කියවීම්
2026 අගෝස්තු 23
Twenty-first Sunday in Ordinary Time
දවසේ දේව මෙහෙය
Reading I
යෙසායා 22:19-23
19සමිඳාණන් වහන්සේ නුඹේ නිලයෙන් නුඹ පහකර නුඹේ උසස් තත්ත්වයෙන් නුඹ පහතට හෙළාදමන සේක.”
20සමිඳාණන් වහන්සේ ෂෙබ්නාට මෙසේ වදාළ සේක: ”එසේ සිදු වූ විට හිල්කියාගේ පුත්‍ර වූ මාගේ මෙහෙකරු වන එලියාකිම්ට මම අඬගසන්නෙමි.
21නුඹේ නිල සළුව ඔහුට හඳවා, නුඹේ පටිය ඔහුගේ ඉඟටියේ බැඳ නුඹේ ආධිපත්‍යය මම ඔහුට පවරා දෙමි. ඔහු ජෙරුසලමේ සෙනඟටත්, ජුදාවේ වංශයටත් පියකු මෙන් වනු ඇත.
22දාවිත්ගේ වංශයේ නිල යතුරු ඔහුට දෙනු ලබන්නේ ය. ඔහු අරින දේ කිසිවෙක් නොවසන්නේ ය. ඔහු වසන දේ කිසිවෙක් නාරින්නේ ය.
23මම සවිකළ ඇණයක් මෙන් ඔහු සිය තනතුරෙහි තිරසර ලෙස පිහිටුවන්නෙමි. ඔහුගේ මුළු වංශයට ඔහු ගෞරවයක් වන්නේ ය.
Responsorial Psalm
ගීතාවලිය 138:1-2, 2-3, 6, 8
1සමිඳුනි, හද පත්ලෙන් ඔබට තුති කරන්නෙමි. දෙවිවරුන් ඉදිරියෙහි ඔබට ගී ගයා ඔබ පසසන්නෙමි.
2ඔබේ ශුද්ධ මාලිගාව දෙස බලා නමස්කාර කරමින් ඔබේ කරුණා ගුණය සහ විශ්වාසවන්තභාවය නිසා ඔබේ නාමයට තුති පුදන්නෙමි. ඔබේ නාමයත්, ආඥාත් උත්තරීතර බව ඔබ පෙන්වූ සේක.
3මා ඔබ යැදි දවසේ දී ඔබ මට පිළිතුරු දුන් සේක; මාගේ සිත සවි කොට, මට ධෛර්යය දුන් සේක.
6සමිඳාණෝ උසස් නමුත්, පහත් අය සලකන සේක. එහෙත්, උඩඟු අය දුර සිට ම හැඳිනගන්න සේක.
8සමිඳාණෝ මා සම්බන්ධ ව අදහස් කරන දේ ඉටු කරන සේක. සමිඳුනි, ඔබේ ප්‍රේමය සදා පවත්නේ ය. ඔබ ඇරඹුවා වූ දේ නිම කළ මැනව.
Reading II
රෝම 11:33-36
33දෙවියන් වහන්සේගේ වරප්‍රසාද සම්භාරය කෙතරම් විශාල ද? උන් වහන්සේගේ ප්‍රඥාව සහ ඥානය කෙතරම් ගැඹුරු ද? උන් වහන්සේගේ විනිශ්චයන් කෙතරම් අචින්ත්‍ය ද? උන් වහන්සේගේ ක්‍රියා මාර්ග කෙතරම් වර්ණනා විෂයාතික්‍රාන්ත ද? ශුද්ධ ලියවිල්ලෙහි මෙසේ කියා ඇත:
34සමිඳාණන් වහන්සේගේ සිත තේරුම්ගත්තේ කවරෙක් ද? උන් වහන්සේට පුරෝහිතයා වූයේ කවරෙක් ද?
35උන් වහන්සේගෙන් ප්‍රතිඵලයක් ලබන පිණිස පළමුකොට උන් වහන්සේට යමක් දුන්නේ කවරෙක් ද?”
36මන්ද සියල්ල මවා වදාරන්නේ උන් වහන්සේ ය; සියල්ල රක්ෂා කරන්නේ උන් වහන්සේ ය; සියල්ල අර්ථාන්විත කරන්නේ උන් වහන්සේ ය. උන් වහන්සේට සදහට ම මහිමය වේ වා! ආමෙන්.
Alleluia
ශුද්ධ වූ මතෙව් 16:18
18මම ඔබට කියමි: ඔබ පේදුරු ය. මේ පර්වතය පිට මාගේ සභාව ගොඩනඟන්නෙමි. පාතාලයේ දොරටුවලට වුව ද, එය පරාජය නොකළ හැකි ය.
Gospel
ශුද්ධ වූ මතෙව් 16:13-20
13ජේසුස් වහන්සේ පිලිප්පි කායිසාරියේ පෙදෙස්වලට පැමිණි කල, ”මනුෂ්‍ය-පුත්‍රයාණෝ කවරෙක් ය කියා මිනිස්සු කියත් දැ”යි සිය ශ්‍රාවකයන්ගෙන් ඇසූ සේක.
14ඔව්හු කතා කොට, ”සමහරෙක්, ‘ස්නාවක ජොහන් ය’ කියා ද සමහරෙක්, ‘එලියා ය’ කියා ද, අන් සමහරෙක් ‘ජෙරෙමියා නොහොත් දිවැසිවරයන්ගෙන් කෙනෙක් ය’ කියා ද කියති”යි කී හ.
15එහෙත් ඔබ මා කවරෙකු කියා කියන්නහු දැ”යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක.
16සීමොන් පේදුරු උත්තර දෙමින්, ”ඔබ ක්‍රිස්තුවරයාණෝ ය, ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ය”යි කී ය.
17ජේසුස් වහන්සේ උත්තර දෙමින්, ”ජෝනාගේ පුත් සීමොන්, ඔබ ඉතා භාග්‍යවන්ත ය. මන්ද, ස්වර්ගයෙහි වැඩවසන මාගේ පියාණන් වහන්සේ විසින් මිස මනුෂ්‍ය මඟකින් මෙය ඔබට එළිදරව් නොකරන ලද්දේ ය.
18මම ඔබට කියමි: ඔබ පේදුරු ය. මේ පර්වතය පිට මාගේ සභාව ගොඩනඟන්නෙමි. පාතාලයේ දොරටුවලට වුව ද, එය පරාජය නොකළ හැකි ය.
19ස්වර්ග රාජ්‍යයේ යතුරු ඔබට දෙන්නෙමි. ඔබ පොළොවෙහි දී යමක් බඳින්නෙහි ද, එය ස්වර්ගයෙහි දී බඳිනු ලබන්නේ ය. ඔබ පොළොවෙහි දී යමක් මුදන්නෙහි ද එය ස්වර්ගයෙහි දී මුදනු ලබන්නේ ය”යි වදාළ සේක.
20තවද, තමන් ක්‍රිස්තුන් වහන්සේ බව කිසිවෙකුට නොකියන ලෙස උන් වහන්සේ ශ්‍රාවකයන්ට අණ දුන් සේක.