන තීන්දුව දුන්නේ ය. 7ඔව්හු ශෙදෙකියාගේ පුත්‍රයන් ඔහුගේ ඇස් හමුයෙහි මරා, ඔහුගේ ඇස් අන්ධ කොට, ඔහුට විලංගු දමා බබිලෝනියට ගෙන ගියෝ ය. 8බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් රජුගේ දහනව වන අවුරුද්දේ පස් වන මාසයේ සත් වන දා බබිලෝනියේ රජුගේ සේවකයෙකු වූ රැකවලුන්ගේ අධිපති වූ නෙබුසරදාන් ජෙරුසලමට අවුත්, 9සමිඳාණන් වහන්සේගේ මාලිගාව ද රජගෙය ද ජෙරුසලමේ සියලු ගෙවල් ද ගිනිබත් කෙළේ ය. ලොකු ගෙවල් සියල්ල ම ඔහු ගින්නෙන් දවාදැමී ය. 10රැකවලුන්ගේ අධිපතියා සමඟ සිටි කල්දිවරුන්ගේ මුළු සේනාව ජෙරුසලමේ පවුරු හාත්පසින් ම බිඳ දැමූ හ. 11සෙනඟගෙන් නගරයේ ඉතිරි ව සිටි අය ද සැඟවී ගොස් බබිලෝනියේ රජුගේ පක්ෂයට වූ අය ද සමූහයාගෙන් අනික් අය ද රැකවලුන්ගේ අධිපති වූ නෙබුසරදාන් තෙමේ අල්ලාගෙන ගියේ ය. 12එහෙත්, මිදි වතු වවන්නටත්, ගොවිතැන් කරන්නටත් රැකවලුන්ගේ අධිපතියා දේශයේ ඉතා දිළිඳුන්ගෙන් සමහරෙකු ඉතිරි කොට ගියේ ය.
Responsorial Psalm

ගීතාවලිය 137:1-2, 3, 4-5, 6

1බබිලොන්හි ගං තෙරවල අපි හිඳගතිමු. සියොන් කන්ද අපට සිහි වූ විට අපි හඬා වැලපුණෙමු. 2එහි බට පඳුරුවල අපේ වීණා එල්ලා තැබීමු. 3එසේ කෙළේ, අප වහල්කමට ගෙන ගිය අය ගැයුම් වැයුම් කරන ලෙස අපට බල කළ බැවිනි. අපට පීඩා කළ අය, සියොන් ගීයක් ගයා ඔවුන් විනෝද කරවන ලෙස අපෙන් ඉල්ලූ බැවිනි. 4විදේශයක දී, සමිඳුන්ගේ ගීතය අපි කෙසේ ගයමු ද? 5එම්බා ජෙරුසලම! තී මට අමතක වී නම්, මාගේ දකුණත වියළී යේ වා! 6මම තී සිහි නොකරම් නම්, මාගේ පරමානන්දය මෙන් ජෙරුසලම මම නොසලකම් නම් මාගේ දිව ගොළු වේ වා!
Alleluia

ශුද්ධ වූ මතෙව් 8:17

17මෙසේ වූයේ: ”උන් වහන්සේ ම අපේ දුබලකම් දරා ගත් සේක; අපේ රෝ දුක් බර උසුලාගත් සේකැ”යි යෙසායා දිවැසිවරයා විසින් කියන ලද කීම ඉටු වන පිණිස ය.
Gospel

ශුද්ධ වූ මතෙව් 8:1-4

1උන් වහන්සේ කන්දෙන් බැස ආ කල මහා ජනකායක් උන් වහන්සේ පසුපස්සේ ගියහ. 2එකල ලාදුරු රෝගියෙක් උන් වහන්සේ වෙත අවුත්, වැඳ වැටී, ”ස්වාමීනි, ඔබ කැමැති සේක් නම්, මා පවිත්‍ර කරන්න ඔබට පුළුවනැ”යි කී ය. 3උන් වහන්සේ අත දිගු කොට, ඔහු පිට තබා, ”මම කැමැත්තෙමි, පවිත්‍රවන්නැ”යි වදාළ සේක. එකෙණෙහි ම ඔහුගේ ලාදුරු රෝගය සුව විය. 4ජේසුස් වහන්සේ කතා කොට, ”මේ ගැන කිසිවෙකුට කිසිවක් නොකියන ලෙස වග බලා ගන්න; එහෙත් යන්න, පූජකයාට පෙනී, මො‍්සෙස් අණ කළ පඬුර සහතිකයක් පිණිස ඔප්පු කරන්නැ”යි ඔහුට වදාළ සේක.