කියවීම්
2026 අගෝස්තු 20
Memorial of Saint Bernard, Abbot and Doctor of the Church
දවසේ දේව මෙහෙය
Reading I
එසකියෙල් 36:23-28
23ජාතීන් අතරෙහි කෙලෙසී ඇති නුඹලා විසින් ඔවුන් අතරෙහි කෙලෙසනු ලැබූ මාගේ උදාර නාමය විශුද්ධ කරන්නෙමි. මා විශුද්ධ බව නුඹලා කරණකොටගෙන විජාතීන්ගේ ඇස් හමුයෙහි ප්‍රකාශ වන කල මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇතැ යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.
24එසේ ය, විජාතීන් අතරෙන් නුඹලා රැගෙන, සියලු දේශවලින් නුඹලා රැස් කර නුඹලාගේ ම රටට ගෙනෙන්නෙමි.
25නුඹලා පිරිසිදු වන ලෙස මම නුඹලා කෙරෙහි පිරිසිදු දිය ඉසින්නෙමි. නුඹලාගේ සියලු අපවිත්‍රකම්වලින් ද නුඹලාගේ සියලු දේවරූපවලින් ද නුඹලා පිරිසිදු කරන්නෙමි.”
26මම අලුත් හදක් නුඹලාට දී, අලුත් සිතක් නුඹලා තුළ මවා, නුඹලාගේ මුරණ්ඩු ගල් සිත පහකොට කීකරු සිතක් නුඹලාට දෙන්නෙමි.
27මාගේ ආත්මානුභාවය නුඹලා තුළ නිදන් කොට, නුඹලා මාගේ පණත් අනුව හැසිර මාගේ නියමයන් හරියාකාර ඉටු කරන්න සලස්වන්නෙමි.
28මා විසින් නුඹලාගේ පියවරුන්ට දෙන ලද දේශයෙහි නුඹලා වාසය කොට මාගේ ම සෙනඟ ව සිටිනු ඇත. මම ද නුඹලාගේ දෙවියන් වහන්සේ වන්නෙමි.
Responsorial Psalm
ගීතාවලිය 51:12-13, 14-15, 18-19
12විමුක්තියේ ප්‍රීතිය මට යළි දුන මැනව; අවනත සිතක් දී මා දැරුව මැනව.
13එවිට මම අපරාධකරුවන්ට ඔබ මඟ පහදා දෙන්නෙමි; පව්කරුවන් ඔබ වෙත හරවාගෙන එන්නෙමි.
14දෙවිඳුනි, මා ගැළවුම්කාර දෙවිඳුනි, මිනී මැරීමේ අපරාධයෙන් මා මුදාලුව මැනව. එවිට ඔබේ දැහැමි ක්‍රියා ගැන මම උස් හඬින් ගීත ගයන්නෙමි.
15සමිඳුනි, ගී ගැයුමේ වරම මට දුන මැනව. එවිට මා මුවින් ඔබ පැසසුම් ගයන්නෙමි.
18සියොන් ගිරට ඔබ කරුණාව පා සෙත සැලසුව මැනව; ජෙරුසලමේ කොටු පවුරු යළි ඉදි කළ මැනව.
19එකල, දවන යාග පූජා වන නියමිත පඬුරුවලට ඔබ ප්‍රිය වන සේක. එවිට ඔබේ පුදසුන මත ඔව්හු ගව පූජා පුදන්නෝ ය.
Alleluia
ගීතාවලිය 95:8
8පාළුකරයේ මස්සා නම් ස්ථානයේ සිටි දවසේ දී මෙන් ද මෙරිබා නම් ස්ථානයේ දී මෙන් ද ඔබේ සිත් දැඩි කර නොගන්න.
Gospel
ශුද්ධ වූ මතෙව් 22:1-14
1යළිත්, උන් වහන්සේ සෙනඟට කතා කරමින් උපමා මඟින් මෙසේ වදාළ සේක:
2ස්වර්ග රාජ්‍යය මෙවැන්නකට උපමා කළ හැකි ය. එක්තරා රජෙක් තමාගේ පුත්‍රයාට සරණ මංගල්‍යයක් පිළියෙළ කෙළේ ය.
3ඔහු සරණ මංගල්‍යයට ආරාධිතයන් කැඳවාගෙන එන පිණිස දාසයන් යැවී ය. එහෙත්, ඔව්හු එන්න අකමැති වූ හ.
4යළිත් ඔහු වෙන දාසයන් යවා, ‘මෙන්න, මාගේ මංගල භෝජනය පිළියෙළ කර තිබේ. ගොනුන් හා තර කළ සතුන් මරා, කෑම සාදා ඇත. හැම දෙය ම සූදානම් ව තිබේ. මංගල්‍යයට එන්න කියා ආරාධිතයන්ට කියන්නැ’යි කී ය.
5එහෙත්, ඔව්හු එය නොසලකා, කෙනෙක් තමාගේ කෙතටත්, තව කෙනෙක් තමාගේ වෙළඳාමටත් ගියහ.
6සෙස්සෝ ඔහුගේ දාසයන් අල්ලා, ඔවුන්ට නිග්‍රහ කොට, මැරූ හ.
7රජතුමා උදහස් වී, තමාගේ යුද්ධ සේනා යවා ඒ මිනීමරුවන් විනාශ කොට ඔවුන්ගේ නුවර ගිනි ලැවී ය.
8එවිට ඔහු තම දාසයන්ට කතා කොට, ‘මංගල්‍යය සූදානම් කර තිබේ. එහෙත්, ආරාධිතයෝ සුදුස්සෝ නොවෙති.
9එබැවින් ඔබ මංසන්ධිවලට ගොස් හමු වන සියල්ලන් මංගල්‍යයට කැඳවා ගෙනෙන්නැ’යි කී ය.
10ඒ දාසයෝ මාවත්වලට ගොස් හමු වූ යහපත් අයහපත් දෙගොල්ල ම රැස් කළහ. අමුත්තන්ගෙන් මඟුල් මඩුව පිරී ගියේ ය.
11එහෙත්, රජතුමා අමුත්තන් බැලීමට පැමිණි කල, එහි මඟුල් ඇඳුම් නොහැඳ සිටි මිනිසෙකු දැක,
12‘මිත්‍රය, මඟුල් ඇඳුමක් නොහැඳ මෙතැනට ආවේ කෙසේ දැ’යි ඔහුගෙන් ඇසී ය. ඔහු නිහඬ විය.
13එවිට රජතුමා කතා කොට, ‘මොහුගේ අත් පා බැඳ, පිටත අන්ධකාරයෙහි දමන්න; එහි දී විලාප කීමත් දත්මිටි කෑමත් වන්නේ ය’යි සේවකයන්ට කී ය.
14මන්ද, කැඳවනු ලැබුවෝ බොහෝ ය. තෝරාගනු ලැබුවෝ ස්වල්ප ය.”