කියවීම්
2026 අගෝස්තු 30
Twenty-second Sunday in Ordinary Time
දවසේ දේව මෙහෙය
Reading I
ජෙරමියා 20:7-9
7අහෝ සමිඳුනි! ඔබ තුමාණෝ මා මුළා කළ සේක. මම ද මුළා වීමි. ඔබ තුමාණෝ මට වඩා බලවන්ත ය. ඔබ තුමාණෝ මා පරාජයට පත් කළ සේක. දවස පුරා සියල්ලෝ මට කවටකම් කරති. ඔව්හු මට උසුළු-විසුළු කරති.
8මා කතා කරන සෑම විට ම මොරගසමින්, ‘සැහැසිකම’, ‘විනාශය’ කියා මම කියමි. ඔබ තුමාණන්ගේ වචනය දවස පුරා ප්‍රකාශ කිරීම මා නින්දාවටත්, සරදමටත් හේතුව වී තිබේ.
9‘මම සමිඳාණෝ අමතක කර එතුමාණන්ගේ නාමයෙන් තවත් කතා නොකරන්නෙමි’යි කී විට, ඔබ තුමාණන්ගේ වචනය මාගේ සිතේ ගින්නක් මෙන් ඇවිලෙයි. එය මාගේ ඇටකටු තුළ සැඟවී ඇත. එය සඟවා තබාගැනීමෙන් මම බොහෝ වෙහෙසට පත් වීමි. එහෙත්, තවත් එය තබාගැනීම මට නොකළ හැකි ය.
Responsorial Psalm
ගීතාවලිය 63:2, 3-4, 5-6, 8-9
2ඔබේ ශුද්ධස්ථානයේ දී මම ඔබ දෙස ඕනෑකමින් බලා සිටින්නෙමි. ඔබේ බලය ද මහිමාලංකාරය ද නරඹන්නෙමි.
3ඔබේ තිර පෙම මාගේ ජීවිතයටත් වඩා මට අගනේ ය; මාගේ මුව ඔබට ප්‍රශංසා කරන්නේ ය.
4මුළු ජීවිතයේ දී ම මම ඔබට ප්‍රශංසා කරන්නෙමි; ඔබේ නාමයෙන් අයැදිමින් මම ඔබ දෙසට දෑත නඟන්නෙමි.
5රස මස’වුලින් මෙන් මම සෑහීමට පත් වන්නෙමි; මා මුවින් තුති ගී ගයා මම ඔබ පසසන්නෙමි.
6යහනේදීත් මම ඔබ ගැන සිතන්නෙමි; රෑ යාමවල දී ඔබ ගැන මෙනෙහි කරන්නෙමි.
8ම සිතෙහි ඔබ කෙරෙහි තද ඇල්මක් ඇත; ඔබ දකුණතින් මා උසුලන සේක.
9මා වනසනු වස්, මා සොය සොයා සිටින අය ඇත; ඔව්හු පාතාල ලෝකයේ පත්ලට ම යත් වා!
Reading II
රෝම 12:1-2
1සහෝදරයෙනි, දෙවියන් වහන්සේ ඉමහත් දයාවක් පෙන් වූ බැවින්, ඔබගේ ශරීර දෙවියන් වහන්සේට කැප කළ, උන් වහන්සේට ප්‍රසන්න වූ ජීවමාන යාගයක් කොට ඔප්පු කරන මෙන් ඔබගෙන් උදක් ම ඉල්ලමි. සැබෑ බුද්ධිමය නමස්කාරය එය වේ.
2ඔබ ලෝක ව්‍යවහාරය අනුව හැඩ නොගැසී, සිත අලුත් කරගැනීමෙන් වෙනස් අය වන්න. එවිට, දෙවියන් වහන්සේගේ කැමැත්ත, එනම්, යහපත් වූ, පිළිගත යුතු වූ, සම්පූර්ණ වූ දේ කුමක් ද කියා ඔබට තේරුම්ගත හැකි ය.
Alleluia
cf. Ephesians 1:17-18
පාඨ අන්තර්ගතය ලබා ගත නොහැක.
Gospel
ශුද්ධ වූ මතෙව් 16:21-27
21එවක් පටන් ජේසුස් වහන්සේ, තමන් ජෙරුසලමට වැඩම කර, ප්‍රජා මූලිකයන්ගෙන් හා නායක පූජකයන්ගෙන් ද විනයධරයන්ගෙන් ද බොහෝ දුක් වේදනා විඳින්ටත් මරනු ලබන්ටත්, තුන් වන දා උත්ථාන කරනු ලබන්ටත් යන බව සිය ශ්‍රාවකයන්ට දන්වන්න පටන්ගත් සේක.
22එවිට පේදුරු උන් වහන්සේ පැත්තකට කැඳවා තරවටු කරන්න පටන් ගෙන, ”ස්වාමීනි, එය දුරින් ම දුරුවේ වා! එවැන්නක් ඔබට කවදාවත් සිදු නො වේ වා”යි කී ය.
23එහෙත්, උන් වහන්සේ හැරී, පේදුරුට කතා කොට, ”සාතන්, අහකට යව; නුඹ මට බාධාවකි; නුඹ සිතන්නේ මිනිසුන් සිතන විධියට මිස දෙවියන් වහන්සේ සිතන විධියට නොවේ ය”යි වදාළ සේක.
24එවිට ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන්ට කතා කොට මෙසේ වදාළ සේක: ”යමෙක් මා අනුව එන්න කැමැත්තේ ද, ඔහු තමකම නසා කුරුසිය දරමින් මා අනුව ඒවා!
25මන්ද, සිය දිවි රැකගන්න කැමැති තැනැත්තේ එය නැති කරගන්නේ ය. මා උදෙසා සිය දිවි නැති කරගන්නා එය රැක ගන්නේ ය.
26යමෙකු මුළු ලෝකය ම ලබාගත්තත්, සිය දිවි නැති කරගත්තොත් ඔහුට කිනම් ප්‍රයෝජනයක් ද? නොහොත් යමෙකුට සිය දිවි වෙනුවට කුමක් දිය හැකි ද?
27මනුෂ්‍ය-පුත්‍රයාණෝ සිය පියාණන්ගේ තේජශ්‍රීයෙන් තම දූතයන් පිරිවරා වඩින සේක. එකල උන් වහන්සේ එකිනෙකාට තම තමන්ගේ ක්‍රියා අනුව පල විපාක දෙන සේක.