කියවීම්
2026 අගෝස්තු 22
Memorial of the Queenship of the Blessed Virgin Mary
දවසේ දේව මෙහෙය
Reading I
එසකියෙල් 43:1-7
1තවද, ඔහු නැගෙනහිර දෙසට තිබුණු දොරටුව ළඟට මා ගෙන ගියේ ය.
2එවිට ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේගේ තේජාලංකාරය නැගෙනහිර දිශාවෙන් පැමිණෙනු දිටිමි. උන් වහන්සේගේ ශබ්දය බොහෝ ජල ඝෝෂාවක ශබ්දය මෙන් විය. පොළොව ද උන් වහන්සේගේ තේජාලංකාරයෙන් බැබළුණේ ය.
3මා දුටු දර්ශනය නම්, මා නුවර විනාශ කරන්න එද්දී මා දුටු දර්ශනය හා සමාන ය. ඒ දර්ශනය කෙබාර් ඉවුරේ මා දුටු දර්ශනය හා සමාන ය. එවිට මම මුණින්තළා වී වැටුණෙමි.
4සමිඳාණන් වහන්සේගේ තේජාලංකාරය නැගෙනහිර දෙසට තිබුණු දොරටුවේ මාර්ගයෙන් ගෘහයට ඇතුළු විය.
5එවිට ආත්මානුභාවය මා ඔසවාගෙන ඇතුළු මළුවට මා පැමිණෙව්වේ ය. මාලිගාව සමිඳාණන් වහන්සේගේ තේජාලංකාරයෙන් පිරී තිබෙන බව දිටිමි.
6මනුෂ්‍යයෙක් ද මා ළඟ සිටියේ ය. කෙනෙකු මාලිගාවේ සිට මට කතා කරනු මට ඇසිණි. ඒ හඬ මා අමතා,
7මනුෂ්‍ය පුත්‍රය, මෙය මාගේ සිංහාසනය ඇති ස්ථානය ය. මා වැඩමකරන ස්ථානය ය. මම මෙහි ඉශ්රායෙල්වරුන් අතරෙහි සදාකාලේට ම වාසය කරන්නෙමි. ඉශ්රායෙල් වංශයටත්, ඔවුන්ගේ රජවරුන්ටත් තමන්ගේ වේශ්‍යාකම්වලින් ද තමන්ගේ රජවරුන්ගේ මළකඳන් වැළලීමෙන් ද මාගේ සුවිශුද්ධ නාමය අපවිත්‍ර කරන්නට තවත් ඉඩ නොදෙන්නෙමි.
Responsorial Psalm
ගීතාවලිය 85:9, 10, 11-12, 13-14
9එතුමන් හට ගරුබිය පාන අයට ගැළවීම ඉතා සමීප ව ඇත්තේ ය. සත්තට ම එතුමන්ගේ මහිමාලංකාරය අප රටෙහි බබළන්නේ ය.
10තිර පෙම සහ විශ්වාසවන්තකම හමු වන්නේ ය. දැහැමි බව සහ සාමය වැළඳ ගන්නේ ය.
11විශ්වාසවන්තකම මිහි තලයෙන් ඉහළට නඟින්නේ ය. දැහැමි බව සගලොවින් පහළට බසින්නේ ය.
12සමිඳාණෝ අප සමෘද්ධිමත් කරන සේක. අපේ දේශය එහි පලදාව නිපදවන්නේ ය.
13දැහැමි බව එතුමන්ට පෙරටු ව යන්නේ ය. එතුමන්ගේ පා සළකුණු මාර්ගයක් වන්නේ ය.
Alleluia
ශුද්ධ වූ මතෙව් 23:9, 10
9මිහි පිට කිසිවෙකුට ‘පියාණෝ’ යි නොකියන්න. ඔබට ඇත්තේ ස්වර්ගයෙහි වැඩ වසන එක ම පියාණන් වහන්සේ ය.
10ඔබ ‘නායකයෝ’ යි කියවා නොගන්න. ඔබගේ නායකයාණෝ එක් කෙනෙක් ම ය, එනම්, ක්‍රිස්තුන් වහන්සේ ය.
Gospel
ශුද්ධ වූ මතෙව් 23:1-12
1එකල ජේසුස් වහන්සේ සමූහයාටත්, සිය ශ්‍රාවකයන්ටත් කතා කොට මෙසේ වදාළ සේක:
2විනයධරයෝ ද පරිසිවරු ද මෝසෙස්ගේ ව්‍යවස්ථාවලිය පිළිබඳ බලය ලත් අටුවාචාරීහු වෙති.
3එබැවින් ඔවුන් ඔබට අණ කරන සියල්ල නොපිරිහෙළා පිළිපදින්න. එහෙත්, ඔවුන්ගේ ක්‍රියා අනුව නොයන්න. ඔව්හු එකක් කියති, අනිකක් කරති.
4ඔව්හු ඉසිලිය නොහැකි මහ බර පොදි බැඳ මිනිසුන්ගේ කරේ තබති. එහෙත්, ඒ බර පොදි ඉසිලීමට සුළැඟිල්ලක තරම වත් ආධාරයක් දීමට කැමැති නොවෙති.
5ඔවුන් හැම දෙය ම කරන්නේ මිනිසුන්ට පෙනෙන පිණිස ය. ඔව්හු ශුද්ධ ලියවිලි පාඨ සඳහන් බඳන පළල් කරගෙන නළලෙහි ද බාහුවල ද පළඳිති. වස්ත්‍රවල දාවලු මහත් කරති.
6මංගල්‍යය භෝජනවල දී මූලාසනයට ද ධර්මශාලාවල දී ප්‍රධාන අසුන්වලට ද,
7වෙළඳ පොළවල දී ගෞරවාචාර ලැබීමට ද, මිනිසුන් විසින් ‘ගුරුදේව’ කියා අමතනු ලැබීමට ද ප්‍රිය කරති.
8එහෙත්, ඔබ ‘ගුරුදේව’ යයි කියවා නොගන්න. ඔබගේ ගුරුදේවයාණෝ එක් කෙනෙක් ම ය. ඔබ කවුරුත් සහෝදරයෝ ය.
9මිහි පිට කිසිවෙකුට ‘පියාණෝ’ යි නොකියන්න. ඔබට ඇත්තේ ස්වර්ගයෙහි වැඩ වසන එක ම පියාණන් වහන්සේ ය.
10ඔබ ‘නායකයෝ’ යි කියවා නොගන්න. ඔබගේ නායකයාණෝ එක් කෙනෙක් ම ය, එනම්, ක්‍රිස්තුන් වහන්සේ ය.
11එහෙත්, ඔබ අතරෙන් ඉතා උතුම් තැනැත්තා ඔබගේ සේවකයා වන්නේ ය.
12තමා ම උසස් කරගන්නා කවරෙකු වුව ද, පහත් කරනු ලබන්නේ ය; තමා ම පහත් කරගන්නා කවරෙකු වුව ද, ඔහු උසස් කරනු ලබන්නේ ය.