කියවීම්
2027 ජූලි 26
Joachim and Anne, Parents of the Virgin Mary Obligatory Memorial
දවසේ දේව මෙහෙය
First Reading
නික්මයාම 32: 15-24, 30-34
15මෝසෙස් හැරී කන්දෙන් බැස එන විට සාක්ෂි ගල් පුවරු දෙක තම අතේ විය. ගල් පුවරු දෙකේ, එක පැත්තක මෙන් ම අනික් පැත්තේ ද ලියා තිබිණි.
16ඒ ගල් පුවරු දෙවියන් වහන්සේගේ නිර්මාණයක් විය. ඒවායේ කෙටූ ලියවිල්ල ද දෙවියන් වහන්සේගේ ම ලියවිල්ල විය.
17සෙනඟගේ ඝෝෂාව ජෝෂුවාට ඇසුණු විට, ඔහු මෝසෙස් අමතා, ”කඳවුරේ යුද්ධ ඝෝෂාවකි”යි කීවේ ය.
18එහෙත් මෝසෙස් පිළිතුරු දෙමින් මෙසේ කීවේ ය: ”මට ඇසෙන ඒ හඬ, ජය ගොසක් නො ම වේ; පැරදුම් හඬක් ද නො ම වේ, එය ගී ගැයුමක් පමණක් වේ.”
19ඔහු ද මෙසේ කියමින් කඳවුරට ළඟා වූ විට වස්සා ද සෙනඟගේ නැටුම් ද දිටී ය. ඔහුගේ කෝපාග්නිය ද එවිට වේගවත් ව ඇවිළී ගියෙන් ඔහු තම අත වූ ගල් පුවරු වීසි කොට, ඒවා කන්ද පාමුල බිඳ දැමී ය.
20පසුව ඔහු ඔවුන් සෑදු වස්සා ගෙන, ගින්නෙන් පුළුස්සා, කුඩු කුඩු කොට, එය ජලය මත ඉස, ඒ ජලය ඉශ්රායෙල් ජනයාට බොන්නට සැලැස්විය.
21මෝසෙස් ද ආරොන් අමතමින්, ”මේ සෙනඟ ලවා මේ සා මහත් පාපයක් කරවීමට ඔවුන් ඔබට කුමක් කෙළේ දැ”යි විචාළේ ය.
22ආරොන් පිළිතුරු දෙමින්, ”මාගේ ස්වාමීන්ගේ උදහස වේගවත් ව නොඇවිළේ වා! මේ සෙනඟ නපුරට කෙතරම් බර වී සිටින්නෝ දැ යි ඔබ දන්නෙහි ය.
23ඔව්හු මට කතා කොට, ‘අපට පෙරටුව යෑමට දෙවියෙකු අපට සාදා දෙන්න. මිසර දේශයෙන් අප පිටතට ගෙනා ඒ මෝසෙස් නම් මිනිසාට කුමක් වූයේ දැ යි අපි නොදනිමු’යි කී හ.
24මම ඔවුන්ට පිළිතුරු දෙමින්, ‘රන් බඩු යමක් ඇත්තේ දැ’යි ඇසූ විට ඔව්හු ද ඒවා ගලවා මට දුන්හ. මම ඒවා ගින්නට වීසි කෙළෙමි. එවිට මේ වස්සා නික්ම ආයේ ය”යි කී ය.
30පසු දින මෝසෙස් සෙනඟ අමතමින්, ”ඔබ දරුණු පාප අපරාධයක් කළහු ය. දැන් මම සමිඳාණන් වහන්සේ වෙත කන්දට නගිමි. ඇතැම් විට ඔබට පව් කමාව ලබා දෙන්න මට හැකි වන්නේ ය”යි කී ය.
31ඔහු ද සමිඳාණන් වහන්සේ වෙත ආපසු ගොස්, ”අහෝ, මේ සෙනඟ දරුණු අපරාධයක් කළෝ ය. ඔව්හු ඔවුන්ට ම රනින් දෙවියෙකු සාදගත්හ.
32දැන් ඉතින් ඔවුන්ගේ පාපයට කමාව දුන මැනව; එසේ නොදෙන සේක් නම්, කරුණාකර ඔබ වහන්සේ පොතෙන් මාගේ නාමය මකාදමනු මැනව”යි ඉල්ලී ය.
33සමිඳාණන් වහන්සේ ද මෝසෙස් අමතමින්, ”මට විරුද්ධ ව යමෙක් පව් කෙළේ ද ඔහුගේ නම මාගේ පොතින් මම මකාදමමි.
34එබැවින් දැන් යන්න, මා නුඹට කී ස්ථානයට සෙනඟ ගෙන යන්න. බලන්න, මාගේ දූතයා ද නුඹට පෙරටුව යනු ඇත. එහෙත්, මම, දඬුවම් දෙන දවසේ දී, ඔවුන්ගේ පාපයට දඬුවම් දෙමි”යි වදාළ සේක.
Responsorial Psalm
ගීතාවලිය 106: 19-20, 21-22, 23
19ඔව්හු හොරෙබ් කන්දෙහි වස්සෙකු සාදා වාත්තු රූපයකට නමස්කාර කළෝ ය.
20මෙසේ ඔව්හු, දෙවිඳුන්ගේ මහිමය තණ බුදින ගවයෙකුගේ ස්වරූපයට වෙනස් කළෝ ය.
21මිසරයේ දී බලවත් ක්‍රියා කර, ඔවුන් ගළවාගත් දෙවිඳුන් ඔව්හු අමතක කළෝ ය.
22එතුමාණෝ, ඒ දේශයේ දී අරුමපුදුම ක්‍රියා ද රතු මුහුද ළඟ බියකරු ක්‍රියා ද කළ තැනැන් වහන්සේ නොවන සේක් ද?
23එබැවින් එතුමාණෝ ඔවුන් විනාශ කරන බව වදාළ සේක. එහෙත්, එතුමාණන් ඔවුන් විනාශ නොකරන ලෙස, දේව උදහස පහකරන පිණිස, එතුමාණන් තෝරාගත් මෝසෙස් එතුමාණන් ඉදිරියේ මැදහත් වූයේ ය. දේව කෝපයෙන් ඔවුන් විනාශ කිරීම වැළැක්විය.
Alleluia
ජාකොබ් 1: 18
18උන් වහන්සේ මැවූ සත්ත්වයන් අතර අප මුදුන් මල්කඩ වීමේ පෙර ලකුණු වශයෙන්, සිය අරමුණ අනුව උන් වහන්සේ සත්‍ය වචනයෙන් අප ජනිත කළ සේක.
Gospel
ශුද්ධ වූ මතෙව් 13: 31-35
31උන් වහන්සේ ඔවුන් ඉදිරියෙහි තවත් උපමාවක් වදාරමින්, ”ස්වර්ග රාජ්‍යය මෙබඳු ය. එක්තරා මිනිසෙක් සිය කෙතෙහි අබ ඇටයක් වපුළේ ය.
32එය සියලු ම බීජවලට වඩා කුඩා වුවත්, වැඩුණු කල හැම පලා වර්ගවලට වඩා විශාල වී, අහසේ කුරුල්ලන් අවුත් එහි අතුවල ලැගුම් ගන්න තරම් ලොකු ගසක් වන්නේ ය”යි කී සේක.
33උන් වහන්සේ තවත් උපමාවක් වදාරමින්, ”ස්ත්‍රියක විසින් පිටි නැළි තුනක් සහමුලින් ම පිපෙන තුරු එහි දමන ලද මුහුන් පිඩකට ස්වර්ග රාජ්‍යය සමාන ය”යි කී සේක.
34ජේසුස් වහන්සේ මේ සියල්ල ජනකායට උපමා මඟින් පැවසූ සේක. උපමාවක් නැති ව කිසිවක් ඔවුන්ට නොවදාළ සේක.
35මෙසේ වූයේ: ”මම උපමා මඟින් කතා කරමි, ලෝකයේ මුල සිට ම රහස් ව තිබුණු දේ හෙළි කරන්නෙමි”යි දිවැසිවරයන් ලවා පවසන ලද කරුණු ඉටු වන පිණිස ය.