කියවීම්
2027 ජූලි 8
Ordinary Weekday
දවසේ දේව මෙහෙය
First Reading
උත්පත්ති කථාව 44: 18-21, 23b-29; 45: 1-5
18එවිට ජුදා ජෝසෙප් ළඟට පැමිණ, ”මාගේ ස්වාමීනි, කරුණාකර, ඔබට පොද්ගලික ව වචනයක් කීමට ඔබේ දාසයාට අවසර දෙනු මැනව. ඔබේ දාසයාට විරුද්ධ ව ඔබේ කෝපය නොඇවිලේ වා! ඔබ ඇත්තෙන් ම පාරාවෝ හා සමාන ය.
19‘නුඹලාට පියෙක් හෝ සහෝදරයෙක් හෝ සිටී දැ’යි මාගේ ස්වාමීන් වන ඔබ දාසයන් වන අපෙන් ඇසුවෙහි ය.
20අපි මාගේ ස්වාමීන් අමතා, ‘මහලු වියේ සිටින පියෙක් ද මහලු වියේ ඔහු ලැබූ කුඩා ළමයෙක් ද අපට ඇත. ඔහුගේ සහෝදරයා මළේ ය. මවගේ දරුවන්ගෙන් ඉතිරි ව ඇත්තේ ඔහු පමණ යි, ඔහුගේ පියා ද ඔහුට ප්‍රේම කරයි’ කියා කීවෙමු.
21එවිට ඔබ ඔබේ දාසයන් අමතා, ‘මට ඔහු බලා දැකගන්න පිණිස ඔහු ගෙනෙන්නැ’යි කීවෙහි ය.
23ඔබ එවිට ඔබේ දාසයන් අමතා, ‘නුඹලාගේ බාල සහෝදරයා නුඹලා සමඟ ආවොත් මිස මින්පසු නුඹලා මා ඉදිරියට නො ආ යුතුය’යි කීවෙහි ය.
24තවද, අපි ඔබේ දාසයා වන මාගේ පියා වෙත පැමිණි විට, මාගේ ස්වාමියා කී දේ ඔහුට සැළ කෙළෙමු.
25අපගේ පියා, ‘නැවත ගොස් කෑම ටිකක් අපට මිලයට ගන්න ය’යි කීවේ ය.
26එවිට අපි, ‘අපට නම් යන්න බැරි ය; අපේ බාල ම සහෝදරයා අප සමඟ යතොත් නම් අපි යමු; මන්ද, අපේ බාල ම සහෝදරයා අප සමඟ නැත්නම් අප අධිපති තැන ඉදිරියට නොයා යුතු ය’යි කීවෙමු.
27එවිට ඔබේ දාසයා වන මාගේ පියා අපට කතා කොට, ‘මාගේ බිරිඳ මට දාව පුත්‍රයන් දෙදෙනෙකු බිහි කළ බව නුඹලා දන්නහු ය.
28එක් කෙනෙකු මාගෙන් වියෝ වී ගිය විට, ඇත්තෙන් ම සතෙකු ඔහු කෑලි කෑලිවලට ඉරාදමා ඇතැ යි මම කීවෙමි. මන්ද, එවක් පටන් මම ඔහු නුදුටිමි.
29ඔබ මොහු වත් මාගෙන් රැගෙන ගොස් මොහුට අනතුරක් වූයේ නම්, නුඹලා මා පැසුණු හිසකේ එක්ක වළපල්ලට අරින්නට හදන්නහු දැ’යි කී ය.
1එවිට ජෝසෙප්ට තමා ළඟ සිටි පිරිවර ඉදිරියේ තමන් සිත වාවාගත නොහැකි වී, ”සියල්ලන් ම මා වෙතින් ඉවතට යන්න හරින්නැ”යි හඬනැඟුවේ ය. මෙසේ ජෝසෙප් ඔහුගේ සහෝදරයන්ට තමන් ම හඳුන්වා දෙන විට ඔහු සමඟ අන් කිසිවෙක් එහි නොසිටියේ ය.
2ඔහු මහ හඬින් හැඬී ය. මිසර වාසීන්ට ද, පාරාවෝගේ රජ වාසල අයට ද එය ඇසිණි.
3ජෝසෙප් ඔහුගේ සහෝදරයන් අමතමින්, ”මම ජෝසෙප් ය. මාගේ පියා තව ම ජීවත් ව සිටී දැ”යි ඇසී ය. ඔහුගේ සහෝදරයන් ඔහු දැකීමෙන් තුෂ්ණීම්භූත ව සිටි හෙයින් ඔහුට උත්තර දීගන්නට ඔවුන්ට නොහැකි විය.
4නැවත ජෝසෙප් තම සහෝදරයන් අමතා, ”කරුණාකර, මා ළඟට එන්නැ”යි කී විට ඔවුන් ද ළං වූයෙන්, ”ඔබ මිසර දේශයට විකුණූ ඔබේ සහෝදරයා වන ජෝසෙප් මම ය,
5ඔබ මා මෙහි විකුණූ නිසා කරදර නො වන්න; නො තැවෙන්න. මන්ද, ඔබේ ජීවිතය රකිනු පිණිස ඔබට පෙරටුව දෙවියන් වහන්සේ මා මෙහි එවූ සේක.
Responsorial Psalm
ගීතාවලිය 105: 16-17, 18-19, 20-21
16සමිඳාණෝ දේශයට සාගතයක් පැමිණෙවූ සේක; කෑම අහේනියක් ඇති කරවූ සේක.
17එහෙත්, එතුමාණෝ ඔවුන්ට පෙරටු ව මිනිසෙකු යැවූ සේක. එනම්, වහල්කමට විකුණන ලද ජෝසෙප් ය.
18ඔහුගේ පාදවලට විලංගු දමන ලදී; ගෙල වටා යකඩ වළල්ලක් දමන ලදී.
19ඔහු කී අනාගත කීම ඉටු වන තුරු සමිඳුන්ගේ අතින් ඔහු පරීක්ෂා කරන ලදී.
20එවිට මිසරයේ රජ ඔහු මුදා හරින්නට අණ කෙළේ ය. ජාතීන්ගේ පාලකයා ඔහු නිදහස් කෙළේ ය.
21රජතුමා රාජකාරිය ඔහුට භාර දුන්නේ ය. මුළු දේශයේ ආණ්ඩුකාරයා ලෙස ඔහු පත් කෙළේ ය.
Alleluia
ශුද්ධ වූ මාර්ක් 1: 15
15ඒ දේශනාව මේ ය: ”නියමිත මොහොත පරිපූර්ණ වී තිබේ; දෙවියන් වහන්සේගේ රාජ්‍යය ආසන්න ය; පසුතැවී සිත් හරවා ගන්න; සුබ අස්න අදහාගන්න” යනුයි.
Gospel
ශුද්ධ වූ මතෙව් 10: 7-15
7එසේ ගොස්, ‘ස්වර්ග රාජ්‍යය ළං වී ඇතැ’යි දේශනා කරන්න.
8රෝගීන් සුව කරන්න, මළවුන් නැඟුටුවන්න, ලාදුරු රෝගීන් පවිත්‍ර කරන්න. දුෂ්ටාත්මයන් දුරු කරන්න. ඔබ නොමිලයේ ලැබුවහු ය, නොමිලයේ දෙන්න.
9ඔබේ පසුම්බිවල රන් හෝ රිදී හෝ තඹ කාසි හෝ ගෙන නොයන්න.
10ගමන් මල්ලක් වත්, කමිස දෙකක් වත්, වහන් සඟලක් වත්, සැරයටියක් වත් සපයා නොගන්න. මන්ද, සේවකයාට අවශ්‍ය දේ ඔහු ලැබිය යුතු ය.
11ඔබ කවර නුවරකට හෝ ගමකට හෝ ඇතුළු වූ කල ඔබ පිළිගන්නට සතුටු කෙනෙකු සොයාගෙන, ඉන් නික්ම යන තුරු එහි ම නැවතී ඉන්න.
12ගෙදරකට ඇතුළු වන විට එයට සුබ පතන්න.
13ගෙයි වැසියෝ සුදුසු අය නම්, ඔබේ ඒ සුබ පැතුම ඔවුන් පිට පැමිණේ වා. එහෙත්, නුසුදුසු නම්, ඔබගේ ඒ සුබ පැතුම, යළි ඔබ වෙත පැමිණේ වා.
14කවරෙකු වුව ද ඔබ පිළිගන්නේ වත්, ඔබගේ වචන අසන්නේ වත් නැත් නම්, ඒ ගෙදරින් හෝ ඒ නුවරින් හෝ නික්ම යන කල ඔබේ පාදවල දූවිලි ගසාදමන්න.
15සැබැවින් ම මම ඔබට කියමි: දේව විනිශ්චය දවසේ දී ඒ නුවරට වඩා සොදොම් සහ ගොමොරා රටට සහනය ලැබෙන්නේ ය.”