අගෝස්තු 2026

බ්‍ර සි සෙ
1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
අද දිනට

කියවීම්

2026 අගෝස්තු 29

Memorial of the Passion of Saint John the Baptist

දවසේ දේව මෙහෙය
Reading I

1 කොරින්ති 1:26-31

26සහෝදරයෙනි, ඔබගේ කැඳවීම ගැන සිතා බලන්න. ලෝක මිම්ම අනුව ප්‍රඥාවන්ත යැයි කිව හැකි බොහෝ දෙනෙක් ඔබ අතර නො වූ හ. එලෙස ම, බලවත් අයත්, කුලවත් අයත් වැඩි දෙනෙක් නො වූ හ. 27එහෙත් ප්‍රඥාවන්තයන් ලජ්ජාවට පමුණුවන පිණිස, ලෝක මිම්ම අනුව මෝඩ යයි සම්මත දේ, දෙවියන් වහන්සේ තෝරාගත් සේක. එමෙන් ම බලවතුන් ලජ්ජාවට පමුණුවන පිණිස ලෝක මිම්ම අනුව දුබල යයි සම්මත දේ දෙවියන් වහන්සේ තෝරාගත් සේක. 28ලෝකයා අගය කොට සලකන දේ නැති කරනු පිණිස, දෙවියන් වහන්සේ ලෝකයා පහත් කොට සලකන, හෙළා දකින, එමෙන් ම වැදගැම්මක් නැතැ යි සලකන දේ, තෝරාගත් සේක. 29එසේ කෙළේ කිසිවෙකු දෙවියන් වහන්සේ ඉදිරියෙහි පාරට්ටු කර නොගන්නා පිණිස ය. 30ඔබ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ හා ඒකාබද්ධ ව සිටින්නේ දෙවියන් වහන්සේගේ ක්‍රියාවෙනි. ක්‍රිස්තුන් වහන්සේ අපගේ ප්‍රඥාව වන්නේත් දේව ක්‍රියාවෙන් ය. ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන අපි දමිටු කරනු ලැබ, උන් වහන්සේගේ සෙනඟ වී, නිදහස ලබා සිටිමු. 31එබැවින්, ශුද්ධ ලියවිල්ලෙහි ලියා ඇති පරිදි, පාරට්ටු කරගන්න කැමැති තැනැත්තා සමිඳාණන් වහන්සේ ගැන පාරට්ටු කරගනී වා.
Responsorial Psalm

ගීතාවලිය 33:12-13, 18-19, 20-21

12සමිඳුන් තමන් දෙවියන් කොට සලකන ජාතිය ද දෙවිඳුන් සතු උරුමය ලෙස තේරුණු සෙනඟ ද ආසිරි ලද්දෝ ය. 13හිමි තුමාණෝ සගලොව සිට නරඹන සේක; මුළු මිනිස් සංහතිය දක්නා සේක. 18සමිඳුන්ගේ නෙත් දේව ගරුබිය ඇත්තන් කෙරෙහි ය; මරණයෙන් ගළවන පිණිස ද 19දුබික් දුරු කොට දිවි රක්නා පිණිස ද එතුමාණෝ දිවැසින් බලන සේක. 20අපි හිමි තුමන් කෙරේ විශ්වාසයෙන් බලා සිටියෙමු. අපේ පිහිටත්, පලිහත් එතුමාණෝ ය. 21අපි එතුමන්ගේ සුවිශුද්ධනාමය කෙරේ විශ්වාසය තැබුවෙමු. එබැවින් අපේ සිත් ප්‍රීතියෙන් පිනා යයි.
Alleluia

ශුද්ධ වූ මතෙව් 5:10

10යුක්තිය උදෙසා පීඩා විඳින්නෝ භාග්‍යවන්තයෝ ය; ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේ ය;
Gospel

ශුද්ධ වූ මාර්ක් 6:17-29

17හෙරොද් සිය සොහොයුරා වන පිලිප්ගේ භාර්යාව වූ හෙරෝදියස් සරණ පාවාගත් බැවින්, ඇය නිසා මිනිසුන් යවා ජොහන් අල්ලා බැඳ හිර අඩස්සි කෙළේ ය. 18ඔබේ සහෝදරයාගේ භාර්යාව තබාගැනීම ඔබට යුතු නැතැ”යි ජොහන් හෙරොද්ට කී බැවින්, 19හෙරෝදියස් ඔහු කෙරේ වෛර බැඳ, ඔහු මරවන්නට අදහස් කරගෙන සිටියා ය. එහෙත්, එය කළ නොහැකි විය. 20මන්ද, ජොහන් සත්ගුණවත් දැහැමි මිනිසෙකු බව හෙරොද් දැන, ඔහුට බිය ව, ඔහු ආරක්ෂා කළ හෙයිනි. තවද, ඔහුගේ බස් අසා හෙරොද් බොහෝ වියවුල් වුව ද සන්තෝෂයෙන් ඔහුට කන් දුන්නේ ය. 21සුදුසු අවස්ථාවක් පැමිණියෙන්, හෙරොද් සිය ජන්මො‍්ත්සව දින, තමාගේ උසස් නිලධාරීන්ට ද ප්‍රධාන සේනාධිපතීන්ට ද ගලීලයේ ප්‍රභූවරයන්ට ද මංගල භෝජනයක් පිළියෙළ කෙළේ ය. 22එවිට හෙරෝදියස්ගේ දුව එහි පිවිස රඟ පා, හෙරොද්ගේ සහ ඔහු සමඟ භෝජන සංග්‍රහයට පැමිණ සිටි අමුත්තන්ගේ නෙත් සිත් පිනවූවා ය. එකල රජතුමා තරුණියට කතා කොට, ”ඔබ කැමැති ඕනෑම දෙයක් මාගෙන් ඉල්ලන්න, එය ඔබට දෙමි”යි කී ය. 23තවද, ”ඉල්ලන ඕනෑම දෙයක්, මාගේ රාජ්‍යයෙන් අඩක් වුවත්, ඔබට දෙමි”යි ඔහු ඇයට දිවුරුම් දුන්නේ ය. 24ඈ පිටතට ගොස්, ”මම කුමක් ඉල්ලම් දැ”යි ඇගේ මවගෙන් ඇසුවා ය. ”ස්නාවක ජොහන්ගේ හිස” යයි ඈ කීවා ය. 25එවිට තරුණිය වහා ම රජු වෙත පැමිණ, ”ඔබ ස්නාවක ජොහන්ගේ හිස තැටියක ලා දැන් මට දෙනු මැනව”යි කීවා ය. 26රජතුමා අතිශයින් ශෝක විය. එහෙත්, ඔහුගේ දිවුරුම නිසා ද, අමුත්තන් නිසා ද, ඈට දුන් පොරොන්දුව කඩ කරන්න අකමැති විය. 27එකෙණෙහි ම රජතුමා මුර සෙබළෙකු යවමින් ජොහන්ගේ හිස ගෙනෙන්න අණ කෙළේ ය. ඔහු ද ගොස් හිර ගෙයි දී ජොහන්ගේ හිස ගසාදමා 28එය තැටියක ලා ගෙනවුත්, තරුණියට දුන්නේ ය; තරුණිය ද එය මවට දුන්නා ය. 29ජොහන්ගේ ගෝලයෝ ඒ ගැන අසා අවුත්, ඔහුගේ මෘත දේහය ගෙන ගොස්, සොහොන් ගෙයක තැන්පත් කළහ.