කියවීම්
2027 ජූලි 29
Martha, Disciple of the Lord Obligatory Memorial
දවසේ දේව මෙහෙය
First Reading
නික්මයාම 40: 16-21, 34-38
16සමිඳාණන් වහන්සේ ඔහුට අණ කළ ප්‍රකාරයට ම මෝසෙස් සියල්ල ඉටු කෙළේ ය.
17මෙලෙස ඔවුන් මිසර දේශයෙන් නික්ම පැමිණි දෙ වන අවුරුද්දේ පළමු වන මාසයේ පළමු වන දවසේ දී මණ්ඩපය ඉදි කරන ලදී.
18මෝසෙස් ද මණ්ඩපය ඉදි කොට, එහි තවු සවි කර, ලෑලි ගසා, හරස් ලී දමා, එහි කුළුණු කෙළින් කෙළේ ය.
19සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ ලෙස ඔහු මණ්ඩපය මතුපිටින් කූඩාරම අතුරා ඊට උඩින් කූඩාරම් ආවරණය තැබී ය.
20පසුව ඔහු දස පණතේ ගල් පුවරු කරඬුවට දමා ගිවිසුම් කරඬුවට පොලු යොදා, එය මත කරුණාසනය තැබී ය.
21ඉන්පසු ඔහු සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි ගිවිසුම් කරඬුව මණ්ඩපය තුළට ගෙනැවිත්, තිරය එල්ලා ගිවිසුම් කරඬුව වසාදැමී ය.
34එවිට වලාකුළක් බැස සම්මුඛ මණ්ඩපය වසාගත්තේ ය. මණ්ඩපය සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරයෙන් පිරී ගියේ ය.
35වලාකුළ මණ්ඩපය වසාගෙන සිටි බැවිනුත්, සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරයෙන් එය පිරී ගිය බැවිනුත් මෝසෙස්ට ඊට ඇතුළු වීමට නොහැකි විය.
36ඉශ්රායෙල් ජනයා කඳවුරින් කඳවුරට යන විට, ඔවුන් පිටත් ව ගියේ වලාකුළ මණ්ඩපයෙන් ඔසවනු ලැබූ විට පමණ ය.
37එහෙත්, වලාකුළ ඔසවනු නොලැබූවේ නම් එය ඔසවනු ලබන දින තෙක් ඔව්හු නික්ම නොගියහ.
38මුළු ඉශ්රායෙල් සෙනඟ කඳවුරින් කඳවුරට යන විට ඔවුන්ට පෙනෙන පරිදි සම්මුඛ මණ්ඩපය මත, දවල් කාලයේ දී සමිඳාණන් වහන්සේගේ වලාකුළ ද රාත්‍රි කාලයේ දී ගින්න ද දෘශ්‍යමාන විය.
Responsorial Psalm
ගීතාවලිය 84: 3, 4, 5-6a and 8a, 11
3සව් බලැති දෙවිඳුනි, මාගේ රජාණන් වන දෙවිඳුනි, ගේ කිරිල්ලිය ගෙයක් ද වැහිලිහිණිය ඇගේ පැටවුන් දැමීමට කැදැල්ලක් ද ඔබේ පූජාසනයෙහි සොයාගෙන ඇත.
4ඔබේ ගෘහයෙහි වසන්නෝ කොපමණ වාසනාවන්ත ද? ඔව්හු නිරතුරු ඔබට පසස් ගී ගයන්නෝ ය.
5වන්දනාවේ යන පිණිස සිත යොමු කරගත්, ඔබ සරණ කොටගත් අය කොපමණ වාසනාවන්ත ද?
6ඔව්හු වැලපීමේ මිටියාවත මැදින් යන කල එය උල්පත් සහිත ස්ථානයක් කරගනිති. පළමු වන වැහි වලාව එය දිය කඩිතිවලින් පුරවන්නේ ය.
8සමිඳුනි, සව් බලැති දෙවිඳුනි, මා අයැදුම ඇසුව මැනව. අහෝ ජාකොබ්ගේ දෙවිඳුනි! මට සවන් දුන මැනව.
11සමිඳාණෝ පවුර ද පලිහ ද වන සේක; අපට කරුණාවත්, මහිමයත් පෙන්වමින් ආශීර්වාද කරන සේක; නිදොස් ලෙස හැසිරෙන අයට සෑම යහපතක් දෙන සේක.
Alleluia
ශුද්ධ වූ ජොහන් 8: 12
12යළිත් අවස්ථාවක ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට, ”ලෝකයේ ආලෝකය මම ය; මා අනුගමනය කරන්නා අඳුරෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේ ය”යි වදාළ සේක.
Gospel
ශුද්ධ වූ ජොහන් 11: 19-27 or Luke 10: 38-42
19මාර්තාගේ හා මරියාගේ සහෝදරයාගේ මරණය ගැන අසා, ඔවුන් සනසන පිණිස ජුදෙව්වරුන්ගෙන් බොහෝ දෙනෙක් පැමිණ සිටියහ.
20ජේසුස් වහන්සේ වඩින බව මාර්තාට ආරංචි වූ විට, ඈ උන් වහන්සේ හමුවන්නට පෙරමඟට ගියා ය. එහෙත් මරියා ගෙදර නැවතී සිටියා ය.
21මාර්තා කතා කරමින්, ”ස්වාමීනි, ඔබ වහන්සේ මෙහි සිටි සේක් නම් මාගේ සහෝදරයා මැරෙන්නේ නැත.
22දැන් වුවත් ඔබ දෙවියන් වහන්සේගෙන් යමක් ඉල්ලුවොත්, දෙවියන් වහන්සේ ඔබට එය දෙන බව මම දනිමි”යි කීවා ය.
23ඔබේ සහෝදරයා නැවත නැඟිටින්නේ ය”යි ජේසුස් වහන්සේ ඇයට වදාළ සේක.
24මාර්තා පිළිතුරු දෙමින්, ”අන්තිම දවසේ, පුනරුජ්ජීවනයේ දී ඔහු නැවත නැඟිටින බව මම දනිමි”යි කීවා ය.
25ජේසුස් වහන්සේ කතා කරමින්, පුනරුජ්ජීවනය ද, ජීවනය ද මම වෙමි; මා අදහාගන්නා මැරුණත් ජීවත් වන්නේ ය;
26ජීවත් ව සිටින, මා අදහාගන්න කිසිවෙක් කිසි කලෙක නො මැරෙන්නේ ය. ඔබ මෙය අදහන්නෙහි දැ”යි ඇසූ සේක.
27ඈ පිළිතුරු දෙමින්, ”ඔබ ක්‍රිස්තුවරයාණන් බවත්, දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් බවත්, ලෝකයට වැඩම කරන්නට සිටි තැනැන් වහන්සේ බවත් මම අදහමි”යි කීවා ය.