කියවීම්
2026 ජූනි 29
Solemnity of Saints Peter and Paul, ApostlesMass during the Day (Mass During the Day)
Mass During the Day
Reading I
ක්‍රියා 12:1-11
1ඒ කාලයේ දී හෙරොද් රජ, සභාවේ සමහරුනට පීඩා කරන්නට පටන්ගත්තේ ය.
2ඔහු ජොහන්ගේ සහෝදර වූ ජාකොබ් කඩුවෙන් මැරී ය.
3ඊට ජුදෙව්වරුන් ප්‍රසන්න වූ බව දැක, ඔහු පේදුරු ද අල්ලාගැනීමට ප්‍රයත්න දැරී ය. ඒ වනාහි නුමුහුන් රොටි වළඳන දවස් ය.
4ඔහු පේදුරු අල්ලා හිරගෙයි දමා, පාස්කු මංගල්‍යයෙන් පසු සෙනඟ ඉදිරියට ගෙනෙන්නට සිතා, හේවායින් සතර දෙනා බැගින් ඇති කණ්ඩායම් සතරකට ඔහු රැකවල් කරන්නට භාර දුන්නේ ය.
5එබැවින් පේදුරු හිර අඩස්සියේ සිටිය දී සභාව ඔහු උදෙසා දෙවියන් වහන්සේට උදක් ම යාච්ඤා කළා ය.
6පේදුරු නඩු ශාලාවට පමුණුවන්නට හෙරොද් අදහස් කරගෙන සිටි දිනට පෙර දින රාත්‍රියේ දී පේදුරු දම්වැල් දෙකකින් බඳින ලදුව හේවායන් දෙදෙනකු මැද නිඳා සිටියේ ය. මුර භටයෝ දොර ඉදිරියේ හිරගෙය රැකවල් කළහ.
7එකෙණෙහි ම සමිඳාණන් වහන්සේගේ දුතයෙක් එහි පහළ විය. ආලෝකයක් හිර ගෙයි බැබළිණි. ඔහු පේදුරුගේ පිටට තට්ටු කර අවදි කරමින්, ”වහා ම නැඟිටින්නැ”යි කී ය. ඔහුගේ අත්වලින් දම්වැල් ගැලවී වැටුණේ ය.
8දේව දූතයා ඔහුට කතා කොට, ”ඉඟපටිය බැඳ, පාවහන් දමා ගන්නැ”යි කී ය. ඔහු එසේ කෙළේ ය. ”ඔබේ සළුව ඇඟලාගෙන මා පස්සේ එන්නැ”යි දූතයා ඔහුට කී ය.
9දූතයා කළ දේ ඇත්තක් බව නොදැන, තමා දර්ශනයක් දකින්නේ යයි සිතමින්, පේදුරු පිටත් ව දූතයා පසුපසින් ගියේ ය.
10ඔව්හු පළමු වන, දෙ වන මුරකාවල් පසු කොට නුවරට පිවිසීමට ඇති යකඩ දොරටුවට ළඟා වූ හ. එය ඔවුන් සඳහා ඉබේ ම ඇරුණේ ය. ඔවුන් පිටතට ගොස් එක වීදියක් පසු කළ කෙණෙහි ම, දේව දූතයා ඔහු කෙරෙන් වෙන් ව ගියේ ය.
11එවිට පේදුරු පියවි සිහිය ලැබ, කතා කොට, ”සමිඳාණන් වහන්සේ තමන් දූතයා එවා, හෙරොද්ගේ බලයෙන් ද ජුදෙව් ජනතාවගේ සියලු බලාපොරොත්තුවලින් ද මා මිදූ බව සැබැවින් ම දනිමි”යි කී ය.
Responsorial Psalm
ගීතාවලිය 34:2-3, 4-5, 6-7, 8-9
2මම එතුමන්ගේ ගුණ වර්ණනා කරමි. නිහතමානී අය ඒ අසා තොස් වෙත්වා;
3මා සමඟ හිමි තුමන් වර්ණනා කරන්න; අපි එක් වී එතුමන්ගේ නාමය පසසමු.
4මම හිමි තුමන් සොයා ගියෙමි; එතුමාණෝ මට පිළිතුරු දී හැම බියෙන් මා මිදූ සේක.
5එතුමන් දෙස බලන්නා ප්‍රීතියෙන් බැබළෙන්නේ ය. ඔහුගේ මුහුණ කවදාවත් ලජ්ජාවෙන් අඳුරු නොවන්නේ ය.
6හිමි තුමන්ට කන්නලව් කළ එක් අසරණයෙක් විය; එතුමාණෝ ඔහුගේ බස් අසා, සියලු දුක් ගැහැටවලින් ඔහු මිදූ සේක.
7හිමි තුමන්ගේ දූතයා දේව බය ඇති අය වට කර, කඳවුරු බැඳ, ඔවුන් මුදා හරියි.
8හිමි තුමන් ගුණවත් බව ඔබ ම අත්දැකීමෙන් දැනගන්න; එතුමන්ගේ රැකවරණය ලබන තැනැත්තේ ආසිරි ලබයි.
9එතුමන්ගේ සැදැහැවතුනි, එතුමන්ට ගරුබිය දක්වන්න; මන්ද, දේව ගරුබිය ඇති අයට අගහිඟයක් නැත.
Reading II
2 තිමෝති 4:6-8, 17-18
6මා ගැන කියතොත්, මගේ ජීවිතය දැනට ම පානීය පූජාවක් මෙන් පිදීමට සූදානම් ව ඇත. මාගේ වියෝ වීමේ කාලය දැන් පැමිණ තිබේ.
7මම යහපත් සටනෙහි සටන් කෙළෙමි. මම දිවීම අවසන් කෙළෙමි, මම ඇදහිල්ල රක්ෂා කෙළෙමි.
8දැහැමි ජීවිතයක කිරීටය මට දැන් වෙන් කර තිබේ. ඒ මහා දවසේ දී සාධාරණ විනිශ්චයකාර සමිඳාණන් වහන්සේ එය මට දෙන සේක. මට පමණක් නොව, උන් වහන්සේගේ ප්‍රකාශ වීම ආශාවෙන් බලාපොරොත්තු වන සියල්ලන්ට ද එය දෙන සේක.
17එහෙත් සමිඳාණන් වහන්සේ මා අත්හැර නොගොස් මා ශක්තිමත් කළ සේක. මෙසේ මා මඟින් සුබ අස්න සම්පූර්ණ ලෙස සියලු විජාතීන්ට ඇසෙන සේ ප්‍රකාශ වනු ඇත. එසේ සිංහයාගේ කටින් මම මුදා ගනු ලැබුවෙමි.
18සමිඳාණන් වහන්සේ සියලු දරුණු උවදුරුවලින් මා මුදා, උන් වහන්සේගේ ස්වර්ග රාජ්‍යයට මා පමුණුවන සේක. උන් වහන්සේට සදහට ම මහිමය වේ වා! ආමෙන්.
Alleluia
ශුද්ධ වූ මතෙව් 16:18
18මම ඔබට කියමි: ඔබ පේදුරු ය. මේ පර්වතය පිට මාගේ සභාව ගොඩනඟන්නෙමි. පාතාලයේ දොරටුවලට වුව ද, එය පරාජය නොකළ හැකි ය.
Gospel
ශුද්ධ වූ මතෙව් 16:13-19
13ජේසුස් වහන්සේ පිලිප්පි කායිසාරියේ පෙදෙස්වලට පැමිණි කල, ”මනුෂ්‍ය-පුත්‍රයාණෝ කවරෙක් ය කියා මිනිස්සු කියත් දැ”යි සිය ශ්‍රාවකයන්ගෙන් ඇසූ සේක.
14ඔව්හු කතා කොට, ”සමහරෙක්, ‘ස්නාවක ජොහන් ය’ කියා ද සමහරෙක්, ‘එලියා ය’ කියා ද, අන් සමහරෙක් ‘ජෙරෙමියා නොහොත් දිවැසිවරයන්ගෙන් කෙනෙක් ය’ කියා ද කියති”යි කී හ.
15එහෙත් ඔබ මා කවරෙකු කියා කියන්නහු දැ”යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක.
16සීමොන් පේදුරු උත්තර දෙමින්, ”ඔබ ක්‍රිස්තුවරයාණෝ ය, ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ය”යි කී ය.
17ජේසුස් වහන්සේ උත්තර දෙමින්, ”ජෝනාගේ පුත් සීමොන්, ඔබ ඉතා භාග්‍යවන්ත ය. මන්ද, ස්වර්ගයෙහි වැඩවසන මාගේ පියාණන් වහන්සේ විසින් මිස මනුෂ්‍ය මඟකින් මෙය ඔබට එළිදරව් නොකරන ලද්දේ ය.
18මම ඔබට කියමි: ඔබ පේදුරු ය. මේ පර්වතය පිට මාගේ සභාව ගොඩනඟන්නෙමි. පාතාලයේ දොරටුවලට වුව ද, එය පරාජය නොකළ හැකි ය.
19ස්වර්ග රාජ්‍යයේ යතුරු ඔබට දෙන්නෙමි. ඔබ පොළොවෙහි දී යමක් බඳින්නෙහි ද, එය ස්වර්ගයෙහි දී බඳිනු ලබන්නේ ය. ඔබ පොළොවෙහි දී යමක් මුදන්නෙහි ද එය ස්වර්ගයෙහි දී මුදනු ලබන්නේ ය”යි වදාළ සේක.
Vigil Mass
Reading I
ක්‍රියා 3:1-10
1දිනක් පේදුරු සහ ජොහන් යාච්ඤා වේලාව වූ සවස තුනට දේව මාලිගයට ගියහ.
2උපන් දා පටන් කොර ව සිටි එක්තරා මිනිසෙක් විය. දේව මාලිගාවට ඇතුළු වන්නන්ගෙන් සිඟමන් ඉල්ලන පිණිස, දේව මාලිගාවේ ‘සුදර්ශන’ නම් ලත් දොරටුව ළඟ දිනපතා ඔහු තබන ලදී.
3ඔහු පේදුරු සහ ජොහන් දේව මාලිගාවට ඇතුළුවන්නට යන බව දැක සිඟමන් ඉල්ලී ය.
4පේදුරු ජොහන් සමඟ ඔහු දෙස නෙත් යොමා, ”අප දෙස බලන්නැ”යි කී ය.
5ඔහු ද ඔවුන්ගෙන් යමක් ලබන බලාපොරොත්තුවෙන් ඔවුන් දෙස ඕනෑකමින් බැලී ය.
6එවිට පේදුරු, ”රන් වත් රිදී වත් මට නැත. එහෙත් මට ඇති දේ ඔබට දෙමි; නාසරෙත්හි ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් ඇවිදින්නැ”යි කී ය.
7එසේ කියා පේදුරු තුමා ඔහුගේ දකුණත අල්ලා ඔහු නැඟිටුවාලී ය. එකෙණෙහි ම ඔහුගේ පාද සහ වළලුකර ශක්ති සම්පන්න විය.
8ඔහු උඩ පැන කෙළින් සිට ඇවිදින්නට විය. තවද, ඇවිදිමින් ද, උඩ පනිමින් ද, දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් ද ඔහු ඔවුන් සමඟ දේව මාලිගාවට ඇතුළු විය.
9ඔහු ඇවිදිනවාත්, දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවාත් සියලු දෙනා දුටුවෝ ය.
10දේව මාලිගාවේ ‘සුදර්ශන’ දොරටුව ළඟ හිඳගෙන සිඟමන් ඉල්ලුවේ මේ මිනිසා බව හඳුනා ගත් ඔව්හු ඔහුට සිදුවූ දේ ගැන පුදුමයෙන් පුදුමයට පත් වූ හ.
Responsorial Psalm
ගීතාවලිය 19:2-3, 4-5
2එක් දිනක් තව දිනකට මෙපුවත කියන්නේ ය; එක් රැයක් තව රැයකට එය ම පවසන්නේ ය.
3කතාවක්, වදනක්, කිසියම් හඬක් ඇසෙන්නේ නැති වුව ද ඒ පණිවුඩය ලොව පුරා පැතිරී යන්නේ ය.
4එය දියත දසත විහිදී යයි, දෙවි තුමාණෝ හිරුට එහි මණ්ඩපයක් සාදා දුන් සේක.
5මඟුල් පෝරුවකින් බැස එන මනාලයෙකු ලෙසින්, ප්‍රීතියෙන් තරඟයට අරඅඳින වීර ධාවකයෙකු විලසින්,
Reading II
ගලාති 1:11-20
11සහෝදරවරුනි, මා දේශනා කරන සුබ අස්න මිනිසුන් විසින් නිපදවන ලද්දක් නොවන බව මම ඔබට දන්වමි.
12මම එය කිසි මිනිසෙකුගෙන් නොලැබුවෙමි. කිසිවෙකු මට එය ඉගැන්නුවේත් නැත. එය මට හෙළි කළේ ක්‍රිස්තුන් වහන්සේ ම ය.
13මා ජුදෙව් භක්තිකයෙකු ව සිටිය දී, කිසි අනුකම්පාවක් නැති ව දෙවියන් වහන්සේගේ සභාවට පීඩා කොට, එය විනාශ කරදැමීමට වෑයම් කරමින් හැසුරුණු අන්දම ගැන ඔබ අසා ඇත.
14මාගේ පියවරුන්ගේ පරම්පරාගත සම්ප්‍රදායයන් කෙරෙහි උද්‍යෝගිමත් ව, මාගේ ජාතියේ සමකාලීනයන් බොහෝ දෙනෙකු පරදවා, ජුදෙව් ආගම මැනැවින් පිළිපැද්දෙමි.
15එහෙත් දෙවියන් වහන්සේ ස්වකීය වරප්‍රසාදයෙන් මව් කුස පටන් මා වෙන් කොට තෝරාගෙන,
16විජාතීන් අතර ස්වකීය පුත්‍රයාණන් ප්‍රකාශ කරන පිණිස ඒ පුත්‍රයාණන් මට එළිදරව් කිරීමට තීරණය කළ සේක. එවිට අවවාද ලබන පිණිස මා කිසි පුද්ගලයෙකු වෙත ගියේ වත්,
17මට කලින් ප්‍රේරිතවරයන් ව සිටි අය හමු වන පිණිස ජෙරුසලමට ගියේ වත් නැත. එසේ නොව, මම වහා ම අරාබියට ගොස්, පසුව දමස්කයට පැමිණියෙමි.
18පේදුරු හමු වීමට මා ජෙරුසලමට ගියේ තෙවසකට පසුව ය. ඔහු සමඟ පසළොස් දිනක් ගත කෙළෙමි.
19එහෙත් සමිඳාණන් වහන්සේගේ සොහොයුරු ජාකොබ් හැර වෙන කිසි ප්‍රේරිතවරයකු නුදුටුවෙමි.
20මේ ලියන දේ සැබෑ බව දෙවියන් වහන්සේ ඉදිරියේ සහතික කර කියමි.
Alleluia
ශුද්ධ වූ ජොහන් 21:17
17උන් වහන්සේ තුන් වන වරටත් ඔහුට කතා කොට, ”ජොහන්ගේ පුත්‍ර වූ සීමොන්, ඔබ මට ප්‍රේම කරන්නෙහි දැ”යි ඔහුගෙන් ඇසූ සේක. තුන් වන වරටත්, ‘මට ප්‍රේම කරන්නෙහි දැ’යි ජේසුස් වහන්සේ තමාගෙන් ඇසූ බැවින් පේදුරු ශෝක වී: ”ස්වාමීනි, ඔබ සියල්ල දන්නා සේක; මා ඔබ වහන්සේට ප්‍රේම කරන බව ඔබ වහන්සේ දන්නා සේකැ”යි කී ය. ”මාගේ බැටළුවන් පෝෂණය කරන්නැ”යි ජේසුස් වහන්සේ ඔහුට වදාළ සේක.
Gospel
ශුද්ධ වූ ජොහන් 21:15-19
15මෙසේ ඔවුන් ආහාර වැළඳූ පසු ජේසුස් වහන්සේ සීමොන් පේදුරුට කතා කොට, ”ජොහන්ගේ පුත්‍ර වූ සීමොන්, මොවුන්ට වඩා ඔබ මට ප්‍රේම කරන්නෙහි දැ”යි ඇසූ සේක. ඔහු, ”එසේ ය ස්වාමීනි, මා ඔබට ප්‍රේම කරන බව ඔබ දන්නා සේකැ”යි පිළිතුරු දුන්නේ ය. උන් වහන්සේ, ”මාගේ බැටළු පැටවුන් පෝෂණය කරන්නැ”යි ඔහුට වදාළ සේක.
16නැවත දෙ වන වරටත්, ”ජොහන්ගේ පුත්‍ර වූ සීමොන් ඔබ මට ප්‍රේම කරන්නෙහි දැ”යි ඔහුගෙන් ඇසූ සේක. ඔහු, ”එසේ ය, ස්වාමීනි, මා ඔබට ප්‍රේම කරන බව ඔබ දන්නා සේකැ”යි පිළිතුරු දුන්නේ ය. උන් වහන්සේ ද, ”මාගේ බැටළුවන්ගේ එඬේරා වන්නැ”යි වදාළ සේක.
17උන් වහන්සේ තුන් වන වරටත් ඔහුට කතා කොට, ”ජොහන්ගේ පුත්‍ර වූ සීමොන්, ඔබ මට ප්‍රේම කරන්නෙහි දැ”යි ඔහුගෙන් ඇසූ සේක. තුන් වන වරටත්, ‘මට ප්‍රේම කරන්නෙහි දැ’යි ජේසුස් වහන්සේ තමාගෙන් ඇසූ බැවින් පේදුරු ශෝක වී: ”ස්වාමීනි, ඔබ සියල්ල දන්නා සේක; මා ඔබ වහන්සේට ප්‍රේම කරන බව ඔබ වහන්සේ දන්නා සේකැ”යි කී ය. ”මාගේ බැටළුවන් පෝෂණය කරන්නැ”යි ජේසුස් වහන්සේ ඔහුට වදාළ සේක.
18ඒකාන්තයෙන් මම ඔබට කියමි, ඔබ තරුණ වියෙහි ඔබේ ඉඟටිය බැඳගෙන කැමැති කැමැති තැන්වල ඇවිද්දෙහි ය. එහෙත් ඔබ මහලු වූ කල ඔබේ අත් දිගු කරන්නෙහි ය, වෙන කෙනෙකු ඔබේ ඉඟටිය බැඳ, ඔබ කැමැති නැති තැනකට ගෙනයනු ඇතැ”යි වදාළ සේක.
19ඔහු කෙබඳු මරණයකින් දෙවියන් වහන්සේ ගෞරවයට පමුණුවනු ඇද්දැ යි හඟවනු වස් උන් වහන්සේ මෙසේ වදාළ සේක. ඉක්බිති ”මා අනුව එන්නැ”යි නැවතත් ඔහුට කී සේක.