කියවීම්
2026 අගෝස්තු 6
Feast of the Transfiguration of the Lord
දවසේ දේව මෙහෙය
Reading I
දානියෙල් 7:9-10, 13-14
9මා බලා සිටිය දී, සිංහාසන පිහිටුවනු ලදුව පෞරාණිකයාණෝ අසුන් ගත්හ. උන් වහන්සේගේ වස්ත්‍ර හිම මෙන් සුදු ය; හිසකේ පිරිසිදු ලොම් මෙන් සුදු ය. උන් වහන්සේගේ සිංහාසනය ගිනි ජාලාවකි. එහි රෝද ඇවිලෙන ගිනි ය.
10ගිනිමය ගංගාවක් උන් වහන්සේ ඉදිරියෙන් ගලාගෙන ගියේ ය. ලක්ෂ සංබ්‍යාත පිරිසක් උන් වහන්සේට උපස්ථාන කළහ. කෝටි ප්‍රකෝටි සංබ්‍යාත පිරිසක් උන් වහන්සේ ඉදිරියේ සිටියහ. අධිකරණ සභාව අසුන් ගත්තා ය. පොත් දිගඅරින ලද්දේ ය.
13තවදුරටත් බලා සිටිය දී මම රාත්‍රි දර්ශනවල දී මෙසේ දිටිමි. මනුෂ්‍ය-පුත්‍රයා වැනි කෙනෙක් අහසේ වලාකුළු පිරිවරා අවුත් පෞරාණිකයාණන් වෙත එළඹුණේ ය. උන් වහන්සේ පෞරාණිකයාණන් වෙත පමුණුවනු ලැබූ සේක.
14සියලු ජනයන් ද ජාතීන් ද භාෂාවන් ද උන් වහන්සේට සේවය කරන පිණිස පාලන බලය ද ගෞරවය ද රාජ්‍යය ද උන් වහන්සේට දෙන ලද්දේ ය. උන් වහන්සේගේ පාලනය පහ නොවන සදාකාලික පාලනයක් ය. උන් වහන්සේගේ රාජ්‍යය කිසි කලෙක නැති නොවන්නේ ය.”
Responsorial Psalm
ගීතාවලිය 97:1-2, 5-6, 9
1සමිඳාණෝ රජකම් කරන සේක, මිහිතලය ප්‍රීති වේ වා! දිවයින් සියල්ල ප්‍රීති ප්‍රමෝද වේ වා!
2වලාකුළු සහ අඳුර එතුමන් වට කර සිටින්නේ ය. දැහැමිකම සහ යුක්තිය එතුමන්ගේ සිහසුනේ පදනම් ය.
5කඳු හෙල් සමිඳාණන් දැක ඉටි මෙන් උණු වන්නේ ය; මුළු මිහිතලය ද සමිඳුන් දැක එසේ වන්නේ ය.
6දෙව්ලොව එතුමන්ගේ සාධාරණකම ප්‍රකාශ කරන්නේ ය; සකල ජනතාවෝ එතුමන්ගේ මහිමය නරඹන්නෝ ය.
9සව් බලැති දෙවි සමිඳුනි, ඔබ මුළු පොළෝ තලයට ශ්‍රේෂ්ඨ වන සේක; සියලු දෙවි දේවතාවන්ට වඩා ඔබ උතුම් වන සේක.
Reading II
2 පේදුරු 1:16-19
16අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ බලයත් තේජාන්විත ආගමනයත් ගැන අප ඔබට දැන්වූ කල, අප එසේ කෙළේ හිතා මතා ගෙතූ ප්‍රබන්ධ අනුව නොව, උන් වහන්සේගේ මහිමශ්‍රීය අපගේ ම ඇස්වලින් දුටු අය ලෙසිනි.
17මොහු මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාණෝ ය; මොහු කෙරෙහි මම ප්‍රසන්න ව සිටිමි” කියන හඬක් උත්කෘෂ්ට තේජසින් උන් වහන්සේ කරා පහළ වූ කල්හි දෙවි පියාණන් වහන්සේගේ ගෞරවයත් මහිමයත් උන් වහන්සේ ලැබූ සේක.
18උන් වහන්සේ සමඟ ශුද්ධ කන්ද මත සිටිය දී මේ හඬ ස්වර්ගයෙන් නික්ම එනු අපි අපේ ම කන්වලින් ඇසීමු.
19ඒ නිසා දිවැසිවරුන් ප්‍රකාශ කළ පණිවුඩය වඩාත් ස්ථිර ලෙස අප සතු ව ඇත. ඔබේ අවධානය ඊට යොමු කිරීම යෙහෙකි. මන්ද, එය අලුයම පැමිණ, පහන් තරුව ඔබගේ සිත්හි උදා වන තුරු, අඳුරු තැනක බබළන පහනක් මෙනි.
Alleluia
ශුද්ධ වූ මතෙව් 17:5
5ඔහු කතා කරද්දී දීප්තිමත් වලාකුළක් ඔවුන් සිසාරා, පැතිරිණි. තවද, ”මේ මාගේ ප්‍රියාදර පුත්‍රයාණෝ ය; මම මොහු කෙරෙහි ඉතා ප්‍රසන්න වී සිටිමි; මොහුට සවන් දෙන්නැ”යි කියන හඬක් නික්මිණි.
Gospel
ශුද්ධ වූ මතෙව් 17:1-9
1සදවසකට පසු ජේසුස් වහන්සේ පේදුරු ද ජාකොබ් ද ඔහුගේ සහෝදර ජොහන් ද කැඳවාගෙන, වෙන් ව උස් කන්දකට වැඩිය සේක.
2උන් වහන්සේ ඔවුන් අබිමුවෙහි අන්වෙසක් වූ සේක. උන් වහන්සේගේ මුහුණ හිරු මෙන් බැබළිණි; වස්ත්‍ර ද ආලෝකය මෙන් සුදු විය.
3එකෙණෙහි ම මෝසෙස් ද එලියා ද උන් වහන්සේ සමඟ කතා කරමින් සිටිනු ඔවුන්ට පෙනිණි.
4පේදුරු ජේසුස් වහන්සේට කතා කොට, ”ස්වාමීනි, අපට මෙහි සිටින්න ලැබීම වාසනාවකි; ඔබ කැමැති සේක් නම්, මණ්ඩප තුනක්, එකක් ඔබට ද එකක් මෝසෙස්ට ද එකක් එලියාට ද සාදන්නෙමි”යි කී ය.
5ඔහු කතා කරද්දී දීප්තිමත් වලාකුළක් ඔවුන් සිසාරා, පැතිරිණි. තවද, ”මේ මාගේ ප්‍රියාදර පුත්‍රයාණෝ ය; මම මොහු කෙරෙහි ඉතා ප්‍රසන්න වී සිටිමි; මොහුට සවන් දෙන්නැ”යි කියන හඬක් නික්මිණි.
6ශ්‍රාවකයෝ ඒ අසා, අතිශයින් බියපත් වී මුහුණින් වැටුණාහ.
7ජේසුස් වහන්සේ අවුත්, ඔවුන්ට අත ගසා, ”නැඟිටින්න, බිය නොවන්නැ”යි වදාළ සේක.
8ඇස් ඔසවා බැලූ කල ඔව්හු ජේසුස් වහන්සේ හැර වෙන කිසිවෙකු නුදුටුවෝ ය.
9ඔවුන් කන්දෙන් බැස එද්දී ජේසුස් වහන්සේ කතා කරමින්, ”මනුෂ්‍ය-පුත්‍රයාණන් මළවුන් කෙරෙන් නැඟිටින තුරු මේ දර්ශනය කිසිවෙකුට නොකියන්නැ”යි ඔවුන්ට අණ කළ සේක.