කියවීම්
2026 අගෝස්තු 9
Nineteenth Sunday in Ordinary Time
දවසේ දේව මෙහෙය
Reading I
රාජාවලියේ පළමු වන පොත 19:9, 11-13
9පසු ව ඔහු එහි ගුහාවකට ඇතුළු වී නවාතැන් ගත්තේ ය. සමිඳාණන් වහන්සේගේ පණිවුඩය ද ඔහු වෙත පැමිණියේ ය. උන් වහන්සේ ඔහුට කතා කොට,”එලියා, නුඹ මෙහි කුමක් කරන්නෙහි දැ”යි ඔහුගෙන් ඇසූ සේක.
11උන් වහන්සේ කතා කොට, ”පිටතට අවුත් කන්ද උඩ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සිටින්නැ”යි වදාළ සේක. එවිට සමිඳාණන් වහන්සේ ඒ ළඟින් ගිය සේක. උන් වහන්සේට පෙරටුවෙන් මහා බලවත් හුළඟක් කඳු දෙදරවා, පර්වත බිඳගෙන ගියේ ය. එහෙත්, සමිඳාණන් වහන්සේ සුළඟෙහි නොවූ සේක. සුළඟට පසු පොළෝ කම්පාවක් විය. එහෙත්, සමිඳාණන් වහන්සේ පොළෝ කම්පාවෙහි නොවූ සේක.
12පොළෝ කම්පාවට පසු ගින්නක් විය. එහෙත්, සමිඳාණන් වහන්සේ ගින්නෙහි නොවූ සේක. ගින්නට පසු මඳ පවනක හඬක් විය.
13එලියා ඒ අසා තමාගේ මුහුණ සළුවෙන් වසාගෙන පිටතට ගොස් ගුහාවේ දොරකඩ සිටියේ ය. එවිට හඬක් ඔහු වෙත පැමිණ, ”එලියා නුඹ මෙහි කුමක් කරන්නෙහි දැ”යි ඇසී ය.
Responsorial Psalm
ගීතාවලිය 85:9, 10, 11-12, 13-14
9එතුමන් හට ගරුබිය පාන අයට ගැළවීම ඉතා සමීප ව ඇත්තේ ය. සත්තට ම එතුමන්ගේ මහිමාලංකාරය අප රටෙහි බබළන්නේ ය.
10තිර පෙම සහ විශ්වාසවන්තකම හමු වන්නේ ය. දැහැමි බව සහ සාමය වැළඳ ගන්නේ ය.
11විශ්වාසවන්තකම මිහි තලයෙන් ඉහළට නඟින්නේ ය. දැහැමි බව සගලොවින් පහළට බසින්නේ ය.
12සමිඳාණෝ අප සමෘද්ධිමත් කරන සේක. අපේ දේශය එහි පලදාව නිපදවන්නේ ය.
13දැහැමි බව එතුමන්ට පෙරටු ව යන්නේ ය. එතුමන්ගේ පා සළකුණු මාර්ගයක් වන්නේ ය.
Reading II
රෝම 9:1-5
1මම කිතුනුවෙකු වශයෙන් සත්‍යය පවසමි. මෙය මුසාවක් නොවේ. ඒ බවට ශුද්ධාත්මයාණන් වහන්සේ තුළ මාගේ හෘදය සාක්ෂිය සහතික කරයි.
2මා තුළ බලවත් ශෝකයක් ද හදවතෙහි නිරන්තර වේදනාවක් ද ඇත.
3මාගේ ලේ නෑයන් වූ සහෝදරයන් උදෙසා, ක්‍රිස්තුන් වහන්සේගෙන් වෙන් වී සාප ලද්දෙකු වීමට හැකි නම් ඊට වුවත් මම කැමැති වෙමි.
4ඔව්හු ඉශ්රායෙල්වරු ය, දේව පුත්‍රකමට පිළිගනු ලැබීම හා මහිමය ඔවුන්ගේ ය. ගිවිසුම් හා ව්‍යවස්ථාව ද දේව සේවය හා පොරොන්දු ද ඔවුන් සතු ය.
5ඔවුන් ජාතියේ පීතෘවරුන්ගේ පෙළපතට අයිති ය. මනුෂ්‍යයෙකු ලෙස ක්‍රිස්තුන් වහන්සේ උපන්නේත් එම පෙළපතෙහි ම ය. මුළු විශ්වයට අධිපති වූ දෙවියන් වහන්සේට සදහට ම ප්‍රශංසා වේ වා! ආමෙන්.
Alleluia
ගීතාවලිය 130:5
5මම සමිඳුන්ගේ උපකාරය උදක් ම බලා සිටිමි. එතුමන්ගේ වචනය කෙරෙහි බලාපොරොත්තුව තබමි.
Gospel
ශුද්ධ වූ මතෙව් 14:22-33
22ඉන්පසු උන් වහන්සේ සමූහයා පිටත් කර හරින අතර, ඔරුවට නැඟී, තමන්ට පළමුවෙන් එගොඩට යන ලෙස ශ්‍රාවකයන්ට නියම කළ සේක.
23උන් වහන්සේ ජනකාය යැවූ පසු, යාච්ඤා කරන පිණිස වෙන් ව කන්දට වැඩිය සේක. සවස් වූ කල්හි උන් වහන්සේ තනි ව එහි සිටි සේක.
24සුළඟ තදින් හැමූ බැවින් ඔරුව එවේලෙහි තරංගවල හැපෙමින්, ගැටෙමින් මුහුද මැද තිබිණි.
25අලුයම තුනටත් හයටත් අතර උන් වහන්සේ ඔවුන් වෙත මුහුද මතුපිට ඇවිදගෙන ආ සේක.
26ශ්‍රාවකයෝ උන් වහන්සේ මුහුද මත ඇවිදගෙන එනු දැක, කලබල වී, ”ඒ අවතාරයකැ”යි කියමින්, බියෙන් මොරගැසූ හ.
27එහෙත්, ජේසුස් වහන්සේ එකෙණෙහි ම ඔවුන්ට කතා කොට, ”ධෛර්යවත් වන්න; මේ මම ය; බිය නොවන්නැ”යි වදාළ සේක.
28පේදුරු උත්තර දෙමින්, ”ස්වාමීනි, ඔය ඔබ වහන්සේ නම්, වතුර මත ඔබ වෙත එන්න මට අණ කළ මැනවැ”යි කී ය.
29එන්නැ”යි උන් වහන්සේ වදාළ සේක. එවිට පේදුරු ඔරුවෙන් බැස, ජේසුස් වහන්සේ වෙත වතුර මත ඇවිදගෙන ගියේ ය.
30එහෙත්, ඔහු මාරුතය වේගවත් බව දැක, බිය වී ගිලෙන්න පටන්ගෙන, ”ස්වාමීනි, මා බේරාගත මැනවැ”යි මොරගැසී ය.
31ජේසුස් වහන්සේ වහා ම අත දිගු කොට ඔහු අල්ලාගෙන, ”ඔබේ ඇදහිල්ල කොතරම් හීන ද? සැක කෙළේ මන්දැ”යි විචාළ සේක.
32ඔවුන් දෙදෙන ඔරුවට නැඟුණු කල සුළඟ නැවතිණි.
33එවිට ඔරුවේ උන් අය, ”ඒකාන්තයෙන් ම ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ය”යි කියමින් උන් වහන්සේට පසඟ පිහිටුවා වැඳ නමස්කාර කළහ.