කියවීම්
2027 ජූලි 10
Ordinary Weekday/ Optional Memorial of the Blessed Virgin Mary
Optional Memorial of the Blessed Virgin Mary
First Reading
උත්පත්ති කථාව 49: 29-32; 50: 15-26a
29ඉන්පසු ජාකොබ් ඔවුන්ට අණ කරමින් කතා කොට, ”මම මාගේ සෙනඟට එකතු වෙන්න යමි. හිත්තීය ජාතික ඒප්‍රොන්ගේ ඉඩමෙහි ඇති ගුහාවෙහි,
30එනම්, කානාන් දේශයේ මම්රේ ඉදිරිපිට මක්පේලාගේ ඉඩමෙහි තිබෙන, ආබ්‍රහම් සොහොන් බිමක් වශයෙන් ඉඩමක් සමඟ ඒප්‍රොන්ගෙන් මිලට ගත් ඔහුට අයිති ගුහාවෙහි, මාගේ පියවරුන් ළඟ මා භූමදාන කරන්න.
31ආබ්‍රහම් සහ ඔහුගේ බිරිඳ වන සාරා භූමදාන කරන ලද්දේ එහි ය. ඊසාක් සහ ඔහුගේ බිරිඳ වන රෙබෙකා භූමදාන කරන ලද්දේත් එහි ය. මා, ලෙයා භූමදාන කෙළේත් එහි ය.
32ඉඩම සහ එහි ඇති ගුහාව හෙත්ගේ සෙනඟගෙන් මිලයට ගන්නා ලදී”යි කීවේ ය.
15ජෝසෙප්ගේ සහෝදරයෝ තම පියා මළ බව දුටු විට තමන් අතරේ කතා කරමින්, ”ඇතැම් විට ජෝසෙප් අපට වෛර කරන්න පුළුවන, ඇත්තට ම අප ඔහුට කළ සියලු නපුරු දේ ගැන ඔහු අපෙන් පළිගත හැකි ය”යි කී හ.
16එබැවින් ඔව්හු ජෝසෙප් වෙත පණිවුඩයක් යවමින්, ”ඔබේ පියා මැරෙන්න කලින් අපට කතා කොට,
17‘දැන් ඉතින් ඔබේ සහෝදරයන් ඔබට කළ සියලු නපුරුකම්වලටත්, ඔවුන්ගේ ඒ අපරාධයට හා පාපයටත් කරුණාකර ඔවුන් කමා කරන්නැ’යි ජෝසෙප්ට දැන්වීමට අපට අණ කෙළේ ය. එබැවින් දැන් කරුණාකර, ඔබ පියාගේ දෙවියන්ගේ දාසයන් වන අප කළ අපරාධයට සමාව දෙන්නැ”යි කී හ. එහෙත් එලෙස ඔහුට කී විට, ජෝසෙප් හඬන්නට විය.
18ඔහුගේ සහෝදරයෝ ගොස් ඔහු ඉදිරියෙහි වැඳ වැටී, ”මෙන්න, අපි ඔබගේ දාසයෝ වෙමු”යි කී හ.
19එහෙත් ජෝසෙප් ඔවුන්ට කතා කොට, ”බිය නොවන්න, දෙවියන් වහන්සේට හිමි තැන මට ගත හැකි ද?
20ඔබ නම් මට විරුද්ධ ව නපුරුකම් සිතුවහු ය. එහෙත් අද සිදු වී තිබෙන පරිදි, දෙවියන් වහන්සේ බොහෝ මිනිසුන්ගේ ජීවිත ගළවනු පිණිස ඒවා යහපතට හැරෙවූ සේක.
21එබැවින් දැන් ඉතින් බිය නොවන්න, මම ඔබ ද ඔබේ කුඩා දරුවන් ද නඩත්තු කරන්නෙමි”යි, ඔවුන් සනසමින්, ඔවුන් අමතා කාරුණික ලෙස කතා කෙළේ ය.
22මෙලෙස ජෝසෙප් ද ඔහුගේ පියාගේ පවුල ද මිසරයේ පදිංචි වූ හ. ජෝසෙප් අවුරුදු එකසිය දහයක් ජීවත් විය.
23තවද, ඔහු එප්‍රායිම්ගේ දරුවන් තුන් වන පරම්පරාව දක්වා දිටී ය. මනස්සේගේ පුත්, මාකීර්ගේ දරුවෝ ද ජෝසෙප් විසින් සිය පවුලට බාරගන්නා ලදහ.
24ඔහු තම සොහොයුරන් අමතා, ”මාගේ අවසානය ළඟ ය. දෙවියන් වහන්සේ ද සැබැවින් ම ඔබ ආරක්ෂා කොට උන් වහන්සේ ආබ්‍රහම්ට, ඊසාක්ට හා ජාකොබ්ට දිවුරා පොරොන්දු වූ රටට, මේ රටින් ඔබ ගෙන යන සේකැ”යි කී ය.
25ඉන්පසු ඔහු ඔවුන් අමතමින්, ”දෙවියන් වහන්සේ සැබැවින් ම ඔබ ආරක්ෂා කරන විට ඔබ ද මාගේ ඇටකටු මෙතැනින් ගෙන යා යුතු ය” කියා ඉශ්රායෙල්ගේ දරුවන්ගෙන් දිවුරුම් ගත්තේ ය.
26ජෝසෙප් අවුරුදු එකසිය දහයක් ආයු වළඳා මළේ ය. පසුව ඔව්හු ඔහුගේ මෘත ශරීරයට බෙහෙත් කවා එය මිසරයෙහි මිනී පෙට්ටියක තැන්පත් කළහ.
Responsorial Psalm
ගීතාවලිය 105: 1-2, 3-4, 6-7
1සමිඳුන්ට තුති පුදන්න, එතුමන්ගේ නාමයෙන් අයැදින්න, ජාතීන් අතරේ එතුමන්ගේ ක්‍රියා පළ කරන්න.
2එතුමන්ට ගී ගයන්න; එතුමන්ට පසස් ගී ගයන්න; එතුමන්ගේ පුදුම ක්‍රියා මෙනෙහි කරන්න.
3එතුමන්ගේ ශුද්ධ නාමය ගැන උදන් අනන්න; සමිඳාණන් සොයන්නන්ගේ සිත් ප්‍රීති ප්‍රමුදිත වේ වා!
4සමිඳාණන් ද එතුමන්ගේ බලය ද සොයා බලන්න; එතුමාණන් හමුව නිතර ම සොයන්න.
6එතුමන් තෝරාගත් ජාකොබ්ගේ දරුවෙනි, එතුමන් කළ පුදුම ක්‍රියා ද එතුමන්ගේ ආශ්චර්යයන් ද එතුමන් දුන් විනිශ්චයයන් ද සිහි කරන්න.
7එතුමාණෝ අපේ දෙවි සමිඳාණෝ ය. එතුමන්ගේ විනිසය මුළු පොළොවෙහි ය.
Alleluia
1 පේදුරු 4: 14
පාඨ අන්තර්ගතය ලබා ගත නොහැක.
Gospel
ශුද්ධ වූ මතෙව් 10: 24-33
24ගෝලයෙක් සිය ගුරුවරයාට වඩා උසස් නොවේ. දාසයෙක් සිය ස්වාමියාට වඩා උසස් නොවේ.
25ගෝලයා සිය ගුරුවරයාට සමාන වීමෙන් ද, සේවකයා සිය ස්වාමියාට සමාන වීමෙන් ද සෑහීමට පත් විය යුතු ය. ඔව්හු ගෘහ මූලිකයාට ‘බෙල්සෙබුල්’ යයි කීවොත්, ගෙයි වැසියන්ට ඊටත් වැඩියෙන් අපහාස නොකරත් ද?”
26එබැවින් මිනිසුන්ට බිය නොවන්න. මන්ද, දැන් සැඟ වී ඇති සෑම දේ ම හෙළි කරනු ලැබේ. සෑම රහසක් ම ප්‍රකට කරනු ලැබේ.
27මා විසින් ඔබට අඳුරේ දී පවසන ලද දෙය ඔබ දවාලේ දී කියන්න. ඔබේ කනට රහසින් ඇසෙන දෙය, ගෙමුදුන්වලින් ප්‍රකාශ කරන්න.
28ශරීරය නැසුවත්, ආත්මය නසන්න නුපුළුවන් අයට බිය නොවන්න. එහෙත්, ආත්මය ද ශරීරය ද නිරයෙහි විනාශ කරන්න පුළුවන් තැනැන් වහන්සේට ම බිය වන්න.
29ගේ කුරුල්ලන් දෙදෙනෙකු තුට්ටුවකට විකුණනවා නොවේ ද? එහෙත්, එයින් එකෙක් වත් ඔබේ පියාණන් වහන්සේ නොදැනුවත් ව බිමට නොවැටෙන්නේ ය.
30ඔබේ හිසකේ සියල්ල පවා ගණන් කොට ඇත.
31එබැවින් බිය නොවන්න; ගේ කුරුල්ලන් රාශියකට වඩා ඔබ අගනේ ය.
32යමෙක් මනුෂ්‍යයන් අබිමුවෙහි මා පිළිගත් බවට සාක්ෂි දරන්නේ ද, මමත් ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන් වහන්සේ අබිමුවෙහි ඔහු පිළිගත් බවට සාක්ෂි දරන්නෙමි.
33එහෙත්, යමෙක් මනුෂ්‍යයන් අබිමුවෙහි මා ප්‍රතික්ෂේප කරන්නේ ද, මමත් ස්වර්ගයේ වැඩ සිටින මාගේ පියාණන් වහන්සේ අබිමුවෙහි ඔහු ප්‍රතික්ෂේප කරන්නෙමි.”