කියවීම්
2026 අගෝස්තු 8
Memorial of Saint Dominic, Priest
දවසේ දේව මෙහෙය
Reading I
හබක්කුක් 1:12-2:4
12ස්වාමීනි, දඬුවම් කරන පිණිස විනිශ්චය කිරීමේ ආයුධයක් සේ ඔබ ම බබිලෝනිවරුන් තෝරාගෙන ඔවුන් පර්වතයක් මෙන් ශක්තිමත් කර ඇත. මාගේ දෙවි සමිඳුනි, මාගේ ශුද්ධ තැනැන් වහන්ස, ඔබ ආදියේ සිට අමරණීය දෙවියන් වහන්සේ නොවන සේක් ද?
13නපුර බලන්නට බැරි තරම් පවිත්‍ර ඇස් ඇති, වැරදි කරන අය නුරුස්සන ඔබ වහන්සේ, ද්‍රෝහීන් දෙස බලා සිටින්නේත්, දුෂ්ටයා තමාට වඩා දැහැමි තැනැත්තා විනාශ කරන විට ඔබ නිහඬ ව සිටින්නේත් මන් ද?
14ඔබ වහන්සේ මිනිසුන් මුහුදේ මත්ස්‍යයන් මෙන් ද මූලිකයෙකු නැති බඩගා යන සතුන් මෙන් ද සලකන්නේ මන් ද?
15බබිලෝනිවරු බිලිකටුවලින් මිනිසුන් අල්ලා ගනිති; දැල් දමා ඇදගෙන, අතංගුවෙන් ඔවුන් එකතුකර ඒ ගැන ප්‍රීති වෙමින් උදන් අනති.
16ඔව්හු දැල්වලට පූජා ද අතංගුවට සුවඳ දුම් ද ඔප්පු කරති. මන්ද, ඒවායින් ම සැප විහරණයෙන් කල් යවමින් පුෂ්ටිමත් ආහාර අනුභව කරන බැවිනි.
17මේ අයුරින් දැල් හිස් කරමින් නිර්දය ලෙස ජාතීන් විනාශ කිරීමට ඔබ ඉඩ හරින සේක් ද?
1මම මාගේ මුර අට්ටාලය උඩට නැඟ, බලකොටුව උඩ සිටගෙන, සමිඳාණන් වහන්සේ මට කියන්නේ කුමක් ද කියාත්, මාගේ පැමිණිල්ල ගැන දෙන පිළිතුර කුමක් ද කියාත් බලා සිටින්නෙමි.
2සමිඳාණන් වහන්සේ මට මෙසේ පිළිතුරු දුන් සේක: ”දර්ශනය ලියන්න; එය කියවන්න පුළුවන් වන පිණිස ගල් පුවරුවල පැහැදිලි ලෙස ලියන්න.
3එසේ කළ යුත්තේ දර්ශනය නියම කාලය වන තෙක් පමාවන බැවිනි. එහෙත්, එය නිෂ්ඵල නොවී වේගයෙන් ඉටුවනු ඇත. එය නොවරදවා පැමිණෙන්නේ ම ය.
4අදමිටු අය නොපවතින්නෝය; එහෙත්, දමිටු අය දෙවියන් වහන්සේ කෙරෙහි ඇති ඇදහිල්ලෙන් ජීවත් වන්නෝ ය.”
Responsorial Psalm
ගීතාවලිය 9:8-9, 10-11, 12-13
8එතුමාණෝ දැහැමිකමින් මුළු ලොව නඩු විසඳාලන සේක; ජාතීන් යුක්ති සහගත ලෙස විනිශ්චය කරන සේක.
9සමිඳාණෝ පීඩිතයන් හට උස් බලකොටුවකි; විපත්ති සමයෙහි මහ බලකොටුවකි.
10ඔබ පිළිගන්නෝ ඔබ විශ්වාස කරති. ඔබ සොයා එන්නන් ඔබ කිසි දා අත් නොහරින සේක.
11සියොන් ගිරෙහි වැඩ වසන සමිඳුන් හට ගී ගයන්න; මුළු ලොව හැම ජාතීන්ට සමිඳුන් කළ දෙය පවසන්න.
12දුක්ගැනවිලි ඇති කවරෙකු වත් එතුමාණෝ අමතක නොකරන සේක. වරද කරන කාටත් සමිඳුන්ගේ දඬුවම හිමි වේ.
13සමිඳුනි, මට කරුණා කළ මැනව. සතුරන්ගෙන් වූ මාගේ දැඩි දුක සලකාලුව මැනව. මරු මුවෙන් මා වෙන් කරගත මැනව.
Alleluia
2 තිමෝති 1:10
10එහෙත් මෙය දැන් එළිදරව් කරන ලද්දේ අපේ මිදුම්කාරයාණන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ ප්‍රකාශ වීමෙන් ය. උන් වහන්සේ මරණයේ බලය බිඳදමා, ජීවනයත්, අමරණීය භාවයත්, සුබ අස්න මඟින් හෙළි කර වදාළ සේක.
Gospel
ශුද්ධ වූ මතෙව් 17:14-20
14ඔවුන් සමූහයා ළඟට ආ කල, එක් මිනිසෙක් උන් වහන්සේ වෙත අවුත්, උන් වහන්සේ ඉදිරියෙහි දණින් වැටී,
15ස්වාමීනි, මාගේ පුත්‍රයාට අනුකම්පා කළ මැනව. ඔහු මීමැස්මොර රෝගයෙන් තදබල ලෙස පීඩා විඳියි; බොහෝ වර ගින්නෙහි ද වතුරෙහි ද වැටිණි;
16මම ඔහු ඔබගේ ශ්‍රාවකයන් වෙත ගෙනාවෙමි; එහෙත්, ඔහු සුවපත් කිරීමට ඔවුන්ට නුපුළුවන් වී ය”යි කී ය.
17ජේසුස් වහන්සේ උත්තර දෙමින්, ”අහෝ! ඇදහිල්ල නොමැති හිතුවක්කාර පරම්පරාව, මා කොපමණ කල් ඔබ සමඟ සිටින්න ද? කොපමණ කල් ඔබ ගැන ඉවසන්න ද? ඔහු මා වෙත ගෙනෙන්නැ”යි වදාළ සේක.
18ජේසුස් වහන්සේ දුෂ්ටාත්මයට තරවටු කළ සේක. එවිට දුෂ්ටාත්මය ඔහුගෙන් දුරු ව ගියේ ය. ඒ මොහොතේ පටන් ළමයා සුවපත් විය.
19එවිට ශ්‍රාවකයෝ පෞද්ගලික ව ජේසුස් වහන්සේ වෙතට අවුත්, ”ඒ දුෂ්ටාත්මය දුරු කරන්න අපට බැරි වූයේ මන්දැ”යි ඇසූහ.
20උන් වහන්සේ කතා කොට මෙසේ වදාළ සේක: ”ඔබගේ ඇදහිල්ල මදිකම නිසා ය. සැබැවින් ම මම ඔබට කියමි: අබ මල් රේණුවක් පමණ වත් ඇදහිල්ල ඔබට ඇත්නම් මේ කන්දට, ‘මෙතැනින් එතැනට යව’යි කීවොත් එය යන්නේ ය;