අගෝස්තු 2026

බ්‍ර සි සෙ
1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

කියවීම්

2026 අගෝස්තු 2

Eighteenth Sunday In Ordinary Time

දවසේ දේව මෙහෙය
Reading I

යෙසායා 55:1-3

1පිපාසා ඇති සියල්ලෙනි, ඇල දොළ වෙත පැමිණෙන්න; මුදල් නැති තැනැත්තෙනි, එන්න, අරගන්න, වළඳන්න. එන්න, මිදියුස හා කිරි ගන්න, නොමිලේ ම ලබාගන්න. 2කෑමක් නොවන දේට මුදල් ගෙවන්නේ කුමට ද? තෘප්තිය නොදෙන දේට වෙහෙස වන්නේ මන් ද? මා හට සවන් දී, මා කී දේ කර, හොඳ ම ආහාර වළඳා පෝෂණය වී ප්‍රීති වන්න.” 3මට සවන් දී, මා වෙත එන්න; අවුත් ජීවනය ලබාගන්න; දාවිත්ට මා ප්‍රේම කළාක් මෙන් ම නුඹටත් ප්‍රේම කරන ලෙසට සදහට ම පවතින ගිවිසුමක් නුඹ සමඟ කරන්නෙමි.
Responsorial Psalm

ගීතාවලිය 145:8-9, 15-16, 17-18

8සමිඳාණෝ දයාවන්ත ය. අනුකම්පාවෙන් පූර්ණ ය; වහා නොකිපෙන සුලු ය; තිරසර පෙමින් යුතු ය. 9සමිඳාණෝ සියල්ලන්ට කරුණාව පාන සේක; එතුමන්ගේ සුමුදු දයාව මවන ලද සියල්ල ද වෙත පැතිරෙයි. 15සියල්ලන්ගේ දෙනෙත් ඇවිටිල්ලෙන් ඔබ දෙස යොමු කර තිබේ. ඔබ ද සුදුසු කාලයේ දී ඔවුන්ට ආහාර දෙන සේක. 16ඔබ සිය හස්තය විදහා පාන සේක; ජීවමාන සියල්ලන්ගේ ආසාවන් සපුරාලන සේක. 17සමිඳාණෝ සැම අතින් ම සාධාරණ ය, එතුමන්ගේ සියලු ක්‍රියා දයාන්විත ය. 18අයැදින සියල්ලන්ට සමිඳාණෝ ළං ව සිටින සේක. අවංක සිතින් යදින්නන්ට ආසන්න ව සිටින සේක.
Reading II

රෝම 8:35, 37-39

35ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේමයෙන් අප වෙන් කළ හැකි කිසිවක් ඇද් ද? විපතට වත්, දුක් වේදනාවට වත්, පීඩාවට වත්, සාගින්නට වත්, දුගී බවට වත්, උවදුරට වත්, කඩුවට වත් අප වෙන් කළ හැකි ද? 37එහෙත් අපට ප්‍රේම කළ තැනැන් වහන්සේ නිසා අපි මේ සියල්ලේ දී ම විජයග්‍රාහී වෙමු. 38මන්ද, මරණයට වත්, ජීවිතයට වත්, දේව දූතයන්ට වත්, භූතාධිපතීන්ට වත්, බලධාරීන්ට වත්, දැන් තිබෙන කිසිවකට වත්, මතු පැමිණෙන කිසිවකට වත්, 39අතී උසට වත්, මහා ගැඹුරට වත්, මුළු විශ්වයෙහි අන් කිසි මැවිල්ලකට වත් අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ තුළ ඇති දේව ප්‍රේමයෙන් අප වෙන් කළ නොහැකි බව මම ඒකාන්තයෙන් ම දනිමි.
Alleluia

ශුද්ධ වූ මතෙව් 4:4

4උන් වහන්සේ උත්තර දෙමින්, ” ‘මිනිසා ජීවත් වන්නේ කෑමෙන් පමණක් නොව; දෙවියන් වහන්සේගේ මුවින් නික්මෙන සියලු වචන වලින් ය’ කියා ලියා ඇතැ”යි වදාළ සේක.
Gospel

ශුද්ධ වූ මතෙව් 14:13-21

13ජේසුස් වහන්සේ ඒ අසා එතැනින් නික්ම, ඔරුවකින් හුදකලා තැනකට වෙන් ව වැඩිය සේක. ජනකාය ඒ අසා නුවරවලින් පිටත් ව අවුත් උන් වහන්සේ පස්සේ පයින් ගියහ. 14උන් වහන්සේ ගොඩ බැස, විශාල ජනකායක් දැක, ඔවුන් කෙරෙහි අනුකම්පා කොට, ඔවුන්ගේ රෝගීන් සුවපත් කළ සේක. 15සවස් වූ කල ශ්‍රාවකයෝ උන් වහන්සේ වෙත අවුත්, ”මෙය පාළු තැනකි; දැන් රෑ බෝ වී ඇත; ගම්වලට ගොස්, කෑම මිලට ගන්නා පිණිස, සමූහයා යන්න හැරිය මැනවැ”යි කී හ. 16ඔවුන් යවන්නට වුවමනාවක් නැත; ඔබ ඔවුන්ට කන්න දෙන්නැ”යි ජේසුස් වහන්සේ ඔවුන්ට වදාළ සේක. 17ඔව්හු ද, ”අප ළඟ මෙහි ඇත්තේ රොටි පහකුත් මසුන් දෙදෙනෙකුත් පමණකැ”යි උන් වහන්සේට කී හ. 18ඒවා මෙහි මා වෙත ගෙනෙන්නැ”යි උන් වහන්සේ වදාළ සේක. 19තණ කොළ මත හිඳගන්නට ජනකායට අණ කොට, උන් වහන්සේ රොටි පහත්, මසුන් දෙදෙනාත් ගෙන, ස්වර්ගය දෙස බලා ආශීර්වාදය පවසා, රොටි කඩා ශ්‍රාවකයන්ට දුන් සේක. ශ්‍රාවකයෝ ද එය සෙනඟට දුන්හ. 20හැම දෙනම කා තෘප්තියට පැමිණියහ. ඔව්හු ඉතිරි කැබලි එක් කොට කූඩා දොළසක් පුරවාගත්හ. 21ස්ත්‍රීන් හා දරුවන් හැර, කෑම කෑ පුරුෂයෝ පන්දහසක් පමණ වූ හ.