ජූනි 2026

බ්‍ර සි සෙ
123456
78910111213
14151617181920
21222324252627
282930
අද දිනට

කියවීම්

2026 ජූනි 6

Saturday of the Ninth Week in Ordinary Time

දවසේ දේව මෙහෙය
Reading I

2 තිමෝති 4:1-8

1දෙවියන් වහන්සේ ඉදිරියෙහි ද, ජීවතුන්ගේ ද, මළවුන්ගේ ද විනිශ්චයකාරයාණන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ඉදිරියෙහි ද, එතුමාණන්ගේ ආගමනයේ හා රාජ්‍යයේ ද නාමයෙන් මා ඔබට පවරන භාරදූර කටයුත්ත මේ ය: 2දේව වචනය දේශනා කරන්න. කලටත් අකලටත් එහි නිරතව සිටින්න; ඉවසිලිවන්ත ව උගන්වමින් සත්‍යය පහදා දෙන්න. තරවටු කරන්න, දිරි ගන්වන්න. 3මන්ද, සාර ධර්මය නොතකා, තමන් රිසි රිසි දෙය ඇසීමේ ආශාවෙන් ගුරුවරුන් රැස්කරගන්නා කාලයක් පැමිණෙන්නේ ය. 4එවිට ඔව්හු සත්‍යයට කන් නොදී, මිථ්‍යා ප්‍රබන්ධවලට හැරෙන්නෝ ය. 5එහෙත් ඔබ සියලු අවස්ථාවල දී සන්සුන් ලෙස ක්‍රියා කරන්න, දුක් ඉවසන්න, ධර්මදූත සේවයේ යෙදෙන්න. ඔබට පැවරී ඇති වගකීම් මනා ලෙස ඉටු කරන්න. 6මා ගැන කියතොත්, මගේ ජීවිතය දැනට ම පානීය පූජාවක් මෙන් පිදීමට සූදානම් ව ඇත. මාගේ වියෝ වීමේ කාලය දැන් පැමිණ තිබේ. 7මම යහපත් සටනෙහි සටන් කෙළෙමි. මම දිවීම අවසන් කෙළෙමි, මම ඇදහිල්ල රක්ෂා කෙළෙමි. 8දැහැමි ජීවිතයක කිරීටය මට දැන් වෙන් කර තිබේ. ඒ මහා දවසේ දී සාධාරණ විනිශ්චයකාර සමිඳාණන් වහන්සේ එය මට දෙන සේක. මට පමණක් නොව, උන් වහන්සේගේ ප්‍රකාශ වීම ආශාවෙන් බලාපොරොත්තු වන සියල්ලන්ට ද එය දෙන සේක.
Responsorial Psalm

ගීතාවලිය 71:8-9, 14-15, 16-17, 22

8මාගේ මුඛය ඔබ පැසසීමෙන් පිරී ඇත්තේ ය. මම දවස පුරා ඔබ මහිමය ප්‍රකාශ කරන්නෙමි. 9මහලු වියේ දී මා ඉවත් නොකළ මැනව; මාගේ ශක්තිය පිරිහෙන කල මා අත් නොහැරිය මැනව! 14එහෙත්, මම නිරතුරු ඔබ බලාපොරොත්තුවෙන් සිටින්නෙමි; නිතර ම වැඩි වැඩියෙන් ඔබට ප්‍රශංසා කරන්නෙමි. 15දවස පුරා ඔබේ සාධාරණ ක්‍රියා ද ඔබේ විමුක්තිදායක ක්‍රියා ද මා මුවින් ප්‍රකාශ කරමි. මන්ද, මම ඒවායේ ප්‍රමාණය නොදන්නෙමි. 16දෙවි සමිඳුනි, ඔබේ බල මහිමය මම පසසන්නෙමි, ඔබේ ම, එසේ ය ඔබේ ම යහපත්කම මම ප්‍රකාශ කරන්නෙමි. 17අනේ දෙවිඳුනි! මාගේ තරුණ වියේ සිට ඔබ මට උගන්වා වදාළ සේක. මම අද දක්වා ඔබේ පුදුමාකාර ක්‍රියා වර්ණනා කෙළෙමි. 22මාගේ දෙවිඳුනි! මම කුඩා වීණාවෙන් ඔබ ද ඔබේ විශ්වාසවන්තකම ද පසසන්නෙමි. ඉශ්රායෙල්වරුන්ගේ ශුද්ධ තැනැන් වහන්ස, මහා වීණාවෙන් මම ඔබට ගී ගයන්නෙමි.
Alleluia

ශුද්ධ වූ මතෙව් 5:3

3බැගෑ සිතින් දෙවි සරණ පතන්නෝ භාග්‍යවන්තයෝ ය; ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේ ය.
Gospel

ශුද්ධ වූ මාර්ක් 12:38-44

38උන් වහන්සේ සිය අනුශාසනාවේ දී කතා කරමින්, ”විනයධරයන්ගෙන් පරෙස්සම් වන්න. ඔව්හු දිග උතුරු සළු හැඳ සක්මන් කරන්න ද වෙළෙඳපොළවල දී ගෞරවාචාර ලබන්න ද ප්‍රිය වෙති; 39ධර්මශාලාවල දී මූලාසනවලටත්, මංගල භෝජනවල දී සම්භාවනීය ආසන ලබන්ටත් ප්‍රිය වෙති; 40වැන්දඹුවන්ගේ ගේදොර කාදමති; පෙනුමට දිගින් දිගට යාච්ඤා කරති; මොවුහු වඩාත් බරපතල දඬුවමක් ලබති”යි වදාළ සේක. 41උන් වහන්සේ දේව මාලිගාවේ මුදල් ගබඩාව ඉදිරියේ වැඩ හිඳ සෙනඟ එයට මුදල් දමනු බලා හුන් සේක. ධනපතීහු බොහෝ දෙනෙක් බොහෝ මුදල් දැමූ හ. 42එක් දිළිඳු වැන්දඹුවක් අවුත්, සතයක් පමණ වටිනා තඹ සල්ලි දෙකක් දැමුවා ය. 43උන් වහන්සේ ශ්‍රාවකයන් තමන් වෙත කැඳවා, ”සැබැවින් ම මම ඔබට කියමි, මේ දිළිඳු වැන්දඹුව ගබඩාවට මුදල් දැමූ අනික් හැම දෙනාට ම වැඩියෙන් දැමුවා ය. 44ඒ කවුරුත් තමන්ගේ වැඩිපුර මුදලින් යමක් දැමූ හ. එහෙත් මෑ, දුප්පත් ව සිටිය දීත් සිය දිවිපෙවෙත සඳහා තිබුණු මුළු වත්කම ම දැමුවා ය”යි වදාළ සේක.