කියවීම්
2027 ජූලි 20
Ordinary Weekday/ Apollinarius, Bishop, Martyr
Apollinarius, Bishop, Martyr
First Reading
නික්මයාම 14: 21 - 15: 1
21මෝසෙස් තම අත මුහුද දෙසට දිගු කෙළේ ය. එවිට සමිඳාණන් වහන්සේ ඒ මුළු රාත්‍රියේ ම පෙරදිගින් හැමූ සැඬ සුළඟක් මඟින් මුහුදු ජලය පසුබැස යාමට සලසා, මුහුද වියළි බිමකට හැරෙවු සේක. මුහුදු ජලය ද දෙබෑ විය.
22ඉශ්රායෙල් ජනතාව වියළි බිම දිගේ මුහුද මැදට ගියහ. ජලය දකුණු පසින් හා වම් පසින් තාප්පයක් මෙන් විය.
23මිසර වැසියෝ ලුහුබැඳ ගියහ; පාරාවෝගේ සියලු අසුන් ද රථ ද අසරුවන් ද ඔවුන් පසුපස මුහුද මැදට ගියහ.
24එවිට උදය යාමයෙහි, සමිඳාණන් වහන්සේ ගිනි හා වලා ටැඹින් මිසර වාසීන්ගේ හමුදා දෙස බලා ඒ හමුදාවන් සන්ත්‍රාසයට පත් කරවූ සේක.
25උන් වහන්සේ ද ඔවුන්ගේ රථ රෝද ක්‍රියා විරහිත කළ සේක. ඒවා ඉදිරියට ගියේ ඉතා අමාරුවෙනි. එවිට මිසර වාසීහු, ‘අපි ඉශ්රායෙල්වරුන් වෙතින් පලා යමු, මන්ද, සමිඳාණන් වහන්සේ අපට විරුද්ධ ව ඔවුන් උදෙසා සටන් කරන සේකැ”යි කී හ.
26උන් වහන්සේ මෝසෙස් අමතමින්, ”මිසර වාසීන් පිට ද ඔවුන්ගේ රථ හා අසරුවන් පිට ද ජලය ආපසු ගලන ලෙස මුහුද දෙසට නුඹේ අත දිගු කරන්නැ”යි වදාළ සේක.
27ඔහු මුහුද දෙසට තම අත දිගු කෙළෙන් පහන් වූ විට ජලය ආපසු පෙර තිබුණ මට්ටමට ම ගැලී ය. මිසර වැසියෝ පලා යන්නට උත්සාහ කරන්නෝ මූද මැදට ම දිවූ හ. සමිඳාණන් වහන්සේ ඔවුන් මුහුද මැද හෙළාදැමූ සේක.
28ඉශ්රායෙල්වරුන් ලුහුබැඳ මුහුදට පැමිණි යුද්ධ රථ ද අසරුවෝ ද පාරාවෝගේ මුළු හමුදාව ද ආපසු ගලා ආ ජලයට යට වූ හ. ඔවුන්ගෙන් එක් කෙනෙක් වත් ඉතිරි නො වී ය.
29එහෙත්, ඉශ්රායෙල් ජනයා මුහුද මැද වියළි බිමින් ගමන් කළහ. ඔවුන්ගේ දකුණු පසින් හා වම් පසින් ජලය තාප්පයක් මෙන් විය.
30මෙසේ එදින සමිඳාණන් වහන්සේ මිසර වාසීන් අතින් ඉශ්රායෙල්වරුන් ගළවාගත් සේක. ඉශ්රායෙල්වරු ද මිසර වාසීන් මුහුදු වෙරළේ මැරී සිටිනු දුටහ.
31ඔව්හු සමිඳාණන් වහන්සේ මිසර වාසීන්ට කළ ප්‍රබල ක්‍රියාව දුටහ. සෙනඟ සමිඳාණන් වහන්සේට ගරුබිය පා, උන් වහන්සේ ද උන් වහන්සේගේ සේවකයා වන මෝසෙස් ද කෙරෙහි විශ්වාසය තැබූ හ.
1එවිට මෝසෙස් සහ ඉශ්රායෙල් ජනයා සමිඳාණන් වහන්සේට මේ ගීතය ගැයූ හ. සමිඳුන් හට මම ගී ගයමි, එතුමාණෝ තෙද මහිමෙන් ජයගෙන අසුන් හා අසරුවන් මූද මැද හෙළූ සේක.
Responsorial Psalm
නික්මයාම 15: 8-9, 10 and 12, 17
8ඔබේ නැහැයේ හුස්මෙන් ජලය ගොඩ ගැසෙයි. දිය දහර වේල්ලක් මෙන් කෙළින් සිටියි. මුහුදු ගැබේ ජල කඳ මිදිණි.
9සතුරා මෙසේ උදන් අනයි: ”මම ලුහුබැඳ යන්නෙමි, ඔවුන් අල්ලාගන්නෙමි, කොල්ලය බෙදන්නෙමි, මා මනෙදාළ සපුරා ගන්නෙමි, මම කඩුව අදින්නෙමි, මා අතින් ඔවුන් වනසන්නෙමි.”
10ඔබ හුස්ම පිඹලූ සේක, මුහුද ඔවුන් වසාගති. ඔව්හු රුදුරු ජල කඳ තුළ ඊයම් මෙන් කිඳා ගියහ.
12ඔබ දකුණත දිගු කළ සේක, මිහිතලය ඔවුන් ගිලගති.
17සමිඳුනි, ඔබට උරුමය වන කඳු මුදුනට, සමිඳුනි, ඔබේ වාසභවනය වන තැනට, ඔබ අතින් ඉදි කළ ශුද්ධස්ථානයට, ඔබ ඔවුන් ගෙන ගොස්, පිහිටුවන සේක.
Alleluia
ශුද්ධ වූ ජොහන් 14: 23
23ජේසුස් වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, ”යමෙක් මට ප්‍රේම කරන්නේ නම්, හෙතෙම මාගේ ධර්මය පිළිපදින්නේ ය. මාගේ පියාණන් වහන්සේ ද ඔහුට ප්‍රේම කරන සේක. අපි ඔහු වෙතට පැමිණ ඔහු සමඟ වාසය කරන්නෙමු.
Gospel
ශුද්ධ වූ මතෙව් 12: 46-50
46උන් වහන්සේ සමූහයාට කතා කරමින් සිටිය දී ම උන් වහන්සේගේ මෑණියෝ ද සහෝදරයෝ ද උන් වහන්සේ හා සමඟ කතා කරන්න ප්‍රස්තාවක් සොයමින් පිටත සිටියහ.
47එවිට එක් කෙනෙක් උන් වහන්සේට කතා කොට, ”බලන්න, ඔබේ මෑණියෝ ද සහෝදරයෝ ද ඔබ සමඟ කතා කරන්න ප්‍රස්තාවක් සොයමින් පිටත සිටිති”යි කී ය.
48එහෙත්, උන් වහන්සේ එසේ කී අයට උත්තර දෙමින්, ”මාගේ මෑණියෝ කවුරු ද? මාගේ සහෝදරයෝ කවුරු ද?” කියා
49සිය ශ්‍රාවකයන් දෙසට අත දිගු කොට, ”මෙන්න, මාගේ මෑණියෝ සහ සහෝදරයෝ!
50ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන කවුරුන් වුව ද, ඔව්හු මාගේ සහෝදරයාත්, මාගේ සහෝදරීත්, මාගේ මෑණියෝත් ය”යි වදාළ සේක.