කියවීම්
2027 ජූලි 28
Ordinary Weekday
දවසේ දේව මෙහෙය
First Reading
නික්මයාම 34: 29-35
29මෝසෙස් සාක්ෂි ගල් පුවරු දෙක තම අතේ තබාගෙන කන්දෙන් බැස්සේ ය. එහෙත්, සමිඳාණන් වහන්සේ සමඟ කතා කිරීම නිසා තම මුහුණ බැබළෙමින් තිබුණ බව ඔහු කන්දෙන් බැස එන කල නොදැන සිටියේ ය.
30ආරොන් සහ සියලු ඉශ්රායෙල් ජනයා මෝසෙස් දුටු විට, පුදුමයකි! ඔහුගේ මුහුණ බැබළෙමින් තිබිණි. ඔව්හු ඔහු ළඟට එන්නට බිය වූ හ.
31එහෙත්, මෝසෙස් ඔවුන් කැඳවූ කල ආරොන් සහ ප්‍රජා මූලිකයන් සියලු දෙන, ඔහු වෙත හැරී ආ විට ඔහු ඔවුන් සමඟ කතා කෙළේ ය.
32ඉන්පසු මුළු ඉශ්රායෙල් සෙනඟ ම ඔහු වෙත ළඟා වූයෙන් ඔහු සමිඳාණන් වහන්සේ ඔහුට සීනයි කන්දේ දී වදාළ ආඥා සියල්ල ඔවුන්ට දුන්නේ ය.
33මෝසෙස් ඔවුන් සමඟ කතා කොට නිම වූ පසු තම මුහුණ වැස්මකින් වසාගත්තේ ය.
34එහෙත්, ඔහු සමිඳාණන් වහන්සේ සමඟ කතා කිරීමට උන් වහන්සේගේ අභිමුඛයට ප්‍රවේශ වූ විට, ඉන් පිටත එන තෙක් ඒ වැස්ම ඉවත් කොට තැබී ය. ඔහු පිටතට පැමිණ තමාට අණ කළ සියල්ල ඉශ්රායෙල් සෙනඟට දැන්විය.
35ඉශ්රායෙල් සෙනඟ මෝසෙස්ගේ මුහුණ දෙස බැලූ කල ඔහුගේ මුහුණ බැබළෙමින් තිබුණ බව දුටහ. ඔහු සමිඳාණන් වහන්සේ සමඟ කතා කරන්න ආපසු යන තෙක් තම මුහුණ වැස්මෙන් වසාගත්තේ ය.
Responsorial Psalm
ගීතාවලිය 99: 5, 6, 7, 9
5අපේ දෙවි සමිඳුන් උසස් කොට පසසන්න; එතුමන්ගේ පාපුටුව ළඟ වැඳ වැටෙන්න; එතුමාණෝ සුවිශුද්ධ වන සේක.
6එතුමන්ගේ පූජකවරුන් අතර මෝසෙස් ද ආරොන් ද වූ හ. එතුමන්ගේ නාමය අයැදි අය අතර සාමුවෙල් ද විය. ඔවුන් සමිඳුන් අයැදි විට එතුමාණෝ පිළිතුරු දුන් සේක.
7වලා ටැඹෙන් එතුමාණෝ ඔවුන්ට කතා කළ සේක. එතුමන් ඔවුන්ට දුන් අණපණත් ද නීති ද ඔව්හු ඉටු කළෝ ය.
9අපේ දෙවි සමිඳුන් පසසන්න, එතුමන්ගේ ශුද්ධ කන්ද ළඟ වැඳ වැටෙන්න. අපේ දෙවි සමිඳාණෝ සුවිශුද්ධ ය.
Alleluia
ශුද්ධ වූ ජොහන් 15: 15b
15මෙතැන් පටන් මම ඔබට දාසයෝ යයි නොකියමි; මන්ද, දාසයෙක් තමාගේ ස්වාමියා කරන්නේ කුමක් දැ යි නොදනියි. එහෙත්, මාගේ පියාණන් වහන්සේගෙන් මා ඇසූ සියල්ල ම ඔබට දන්වා වදාළ බැවින්, මම ඔබට මිත්‍රයෝ යයි කීවෙමි.
Gospel
ශුද්ධ වූ මතෙව් 13: 44-46
44ස්වර්ග රාජ්‍යය, කෙතක සඟවා තිබුණු නිධානයකට සමාන ය. එක්තරා මිනිසෙකුට එය සම්බ විය. ඔහුත් එය සඟවා තබා, මහත් ප්‍රීතියෙන් ගොස් තමා සන්තක සියල්ල විකුණා ඒ කෙත මිළ දී ගත්තේ ය.
45ස්වර්ග රාජ්‍යය, අගනා මුතු සොයා ගිය වෙළෙන්දෙකුට සමාන ය.
46ඉතා අගනා මුතු ඇටයක් සම්බ වූ විට ඔහු ගොස් තමා සන්තක සියල්ල විකුණා එය මිලට ගත්තේ ය.