ජූලි 2027

බ්‍ර සි සෙ
123
45678910
11121314151617
18192021222324
25262728293031
අද දිනට

කියවීම්

2027 ජූලි 19

Ordinary Weekday

දවසේ දේව මෙහෙය
First Reading

නික්මයාම 14: 5-18

5සෙනඟ පලා ගිය බව මිසරයේ රජුට දන්වන ලදී. එවිට ඔහු ද ඔහුගේ නිලධාරීහු ද ඔවුන් ගැන තම සිත් වෙනස් කොට, ”ඉශ්රායෙල් ජනයා වහල් සේවයෙන් මුදා හැරීමෙන් අප කෙළේ කුමන ක්‍රියාවක් දැ”යි කියාගත්හ. 6පාරාවෝ ඉන්පසු තම යුද්ධ රථය සූදානම් කොට තම සෙනඟ ද එක්රැස් කොට ගත්තේ ය. 7තවද, ඔහුගේ විශේෂ යුද්ධ රථ හයසියයක් ද, මිසරයේ සියලු ම යුද්ධ රථ ද ඔහු සමඟ ගමන් ගත්තේ ය. ඒ සෑම රථයක ම යුද සෙනෙවියෝ සිටියහ. 8සමිඳාණන් වහන්සේ මිසරයේ රජු වන පාරාවෝගේ සිත දැඩි කළ සේක. ඔහු ජයාන්විත ව රටින් පලා යන ඉශ්රායෙල් ජනයා ලුහුබැඳ ගියේ ය. 9මිසර වාසීහු ඔවුන් ලුහුබැඳ ගියහ. පාරාවෝගේ සියලු අසුන් ද යුද්ධ රථ ද ඔහුගේ අසරුවන් ද හමුදාව ද සමඟ ඔවුන් ලුහුබැඳ ගොස්, බාල්-ශෙපොන් නම් ස්ථානයට මූණ ලා පී-හාහිරොත් නම් ස්ථානය අසල මුහුදුබඩ කඳවුරු බැඳ සිටි ඔවුන්ට ළඟා වූ හ. 10පාරාවෝ ළං වූ විට ඉශ්රායෙල් ජනයා හිස් ඔසවා බලා තමන් පසුපස මිසර වාසීන් එනු දැක, මහත් සේ බිය වී සමිඳාණන් වහන්සේට මොරගැසූ හ. 11ඔව්හු මෝසෙස්ට කතා කොට, ”මේ පාළුකරයේ මැරෙන්නට අප ගෙනාවේ මිසරයේ මිනීවළවල් නැති නිසා ද? මිසරයෙන් අප පිටත ගෙනවුත් අපට මෙලෙස කරන්නේ මන් ද? 12‘මිසර වාසීන්ට වහල් මෙහෙවර කරන්නට අපට ඉඩ දුන මැනවැ’යි ඔබට මිසරයේ දී කීවේ මේ නිසා නො වේ ද? පාළුකරයේ මියයනවාට වඩා මිසර වාසීන්ට වහල් මෙහෙවර කළා නම් හොඳ නො වේ දැ”යි ඇසූ හ. 13මෝසෙස් සෙනඟට පිළිතුරු දෙමින්, ”බිය නොවන්න, ස්ථිර ව සිටින්න, සමිඳාණන් වහන්සේ අද ඔබ ගළවාලන පිණිස උන් වහන්සේ ඉටු කරන දේ ඔබ දකින්නහු ය. අද ඔබ දකින මිසර වාසීන් මින්පසු ඔබ කවදා වත් නොදකින්නහු ය. 14උන් වහන්සේ ඔබ උදෙසා සටන් කරන සේක. ඔබ නිශ්චල ව සිටිය යුතු ය”යි කී ය. 15සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: ”නුඹ මට මොරගසන්නේ මන් ද? ඉශ්රායෙල් ජනයාට ‘ඉදිරියට යන්නැ’යි කියන්න. 16තවද, ඔවුන්ට මුහුද මැදින් වියළි බිම දිගේ යන්න හැකි වන පරිදි ඔබ ද ඔබේ සැරයටිය ඔසවා, අත මුහුද දෙසට දිගු කොට මුහුද දෙබෑ කරවන්න. 17බලන්න, මම ද මිසර වාසීන්ගේ සිත් දැඩි කරමි. ඔව්හු ද ඉශ්රායෙල් ජනයා පසුපස යන්නෝ ය. එවිට පාරාවෝ ද ඔහුගේ මුළු හමුදාව ද ඔහුගේ යුද්ධ රථ ද ඔහුගේ අසරුවන් ද පරාජය කොට මම කීර්තිය ලබන්නෙමි. 18මෙසේ මා පාරාවෝ ද ඔහුගේ යුද්ධ රථ ද අසරුවන් ද ජයගෙන කීර්තිය ලැබූ පසු මා සමිඳාණන් වහන්සේ බව මිසර වාසීහු දැනගන්නෝ ය.”
Responsorial Psalm

නික්මයාම 15: 1bc-2, 3-4, 5-6

1එවිට මෝසෙස් සහ ඉශ්රායෙල් ජනයා සමිඳාණන් වහන්සේට මේ ගීතය ගැයූ හ. සමිඳුන් හට මම ගී ගයමි, එතුමාණෝ තෙද මහිමෙන් ජයගෙන අසුන් හා අසරුවන් මූද මැද හෙළූ සේක. ‍ 2සමිඳාණෝ, මා සවිය හා ගීතය වෙති; එතුමාණෝ මා විමුක්තිය වෙති; මාගේ දෙවිඳාණෝ ය. මා දෙවිතුමන් මම පසසමි. මා පියාගේ දෙවිඳුන් මහිමයට පමුණුවමි. 3සමිඳාණෝ, රණ ශූර ය, එතුමන්ගේ නම හිමිසඳ වේ. 4එතුමාණෝ, පාරාවෝගේ රිය සෙන් හා බළ ඇණි මූද මැද හෙළූ සේක. උසස් ම සෙන්පතීහු ද රතු මූදට බිලි වූ හ. 5ගැඹුරු සමුදුර ඔවුන් වසාගති; ගලක් විලස මූදු පත්ලට ඔව්හු කිඳා ගියහ. 6සමිඳුනි, ඔබ දකුණත බල මහිමෙන් උදාර ය. සමිඳුනි, ඔබ දකුණත හතුරන් කැබලි කරලී ය.
Alleluia

ගීතාවලිය 95: 8

8පාළුකරයේ මස්සා නම් ස්ථානයේ සිටි දවසේ දී මෙන් ද මෙරිබා නම් ස්ථානයේ දී මෙන් ද ඔබේ සිත් දැඩි කර නොගන්න.
Gospel

ශුද්ධ වූ මතෙව් 12: 38-42

38එවිට විනයධරයන් හා පරිසිවරුන්ගෙන් සමහරෙක් කතා කරමින්, ”ගුරුදේවයෙනි, ඔබ හාස්කමක් කරනු දකින්න අපි කැමැත්තෙමු”යි කී හ. 39උන් වහන්සේ උත්තර දෙමින්, මෙසේ වදාළ සේක: ”හාස්කමක් සොයන්නේ අදමිටු අදේවදෘෂ්ටික පරම්පරාවකි. එහෙත්, ජො‍්නා දිවැසිවරයා පිළිබඳ හාස්කම හැර වෙන හාස්කමක් ඔවුන්ට නොදෙනු ලැබේ. 40ජෝනා තල්මසාගේ උදරයෙහි දහවල් තුනක් ද රෑ තුනක් ද සිටියාක් මෙන්, මනුෂ්‍ය-පුත්‍රයාණන් ද පොළෝ ගැබෙහි දාවල් තුනක් ද රෑ තුනක් ද සිටිනු ඇත. 41දේව විනිශ්චය දවසේ දී නිනිවයේ මිනිසුන් මේ පරම්පරාවට විරුද්ධ ව නැඟිට එය වරදට පත් කරනු ඇත. මන්ද, ජෝනාගේ දේශනා කිරීමෙන් ඔව්හු පසුතැවී සිත් හරවා ගත් හ. මෙන්න, ජෝනාට වඩා ශ්‍රේෂ්ඨ දෙයක් මෙහි තිබේ. 42දේව විනිශ්චය දවසේ දී දකුණු දිශාවේ රැජිනිය මේ පරම්පරාවට විරුද්ධ ව නැඟිට එය වරදට පත් කරනු ඇත. මන්ද, එතුමිය සලමොන්ගේ ප්‍රඥාව අසනු වස් පොළොවේ සීමාවේ සිට පැමිණියා ය. මෙන්න, සලමොන්ගේ ප්‍රඥාවට වඩා ශ්‍රේෂ්ඨ දෙයක් මෙහි ඇත.”