කියවීම්
2026 අගෝස්තු 31
Monday of the Twenty-second Week in Ordinary Time
දවසේ දේව මෙහෙය
Reading I
1 කොරින්ති 2:1-5
1සහෝදරයෙනි, මා ඔබ වෙත පැමිණ දෙවියන් වහන්සේ පිළිබඳ සාක්ෂිය ප්‍රකාශ කළේ, චතුර කථිකත්වයක් හෝ ප්‍රඥාවක් හෝ පෙන්වමින් නොවේ.
2මා ඔබ අතර සිටිය දී, මාගේ එක ම අධිෂ්ඨානය වූයේ අන් හැම දෙයක් ම අමතක කර, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ හා උන් වහන්සේගේ කුරුසිගතවීම ගැන පමණක් සිතීම ය.
3මම දුර්වලකමින් ද බියෙන් ද අධික තැතිගැනීමෙන් ද ඔබ සමඟ සිටියෙමි.
4මාගේ කතාව හා දෙසුම මා ප්‍රකාශ කෙළේ සිත් පොළඹවන සුලු, ප්‍රඥාවන්ත වචනවලින් නොව, ආත්මයාණන් වහන්සේගේ බලයෙනි,
5එසේ වූයේ ඔබගේ ඇදහිල්ල මිනිස් ප්‍රඥාව මත නොව දෙවියන් වහන්සේගේ බලය මත පිහිටන පිණිස ය.
Responsorial Psalm
ගීතාවලිය 119:97, 98, 99, 100, 101, 102
97ඔබේ ව්‍යවස්ථාවට මම කොපමණ ප්‍රේම කරම් ද? එය මාගේ දෛනික භාවනාව වේ.
98ඔබේ ආඥා නිතර ම මා සමඟ ය. එයින් මාගේ සතුරන්ට වඩා මම පැණවත් වෙමි.
99මාගේ සියලු ඇදුරන්ට වඩා මට නැණනුවණ ඇත්තේ ය. මාගේ භාවනාව ඔබේ ශික්ෂා ගැන ම ය.
100මා ඔබේ නියෝග රක්ෂා කළ බැවින් වැඩිහිටියන්ට වඩා තේරුම් පැහැදුම් මට ඇත්තේ ය.
101ඔබේ වචනය පිළිපදින පිණිස සියලු වැරදි මාර්ගවලින් මාගේ පාද වළක්වාගතිමි.
102ඔබේ නියමයන්ගෙන් ඉවත් ව නොගියෙමි. ඔබ ම මට ඒවා ඉගැන්වූ සේක.
Alleluia
ශුද්ධ වූ ලූක් 4:18
18සමිඳාණන් වහන්සේගේ ආත්මය මා කෙරෙහි ඇත. මක්නිසා ද දිළිඳුන් හට සුබ ආරංචිය දේශනා කරනු වස්, උන් වහන්සේ මා ආලේප කළ සේක. වහලුන්ට මිදීම ද අන්ධයන්ට පෙනීම ද ලැබෙන බව දන්වන්ටත්, පීඩිත වූවන් මුදන්ටත්,
Gospel
ශුද්ධ වූ ලූක් 4:16-30
16උන් වහන්සේ තමන් ඇතිදැඩි වූ නාසරෙත් නුවරට පැමිණ සිරිත් පරිදි සබත් දවසේ දී ධර්මශාලාවට වැඩම කර කියවීම පිණිස නැඟිට සිටි සේක.
17එවිට දිවැසිවර යෙසායාගේ ග්‍රන්ථය උන් වහන්සේට දෙන ලද්දේ ය. උන් වහන්සේ ග්‍රන්ථය දිගහැර, මෙසේ ලියා ඇති තැන සොයාගත් සේක:
18සමිඳාණන් වහන්සේගේ ආත්මය මා කෙරෙහි ඇත. මක්නිසා ද දිළිඳුන් හට සුබ ආරංචිය දේශනා කරනු වස්, උන් වහන්සේ මා ආලේප කළ සේක. වහලුන්ට මිදීම ද අන්ධයන්ට පෙනීම ද ලැබෙන බව දන්වන්ටත්, පීඩිත වූවන් මුදන්ටත්,
19සමිඳාණන් වහන්සේගේ ප්‍රසාදය ලත් වසර ප්‍රකාශ කරන්ටත් මා එවා වදාළ සේක.”
20උන් වහන්සේ එය කියවා, ග්‍රන්ථය අකුළා, උපස්ථායක තැනට දී වැඩහුන් සේක. එකල ධර්මශාලාවෙහි සිටි සියල්ලෝ උන් වහන්සේ කෙරෙහි නෙත් යොමා සිටියහ.
21උන් වහන්සේ ඔවුන්ට කතා කරන්න පටන් ගෙන, ”අද ඔබ සවන් දී සිටිය දී ම මේ ශුද්ධ ලියවිලි පාඨය ඉෂ්ට වී ය”යි වදාළ සේක.
22සියල්ලෝ ම උන් වහන්සේට ප්‍රශංසා කරමින්, උන් වහන්සේගේ මුවින් පහළ වූ කාරුණික වචන ගැන පුදුම ව, ”මේ ජෝසෙප්ගේ පුතා නොවේ දැ”යි කී හ.
23එවිට උන් වහන්සේ කතා කොට, ” ‘වෙද තුමාණෙනි, ඔබ, ඔබම සුව කරගන්න’ යන ප්‍රස්තා පිරුළ ඔබ නිසැක ව ම මට ගෙන හැර පා,
24‘කපර්ණවුමෙහි දී ඔබ විසින් කරන ලදැ යි අප ඇසූ ක්‍රියා ඔබේ උපන් ගම වන මෙහිදීත් කරන්නැ’යි මට කියනු ඇත. සැබැවින් ම මම ඔබට කියමි, ගමේ දිවැසිවරයා ගමට අගේ නැත.
25සහතික ලෙස මම ඔබට කියමි, එලියාගේ කාලයේ දී තුන් අවුරුදු සමසක් මුළුල්ලෙහි අහස පියවී, රට පුරා දැඩි සාගතයක් පැවති අතර,
26ඉශ්රායෙල් රටේ බොහෝ වැන්දඹුවන් සිටි නමුත්, සීදොන් පළාතෙහි ශාරෙපත්හි වැන්දඹුව වෙත මිස අන් කිසිවෙකු වෙතට එලියා නොයවන ලද්දේ ය.
27දිවැසිවර එලිෂාගේ කාලයේ දී ඉශ්රායෙල් රටේ බොහෝ කුෂ්ඨ රෝගීන් සිටි නමුත්, සිරියානු ජාතික නාමන් මිස අන් කිසිවෙක් සුවය නොලැබී ය”යි වදාළ සේක.
28ධර්මශාලාවෙහි සිටි මුළු සමූහයා ඒ අසා කෝපාවිෂ්ට වූ හ.
29ඔව්හු වහා නැඟිට උන් වහන්සේ නුවරින් පිටතට නෙරපා, ප්‍රපාතයට හෙළනුවස් ඔවුන්ගේ නුවර ගොඩනඟා තිබුණු කන්ද අද්දරට ගෙන ගියහ.
30එහෙත් උන් වහන්සේ ජනකාය මැදින් ගමන් කර නික්ම ගිය සේක.