කියවීම්
2026 අගෝස්තු 16
Twentieth Sunday in Ordinary Time
දවසේ දේව මෙහෙය
Reading I
යෙසායා 56:1, 6-7
1සමිඳාණෝ සිය සෙනඟට මෙසේ වදාරන සේක. ”යුක්තිය ඉටු කර හරි දේ කරන්න. මම නුඹලා නොපමා ව මුදන්නෙමි. මාගේ විමුක්තිය එළිදරව් වනු ඇත.
6සමිඳුන්ට සේවය කර, එතුමන්ට ප්‍රේම කර, එතුමන්ගේ මෙහෙකරුවන් වන පිණිස එතුමන් සරණ ගිය, සබත් දවස පවත්වා එය නොකෙලසන මාගේ ගිවිසුම ස්ථිර ව පවත්වන විදේශිකයන් ද මාගේ ශුද්ධ කන්දට පමුණුවා, මාගේ යාච්ඤා ගෘහයෙහි ප්‍රීති කරවන්නෙමි.
7ඔවුන්ගේ දවන යාග පූජා හා පුද පූජා මාගේ පූජාසනය පිට පිළිගනු ලබන්නේ ය. මන්ද, ‘මාගේ දේව මාලිගාව සියලු ජාතීන් හට යාච්ඤා ගෘහය’ය යි කියනු ලබන්නේ ය.
Responsorial Psalm
ගීතාවලිය 67:2-3, 5, 6, 8
2එවිට මුළු ලොව ඔබේ කැමැත්ත දැනගන්නේ ය; සියලු විජාතීහු ඔබේ ගැළවීමේ බලය දැනගන්නෝ ය.
3අහෝ දෙවිඳුනි, ජනතාවෝ ඔබ පසසත් වා! සියලු ජාතීහු ඔබ පසසත් වා!
5අහෝ දෙවිඳුනි, ජනතාවෝ ඔබ පසසත් වා! සියලු ජාතීහු ඔබ පසසත් වා!
6පොළොව පලදාව බහුල ව නිපදවිය; දෙවිඳාණෝ, අපේ දෙවිඳාණෝ, අපට ආසිරි දුන් සේක.
Reading II
රෝම 11:13-15, 29-32
13දැන් මා කතා කරන්නේ විජාතීන් වන ඔබට ය. විජාතීන්ට ප්‍රේරිතයෙකු ව සිටින බැවින් මම මාගේ මෙහෙය උසස් කොට සලකමි.
14එසේ සලකන්නේ, යම් හෙයකින් මාගේ ම ජාතියේ සෙනඟ උනන්දු කරවා ඔවුන්ගෙන් සමහරෙකු ගළවාගන්නා පිණිස ය.
15මන්ද, ඔවුන් ප්‍රතික්ෂේප කිරීම, ලෝකයා දෙවියන් වහන්සේ හා සමඟි කිරීමට මඟක් වී නම්, ඔවුන් පිළිගැනීම, මරණයෙන් ජීවනය ලැබීමක් විනා, අන් කුමක් වන්නේ ද?
29දෙවියන් වහන්සේ සිය දීමනා ද කැඳවීම ද වෙනස් නොකරන සේක.
30විජාතීන් වන ඔබ යටගිය දවස, දෙවියන් වහන්සේට අකීකරු ව සිටි නමුත්, ජුදෙව්වරුන්ගේ අකීකරුකම නිසා දැන් ඔබ කරුණාව ලබා ඇත.
31එසේ ම, ඔවුන් දැන් අකීකරු ව සිටින්නේ, ඔබට දක්වන ලද කරුණාව නිසා ඔවුනුත් කරුණාව ලබන පිණිස ය.
32මන්ද, දෙවියන් වහන්සේ සකල සත්වයන්ට කරුණාව දක්වන පිණිස, සකල සත්වයන් අකීකරුකම නමැති බන්ධනාගාරයෙහි තැබූ සේක.
Alleluia
Cf. Matthew 4:23
පාඨ අන්තර්ගතය ලබා ගත නොහැක.
Gospel
ශුද්ධ වූ මතෙව් 15:21-28
21ජේසුස් වහන්සේ එතැනින් නික්ම තීර් හා සීදොන් පෙදෙස්වලට වැඩිය සේක.
22එක් කානානිය ස්ත්‍රියක් ඒ පෙදෙස්වල සිට අවුත්, ”දාවිත්ගේ පුත්‍ර වූ ස්වාමීනි, මට අනුකම්පා කළ මැනව; මාගේ දුව බලවත් සේ දුෂ්ටාත්මාවේශ ව සිටින්නී ය”යි කියමින් මොරගැසුවා ය.
23එහෙත් උන් වහන්සේ ඇයට වචනයකින් වත් පිළිතුරු නුදුන් සේක. උන් වහන්සේගේ ශ්‍රාවකයෝ අවුත්, ”මේ ස්ත්‍රිය මොරගසමින් අප පස්සේ එන බැවින්, ඇයට යන්න කිව මැනවැ”යි උන් වහන්සේගෙන් ඉල්ලූ හ.
24උන් වහන්සේ කතා කරමින්, ”මා එවන ලද්දේ ඉශ්රායෙල් වංශයේ නැති වූ බැටළුවන් වෙත පමණකැ”යි වදාළ සේක.
25එහෙත්, ඈ අවුත් පසඟ පිහිටුවා උන් වහන්සේට වැඳ, ”ස්වාමීනි, මට පිහිට වුව මැනවැ”යි කීවා ය.
26උන් වහන්සේ උත්තර දෙමින්, ”දරුවන්ගේ කෑම ගෙන බල්ලන්ට දැමීම යුතු නැතැ”යි වදාළ සේක.
27එහෙත් ඈ කතා කොට, ”එසේ ය, ස්වාමීනි, බල්ලන් පවා තම ස්වාමිවරුන්ගේ මේසයෙන් වැටෙන කැබලි අවුලා කති”යි කීවා ය.
28එවිට ජේසුස් වහන්සේ උත්තර දෙමින්, ”ස්ත්‍රිය, ඔබේ ඇදහිල්ල මහත් ය. ඔබේ කැමැත්ත ලෙස ම ඔබට වේ වා”යි වදාළ සේක. ඒ මොහොතේ පටන් ඇගේ දුව සුවපත් වූවා ය.