අගෝස්තු 2026

බ්‍ර සි සෙ
1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
අද දිනට

කියවීම්

2026 අගෝස්තු 3

Monday of the Eighteenth Week in Ordinary Time

දවසේ දේව මෙහෙය
Reading I

ජෙරමියා 28:1-17

1එම අවුරුද්දේ ම එනම්, ජුදාහි රජු වූ ශෙදෙකියාගේ රාජ්‍ය කාලයේ සතර වන අවුරුද්දේ පස් වන මාසයේ දී, අස්සුර්ගේ පුත් ගිබියොන්හි පදිංචි දිවැසිවර හනනියා දේව මාලිගාවේ දී පූජකයන් සහ මුළු සෙනඟ ඉදිරියේ ජෙරමියාට කතා කෙළේ ය. 2ඉශ්රායෙල්හි සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ”යි ඔහු කී ය: ”බබිලෝනියේ රජුගේ බලය මම බිඳදැමීමි. 3බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් මේ ස්ථානයෙන් රැගෙන බබිලෝනියට ගෙන ගිය දේව මාලිගාවේ සියලු ම භාණ්ඩ අවුරුදු දෙකක් ඇතුළත දී නැවත මේ ස්ථානයට ගෙනෙන්නෙමි. 4ජෙහෝයාකිම්ගේ පුත් ජුදාහි රජු වූ ජෙකොනියා ද බබිලෝනියට ගෙනයනු ලැබූ සියලු ම ජුදෙව්වරුන් ද මම නැවත මේ ස්ථානයට ගෙනෙන්නෙමි. බබිලෝනියේ රජුගේ බලය මම සිඳදමන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.” 5එවිට දිවැසිවර ජෙරමියා පූජකයන් ද දේව මාලිගාවේ සිටි සියලු සෙනඟ ද ඉදිරියෙහි සිට දිවැසිවර හනනියාට කතා කොට මෙසේ කී ය: 6එසේ ම වේ වා! සමිඳාණන් වහන්සේ එසේ කරන සේක් වා! ‘දේව මාලිගාවේ භාණ්ඩ ද අල්ලාගෙන යනු ලැබූ සියල්ලන් ද නැවත බබිලෝනියෙන් මේ ස්ථානයට ගෙනෙත් වා!’යි ඔබ කී දිවැස් වැකි සමිඳාණන් වහන්සේ ඉටු කරන සේක් වා! 7එසේ වුවත්, ඔබ ඉදිරියේත්, මේ සෙනඟ ඉදිරියේත් සියල්ලන්ට ඇසෙන පරිදි මා කියන මේ වචනය අසන්න. 8මටත්, ඔබටත් පෙර, පුරාණයේ පටන් සිටි දිවැසිවරුත්, ‘බොහෝ රටවලට සහ බලවත් රාජ්‍යවලට විරුද්ධ ව යුද්ධය ද විපත්තිය ද වසංගතය ද ඇති වේ’ යයි දිවැස් වැකි පැවසූ හ. 9‘සාමය ඇති වේ’ යයි දිවැස් වැකි පවසන ලද දිවැසිවරයා, සැබැවින් ම සමිඳාණන් වහන්සේ විසින් එවන ලද දිවැසිවරයෙක් යයි හඳුනාගත හැක්කේ ඔහුගේ වචන ඉෂ්ට වූ විට ය.” 10එවිට හනනියා, ජෙරමියාගේ බෙල්ලෙන් වියගහ හැරගෙන එය කැඩුවේ ය. 11මුළු සෙනඟ ඉදිරියේ හනනියා කතා කොට, ”බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් ජාතීන්ගේ ගෙල මත තබා ඇති වියගහ අවුරුදු දෙකක් ඇතුළත දී සමිඳාණන් වහන්සේ කඩාදමන්නේ මෙසේ ය”යි කී ය. ජෙරමියා එතැනින් යන්නට ගියේ ය. 12තවද, ජෙරමියාගේ ගෙල මත තිබූ වියගහ හනනියා කඩාදැමූ පසු, සමිඳාණන් වහන්සේ ජෙරමියාට කතා කොට, 13හනනියාට මෙසේ කියන්න යයි වදාළ සේක: ”නුඹ ලී වියගහක් කඩාදැමුවෙහි ය. එහෙත්, ඒ වෙනුවට යකඩ වියගහක් සාදන්නෙමි යි සමිඳාණන් වහන්සේ වදාරන සේක. 14බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර්ට සේවය කරන පිණිස යකඩ වියගහක් සියලු ජාතීන්ගේ ගෙල මත තබන්නෙමි යි ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ වදාරා ඇත. ගවමහිෂයන් පවා නෙබුකද්නෙශර්ට සේවය කරන්නට සලස්වන්නෙමි යි සමිඳාණන් වහන්සේ වදාරා ඇත.” 15තවද, ජෙරමියා හනනියාට මෙසේ කීවේ ය: ”හනනියා, සවන් දෙන්න. සමිඳාණන් වහන්සේ ඔබ එවා වදාළේ නැත. මිථ්‍යා මතයන් කෙරෙහි විශ්වාසය තබන්නට ඔබ මේ සෙනඟට සැලැසුවෙහි ය. 16‘නුඹ පොළොව මතුපිටින් මම පහකරන්නෙමි’යි සමිඳාණන් වහන්සේ ම වදාරන සේක. ඔබ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කැරලිකාර වචන ප්‍රකාශ කළ නිසා ඔබ මේ අවුරුද්දේ මැරෙන්නෙහි ය.” 17ඒ කී ලෙස හනනියා එම අවුරුද්දේ සත් වන මාසයේ දී මළේ ය.
Responsorial Psalm

ගීතාවලිය 119:29, 43, 79, 80, 95, 102

29වංක ක්‍රියා මා කෙරෙන් දුරින් දුරු කළ මැනව. ඔබේ ව්‍යවස්ථාව අනුව ජීවත් වීමට මට වරම් දුන මැනව. 43සත්‍ය වචනය මාගේ මුවින් ඉවත් නොකළ මැනව. මන්ද, ඔබේ විනිශ්චයයන් තුළ මම මාගේ බලාපොරොත්තුව තබමි. 79ඔබ කෙරෙහි ගරුබිය ඇත්තෝ මා වෙත හැරී එත් වා! එවිට ඔව්හු ඔබේ ශික්ෂා පද තේරුම්ගන්නෝ ය. 80මා පරාජයට පත් නොවන පිණිස ඔබේ පණත් අනුව ජීවත් වන්නට මා හද පිරිසිදු කළ මැනව. 95දුෂ්ටයෝ මා විනාශ කරන්නට බලා සිටියෝ ය. එහෙත්, මම ඔබේ ශික්ෂා පද සාවධානයෙන් මෙනෙහි කරන්නෙමි. 102ඔබේ නියමයන්ගෙන් ඉවත් ව නොගියෙමි. ඔබ ම මට ඒවා ඉගැන්වූ සේක.
Alleluia

ශුද්ධ වූ ජොහන් 1:49

49නතානියෙල් උත්තර දෙමින්, ”ගුරුදේවයෙනි, ඔබ වහන්සේ නම්, දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ය; ඔබ වහන්සේ නම්, ඉශ්රායෙල්හි රජිඳාණෝ ය”යි කී ය.
Gospel

ශුද්ධ වූ මතෙව් 14:22-36

22ඉන්පසු උන් වහන්සේ සමූහයා පිටත් කර හරින අතර, ඔරුවට නැඟී, තමන්ට පළමුවෙන් එගොඩට යන ලෙස ශ්‍රාවකයන්ට නියම කළ සේක. 23උන් වහන්සේ ජනකාය යැවූ පසු, යාච්ඤා කරන පිණිස වෙන් ව කන්දට වැඩිය සේක. සවස් වූ කල්හි උන් වහන්සේ තනි ව එහි සිටි සේක. 24සුළඟ තදින් හැමූ බැවින් ඔරුව එවේලෙහි තරංගවල හැපෙමින්, ගැටෙමින් මුහුද මැද තිබිණි. 25අලුයම තුනටත් හයටත් අතර උන් වහන්සේ ඔවුන් වෙත මුහුද මතුපිට ඇවිදගෙන ආ සේක. 26ශ්‍රාවකයෝ උන් වහන්සේ මුහුද මත ඇවිදගෙන එනු දැක, කලබල වී, ”ඒ අවතාරයකැ”යි කියමින්, බියෙන් මොරගැසූ හ. 27එහෙත්, ජේසුස් වහන්සේ එකෙණෙහි ම ඔවුන්ට කතා කොට, ”ධෛර්යවත් වන්න; මේ මම ය; බිය නොවන්නැ”යි වදාළ සේක. 28පේදුරු උත්තර දෙමින්, ”ස්වාමීනි, ඔය ඔබ වහන්සේ නම්, වතුර මත ඔබ වෙත එන්න මට අණ කළ මැනවැ”යි කී ය. 29එන්නැ”යි උන් වහන්සේ වදාළ සේක. එවිට පේදුරු ඔරුවෙන් බැස, ජේසුස් වහන්සේ වෙත වතුර මත ඇවිදගෙන ගියේ ය. 30එහෙත්, ඔහු මාරුතය වේගවත් බව දැක, බිය වී ගිලෙන්න පටන්ගෙන, ”ස්වාමීනි, මා බේරාගත මැනවැ”යි මොරගැසී ය. 31ජේසුස් වහන්සේ වහා ම අත දිගු කොට ඔහු අල්ලාගෙන, ”ඔබේ ඇදහිල්ල කොතරම් හීන ද? සැක කෙළේ මන්දැ”යි විචාළ සේක. 32ඔවුන් දෙදෙන ඔරුවට නැඟුණු කල සුළඟ නැවතිණි. 33එවිට ඔරුවේ උන් අය, ”ඒකාන්තයෙන් ම ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ය”යි කියමින් උන් වහන්සේට පසඟ පිහිටුවා වැඳ නමස්කාර කළහ. 34ඔව්හු එගොඩ වී ගෙන්නෙසරෙත් රටට පැමිණියහ. 35ඒ රටේ මිනිස්සු උන් වහන්සේ ඇඳින, අවට පෙදෙස පුරා පණිවුඩ යවා, සියලු රෝගීන් උන් වහන්සේ වෙත ගෙන්වා, 36උන් වහන්සේගේ සළුවේ දාවල්ල පමණ වත් ස්පර්ශ කරන්න රෝගීන්ට ඉඩ දෙන ලෙස, උන් වහන්සේගෙන් ඉල්ලා සිටියහ. එසේ ස්පර්ශ කළ සියල්ලෝ ම සුවපත් වූ හ.