කියවීම්
2027 ජූලි 21
Ordinary Weekday/ Lawrence of Brindisi, Priest, Religious, Doctor
Lawrence of Brindisi, Priest, Religious, Doctor
First Reading
නික්මයාම 16: 1-5, 9-15
1මුළු ඉශ්රායෙල් ජනතාව ඒලීම් නම් ස්ථානයෙන් ගමන් ඇරඹුවහු ය. ඔව්හු මිසර දේශයෙන් පිටත් වූ පසු දෙ වන මාසයේ පසළොස් වන දින ඒලීම් සහ සීනයි අතරෙහි වූ සීන් නම් පාළුකරයට පැමිණියෝ ය.
2ඉශ්රායෙල් ජනයා මෝසෙස්ට හා ආරොන්ට විරුද්ධ ව පාළුකරයේ දී මැසිවිලි කියන්නට වූ හ.
3ඔව්හු ඔවුන්ට කතා කොට, ”මිසර දේශයේ දී සමිඳාණන් වහන්සේගේ අතින් අපි මැරුණෙමු නම් කෙතරම් යහපත් ද? එහි දී අපට, මස් පිරුණු බඳුන් ළඟ වාඩි වී, ඇති තරම් කෑම කන්න පුළුවන්කම තිබිණි. එහෙත්, ඔබ මේ මුළු ජනතාව සාගින්නෙන් මරාදැමීමට මේ පාළුකරයට ගෙනාවහු ය”යි කී හ.
4එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, ”මම නුඹලාට අහසින් ආහාර වස්වමි. දිනපතා මිනිසුන් නික්ම ගොස් එදිනට අවශ්‍ය කොටස එකතු කරගත යුතු ය. මෙසේ ඔව්හු මාගේ නීතිය පිළිපදින්නෝ ද නැද්ද කියා මට ඔවුන් පරීක්ෂා කළ හැක.
5එහෙත්, හය වන දවසේ දී, ඔවුන් දිනපතා එකතු කර ගන්නාක් මෙන් දෙගුණයක් ගෙන, එය පිළියෙළ කළ යුතු ය”යි වදාළ සේක.
9ඉක්බිති මෝසෙස් ආරොන්ට කතා කොට, ”මුළු ඉශ්රායෙල් ජනතාව අමතා, ‘සමිඳාණන් වහන්සේ වෙත පැමිණෙන්න; උන් වහන්සේ නුඹලාගේ මැසිවිලි ඇසූ සේක’ කියා කියන්නැ”යි පැවසී ය.
10ආරොන් මුළු ඉශ්රායෙල් ජනතාව අමතා කතා කරන විට, ඔව්හු පාළුකරය දෙස බැලූ හ. පුදුමයකි, වලාකුළක් මෙන් සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරය දිස්විණි.
11සමිඳාණන් වහන්සේ ද මෝසෙස්ට කතා කොට,
12ඉශ්රායෙල් ජනයාගේ මැසිවිලි මට ඇසිණි, නුඹ ඔවුන් අමතමින්, ‘සවස ඔබ මාංස කන්නහු ය. උදය ඔබට ඇති තරම් රොටි ලැබෙන්නේ ය. මෙසේ නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මා බව නුඹලා දැනගන්නහු ය’යි කියන්නැ”යි පැවසූ සේක.
13ඉන්පසු සවස් කාලයේ දී වටුවන් වර්ගයක් අවුත් කඳවුර වසාගති. උදය කාලයේ දී කඳවුර සිසාරා පිනි තට්ටුවක් විය.
14පිනි වාෂ්ප වී ගිය පසු පාළුකරයේ භූමිය මතුපිට සිහින් වූ, කුඩා වටකුරු හිම වැනි දෙයක් තිබෙනු ඔව්හු දුටහ.
15මෙය දුටු ඉශ්රායෙල් ජනයා එකිනෙකාට කතා කරමින්, ”මෙය කුමක් දැ”යි විචාළාහ. මන්ද, ඒ කුමක් ද කියා ඔවුන් නොදත් බැවිනි. මෝසෙස් ඔවුන්ට පිළිතුරු දෙමින්, ”මෙය වනාහි සමිඳාණන් වහන්සේ ඔබට අනුභව කිරීමට දුන් ආහාරය වේ.
Responsorial Psalm
ගීතාවලිය 78: 18-19, 23-24, 25-26, 27-28
18ඕනෑකමින් ම ඔව්හු දෙවිඳුන්ට අභියෝග කළෝ ය; තමන් රිසි ආහාර ඉල්ලා ඔව්හු එසේ කළෝ ය.
19දෙවිඳුන්ට විරුද්ධ ව ඔව්හු කතා කරමින්, ”පාළුකරයේ දී ආහාර සැපයීමට එතුමන්ට හැකි දැ”යි ඇසුවෝ ය.
23එහෙත්, එතුමාණෝ ඉහළ අහසට කතා කළ සේක; සුරලොව දොරටු විවෘත කළ සේක.
24ඔවුන්ට කෑමට මන්නා වැසි වැස්වූ සේක. සගලොවින් ධාන්‍ය ප්‍රදානය කළ සේක.
25දෙව් දූතුන්ගේ ආහාර පොදු ජනතාව අනුභව කළහ. එතුමාණෝ පමණටත් වඩා ආහාර පාන එවූ සේක.
26අහසෙහි පෙරදිග සුළඟක් හමන්නට සැලැසූ සේක; සිය බලයෙන් දකුණු දිග සුළඟ කළඹා හැරිය සේක.
27ඔවුන් පිට දූවිලි මෙන් මස් මාංස වස්වා වදාළ සේක; පියාඹන පක්ෂීන් මුහුදු වැලි මෙන් එවූ සේක.
28ඔවුන්ගේ කඳවුරු මැදට ඒවා හෙළූ සේක; ඔවුන් වසන තැන් සිසාරා ඒවා වැටෙන්නට සැලැසූ සේක.
Gospel
ශුද්ධ වූ මතෙව් 13: 1-9
1එදින ම ජේසුස් වහන්සේ ගෙදරින් නික්ම ගොස් මුහුද අද්දර වැඩහුන් සේක.
2අතිවිශාල සමූහයක් උන් වහන්සේ වෙත රැස් වූ බැවින් උන් වහන්සේ ඔරුවකට නැඟී හිඳගත් සේක. මුළු ජනකාය වෙරළෙහි සිටියහ.
3උන් වහන්සේ ඔවුන්ට බොහෝ දේ උපමාවලින් පහදා දෙමින්, මෙසේ වදාළ සේක: ”බලන්න, වපුරන්නෙක් වපුරන්නට ගියේ ය.
4ඔහු වපුරන කල මෙසේ සිදුවිය: බීජ සමහරක් මඟ දිගේ වැටිණි. කුරුල්ලෝ අවුත් ඒවා අවුලාගෙන කෑහ.
5සමහරක් පස තුනී ගල් බිම්වල වැටී, පස ගැඹුරු නුවූ බැවින් වහා ම පැළ විය.
6එහෙත්, හිරු නැඟුණු කල, ඒවා දැවී මුල් නැති බැවින් වියළී ගියේ ය.
7අන් සමහරක් කටු ගස් අතර වැටිණි; කටු ගස් වැවී ඒවා යටකර දැමී ය.
8තවත් සමහරක් සරු බිමෙහි වැටී එකකින් සිය ගුණයක් ද එකකින් සැට ගුණයක් ද එකකින් තිස් ගුණයක් ද බැගින් පල දැරී ය.
9සවන් ඇත්තෝ සවන් දෙත් වා!”