කියවීම්
2026 අගෝස්තු 13
Thursday of the Nineteenth Week in Ordinary Time
දවසේ දේව මෙහෙය
Reading I
එසකියෙල් 12:1-12
1සමිඳාණන් වහන්සේගේ පණිවුඩය මා වෙත පැමිණ මෙසේ කී ය:
2මනුෂ්‍ය පුත්‍රය, නුඹ වාසය කරන්නේ කැරලිකාර වංශයක් අතරෙහි ය. දැකීමට ඇස් තිබෙන නමුත්, ඔවුන්ට පෙනෙන්නේ නැත. ඇසීමට කන් තිබෙන නමුත්, ඇසෙන්නේ නැත. මක්නිසා ද ඔව්හු කැරලිකාර වංශයක් ය.
3ඒ නිසා, මනුෂ්‍ය පුත්‍රය, විප්‍රවාසයට යන්නෙකු මෙන් මාර්ගෝපකරණ සූදානම් කරගෙන, දවාලෙහි ඔවුන් බලා සිටිය දී පිටත් වන්න; ඔවුන් බලා සිටිය දී නුඹ සිටින ස්ථානයේ සිට අන් ස්ථානයකට පිටත් ව යන්න. ඔවුන් කැරලිකාර වංශයක් වන නමුත්, සමහර විට ඔවුන් එහි තේරුම සිතට ගනු ඇත.
4නුඹේ බඩු විප්‍රවාසිකයෙකුගේ මාර්ගෝපකරණ මෙන් දවාලෙහි ඔවුන් බලා සිටිය දී පිටතට ගෙන, මිනිසුන් විප්‍රවාසයට පිටත් ව යන්නාක් මෙන් සවස ඔවුන් බලා සිටිය දී පිටත් වන්න.
5නුඹ ඔවුන් බලා සිටිය දී බිත්තිය හාරා, ඒ තුළින් බඩු පිටතට ගෙන යන්න.
6නුඹ ඔවුන් බලා සිටිය දී ඒවා කරට ගෙන, අඳුරු වේලේ පිටතට ගෙන යන්න. යන මඟ නොපෙනෙන පිණිස නුඹේ මුහුණ වසාගන්න. මක්නිසා ද මම ඉශ්රායෙල් වංශයට නුඹ සංකේතයක් කර ඇත්තෙමි.”
7මම ද මට අණ කළ ලෙස කෙළෙමි. මාගේ බඩු මාර්ගෝපකරණ මෙන් දවාලේ පිටතට ගෙන, සවස මාගේ අතින් බිත්තිය හාරා, අඳුරු වූ කල්හි ඔවුන් බලා සිටිය දී ඒවා කරට ගෙන පිටතට ගෙනාවෙමි.
8පසු දා උදේ සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක:
9මනුෂ්‍ය පුත්‍රය, කැරලිකාර වංශය වන ඉශ්රායෙල් වංශය ‘නුඹ කුමක් කරන්නෙහි දැ’යි නුඹට කීවා නොවේ ද?
10‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ’යි ඔවුන්ට කියන්න. ‘මේ දිව්‍ය ප්‍රකාශනය ජෙරුසලමේ අධිපතියා සහ එහි තුළ සිටින මුළු ඉශ්රායෙල් වංශය ගැන ය.’
11මෙසේ කියන්න: ‘මම නුඹලාට සංකේතයක් වෙමි. මා කළ ලෙස ඔවුන්ට ද සිද්ධ වන්නේ ය. ඔව්හු ද පිටත් ව අන් රටක විප්‍රවාසයට යන්නෝ ය.’
12ඔවුන් අතරේ සිටින අධිපතියා ද බඩු කරට ගෙන, අඳුරු වේලේ පිටතට එනු ඇත. ඔවුන් පවුරු හාරා එමඟින් පිටත යනු අසා ඔහු තමාගේ ඇස්වලින් බිම නොදකින පිණිස තමාගේ මුහුණ වසාගනු ඇත.
Responsorial Psalm
ගීතාවලිය 78:56-57, 58-59, 61-62
56එහෙත්, ඔව්හු දෙවිඳුන් පිරික්සමින් එතුමන්ට විරුද්ධ ව කැරලි ගැසුවෝ ය. මහෝත්තමයාණන්ගේ අණපණත් නොතකා හැරියෝ ය.
57ඔව්හු ඔවුන්ගේ පියවරුන් මෙන් ආපසු හැරී යමින් විශ්වාසය කඩ කළෝ ය. ඇද වුණු දුන්නක් මෙන් ඔවුන්ගේ විශ්වාසය වක් විය.
58මිසදිටු ගිරිකුළු දේවාලවලින් ඔව්හු එතුමාණන් කුපිත කළෝ ය. ඔවුන්ගේ පිළිම රූපවලින් එතුමාණන්ගේ කෝපය ඇවිස්සුවෝ ය.
59දෙවිඳුන්ට මෙය ඇසුණු විට එතුමාණෝ බලවත් ලෙස උදහස් වූ සේක; එතුමාණෝ ඉශ්රායෙල්වරුන් ප්‍රතික්ෂේප කළ සේක.
61එතුමාණන්ගේ බල මහිමය සහ තේජාලංකාර සලකුණ වන ගිවිසුම් කරඬුව සතුරන් අතට පත් වීමට එතුමාණෝ ඉඩ හැරිය සේක.
62එතුමාණෝ සිය සෙනඟ කඩු පහරට භාර දුන් සේක. සිය උරුමය වන සෙනඟ කෙරෙහි උදහස් වූ සේක.
Alleluia
ගීතාවලිය 119:135
135දයාවෙන් මා දෙස බැලුව මැනව; ඔබේ පණත් මට ඉගැන්නුව මැනව.
Gospel
ශුද්ධ වූ මතෙව් 18:21-19:1
21එකල පේදුරු උන් වහන්සේ වෙතට අවුත්, ”ස්වාමීනි, මට විරුද්ධ ව පව් කරන මාගේ සහෝදරයාට මා කී වාරයක් කමා විය යුතු ද? සත් වාරයක් දක්වා දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය.
22ජේසුස් වහන්සේ ඔහුට කතා කොට, ”සත් වාරයක් නොව, සත් වාර සැත්තෑවකි.
23මන්ද, ස්වර්ග රාජ්‍යය මෙවැන්නකට උපමා කළ හැකි ය: සිය දාසයන් සමඟ ගණන් හිලව් බැලීමට තීරණය කරගත් රජෙක් විය.
24ඔහු එසේ කරන්න පටන්ගත් කල රුපියල් දෙකෝටියක් පමණ ණය වූ කෙනෙක් ඔහු වෙත ගෙනෙන ලද්දේ ය.
25ණය ගෙවීමට ඔහුට කිසිවක් නොතිබුණු බැවින්, ස්වාමියා ඔහු ද ඔහුගේ බිරිඳ හා දරුවන් ද ඔහු සන්තක සියල්ල ද විකුණා ණය ගෙවන්න අණ කෙළේ ය.
26එවිට ඒ දාසයා දණින් වැටී, ‘මා ගැන ඉවසන්න, මුළු ණය ගෙවන්නෙමි’යි කී ය.
27ඒ දාසයාගේ ස්වාමියා ඔහු ගැන අනුකම්පාවෙන් පිරී, ඔහු ණයෙන් නිදහස් කොට කමාව දුන්නේ ය.
28එහෙත්, ඒ දාසයා නික්ම ගොස්, තම සහකාර දාසයන්ගෙන් තමාට රුපියල් දෙසීයක් පමණ ණය ව සිටි කෙනෙකු දැක, ඔහුගේ බෙල්ල මිරිකා ඔහු අල්ලාගෙන, ‘මගේ ණය ගෙවාපන්නැ’යි කී ය.
29එවිට ඔහුගේ සහකාර දාසයා බිම වැටී, ‘මා ගැන ඉවසන්න, ණය ගෙවන්නෙමි’යි කන්නලව් කරමින් කී ය.
30එහෙත්, ඔහු නොඉවසා ණය ගෙවන තෙක් ඔහු හිර අඩස්සි කෙළේ ය.
31ඔහුගේ සහකාර දාසයෝ සිදුවූ දේ දැක, අතිශයින් ශෝක වී, අවුත් සිදුවූ සියල්ල තම ස්වාමියාට දැන්වූ හ.
32එවිට ඔහුගේ ස්වාමියා ඔහු කැඳවා කතා කොට, ‘දුෂ්ට දාසය, නුඹේ ඉල්ලීම නිසා මම ඒ ණය සියල්ල නුඹට කමා කෙළෙමි.
33මා නුඹට අනුකම්පා කළාක් මෙන් ම, නුඹත් නුඹේ සහකාර දාසයාට අනුකම්පා කළ යුතුව තිබුණා නොවේ දැ’යි ඇසී ය.
34ඔහුගේ ස්වාමියා කෝප ව ඔහු තමාට ගෙවිය යුතු සම්පූර්ණ ණය ගෙවන තෙක් ඔහු වධකයන්ට භාර දුන්නේ ය.
35ඔබත් එකිනෙකා තමාගේ සහෝදරයාට මුළු සිතින් කමා නොකරන්නහු නම්, ස්වර්ගයෙහි වැඩ වසන මාගේ පියාණන් වහන්සේ ද, එසේ ම ඔබටත් කමා නොකරනු ඇත.”
1තවද ජේසුස් වහන්සේ මේ වචන වදාරා නිම කොට, ගලීලයෙන් නික්ම ජොර්දානෙන් එගොඩ ජුදයේ පළාත්වලට පැමිණි සේක.