ජූලි 2027

බ්‍ර සි සෙ
123
45678910
11121314151617
18192021222324
25262728293031
අද දිනට

කියවීම්

2027 ජූලි 2

Ordinary Weekday

දවසේ දේව මෙහෙය
First Reading

උත්පත්ති කථාව 23: 1-4, 19; 24: 1-8, 62-67

1සාරා අවුරුදු එකසිය විසිහතක් ආයු වළඳා 2කානාන් දේශයේ හෙබ්‍රොන් හෙවත් කිර්යත්-අර්බාහි දී මියගියා ය. ආබ්‍රහම් ඈ ගැන හඬා වැලපුණේ ය. 3පසුව ඔහු ඇයගේ මළසිරුර ළඟින් නැඟිට, හිත්තීවරුන්ට කතා කොට, 4ආගන්තුකයෙක් වූ මම ඔබ සමඟ ටික කලකට වාසය කරන්නෙක්මි. මාගේ භාර්යාවගේ මළසිරුර ගෙන ගොස් වැළලීම පිණිස මට ම උරුම වන ලෙස සොහොන් පොළක් මට දෙන්නැ”යි කීවේ ය. 19පසු ව ආබ්‍රහම්, කානාන් දේශයේ හෙබ්‍රොන් එනම්, මම්රේ ඉදිරියෙහි වූ මක්පේලාවෙහි ඉඩමේ තිබූ ගුහාවෙහි සිය බිරිඳ වන සාරා භූමදාන කෙළේ ය. 1ආබ්‍රහම් වයස්ගත මහල්ලෙක් විය; සමිඳාණන් වහන්සේ ද හැම අතින් ම ඔහුට ආශීර්වාද කොට තිබිණි. 2ඔහු තමා සතු සියල්ල බලාහදාගත් නිවසේ දෙටු මෙහෙකරුවාට කතා කොට, ”කරුණාකර, මාගේ කලවය යට නුඹ අත තබන්න; 3මා පදිංචි වී සිටින කානාන් දේශයේ කාන්තාවන් අතුරින් භාර්යාවක මාගේ පුත්‍රයාට නුඹ තෝරා නොගන්නා ලෙසත්, 4මාගේ රටට, මාගේ ඥාතීන් අතරට නුඹ ගොස්, මා පුත් ඊසාක්ට භාර්යාවක ගන්නා ලෙසත්, ස්වර්ගයේ දෙවියන් වහන්සේ ද, පොළොවේ දෙවියන් වහන්සේ ද වන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් මම නුඹ දිවුරවමි”යි කීවේ ය. 5මෙහෙකරුවා එවිට ඔහුට කියනුයේ, ”සමහරවිට ඒ කාන්තාව මා සමඟ මේ රටට ඒමට අකමැති වන්නට පුළුවන, එසේ වුවහොත් ඔබ නික්ම ආ රටට ම, මා ඔබේ පුත්‍රයා ගෙන යා යුතු දැ”යි ඇසී ය. 6ආබ්‍රහම් උත්තර දෙමින්, ”මාගේ පුතා නම් නැවත එහි නොගෙන යෑමට තරයේ සිතට ගන්න. 7මාගේ පියාගේ ගෘහයෙන් ද මාගේ ඥාතීන්ගේ දේශයෙන් ද මා ගෙනා, මට දිවුරා වදාළ, ස්වර්ගයෙහි දෙවි සමිඳාණන් වහන්සේ, ‘මේ රට නුඹේ පෙළපතට දෙන්නෙමි. නුඹට පෙරටු ව උන් වහන්සේ සිය දූතයා යවන සේක. නුඹ ඒ රටින් මාගේ පුත්‍රයාට භාර්යාවක ගත යුතු ය’යි මට වදාළ සේක. 8නුඹ කැටුව ඒමට ඒ කාන්තාව අකමැති වුවහොත් මා ඉදිරියෙහි දුන් දිවුරුමෙන් නුඹ නිදහස් ය. එහෙත්, නුඹ මා පුත්‍රයා නම්, එහි යළි නොගෙන යා යුතුය”යි කීවේ ය. 62එකල නේගෙබ් ප්‍රදේශයෙහි පදිංචි ව සිටි ඊසාක්, ලහයි-රොයි නම් ස්ථානයේ ළිඳ අසල පාළුකරයට පැමිණ සිටියේ ය. 63ඉර බැස යද්දී ඔහු කෙතෙහි ඇවිදිමින්, හිස ඔසවා බලන විට ඔටුවන් එනු දුටුවේ ය. 64රෙබෙකා ද හිස ඔසවා බලන විට ඊසාක් දුටුවා ය. එවිට ඈ ඔටුවා පිටින් බැස 65මෙහෙකරුවා අමතා, ”අප හමුවීමට කෙතෙහි සිට ඇවිදගෙන එන මේ මිනිසා කවරෙක් දැ”යි විචාළා ය. ඔහු ද පිළිතුරු දෙමින්, ”ඒ මාගේ ස්වාමියා ය”යි කී ය. එවිට ඈ සළුව ගෙන මුහුණ වසාගත්තා ය. 66මෙහෙකරුවා තමා කළ සියල්ල ඊසාක්ට පැවසී ය. 67ඊසාක් ද, රෙබෙකා තම මවගේ කූඩාරමට ගෙනැවිත්, ඇය සරණ පාවාගත්තේ ය. ඈ ඔහුගේ බිරිඳ වූවා ය. ඔහු ඇයට ප්‍රේම කෙළේ ය. මෙලෙස ඊසාක් තම මවගේ මරණින් පසු සැනසීමට පත් විය.
Responsorial Psalm

ගීතාවලිය 106: 1b-2, 3-4a, 4b-5

1සමිඳුන් පසසන්න; සමිඳුන්ට තුති පුදන්න; මන්ද, එතුමාණෝ යහපත් ය; එතුමන්ගේ තිර පෙම සදහට ම පවතින්නේ ය. 2සමිඳුන්ගේ ප්‍රබල ක්‍රියා කියන්නත්, එතුමන්ගේ සියලු පැසසුම් ගයන්නත් පුළුවන් කවරෙකුට ද? 3යුක්තිය රක්නා අය ද හැම කල්හි දමිටුකම් කරන අය ද භාග්‍යවන්තයෝ ය. 4සමිඳුනි, ඔබේ සෙනඟට කරුණාව දක්වන විට මා සිහි කළ මැනව; ඔවුන් ගළවන විට මට උපකාර කළ මැනව. 5ඔබේ තෝරාගත් සෙනඟගේ ශුභසිද්ධිය දකින්නත්, ඔබට අයිති අය සමඟ ජය ගී ගයන්නත්, ඔබේ උරුමයෙන් මහිමය ලබන්නත් මට ඉඩ දුන මැනව.
Alleluia

ශුද්ධ වූ මතෙව් 11: 28

28වෙහෙස වන, බර උසුලන සියල්ලෙනි, මා වෙත එන්න; මම ඔබට සහනය දෙමි.
Gospel

ශුද්ධ වූ මතෙව් 9: 9-13

9ජේසුස් වහන්සේ එතැනින් යද්දී රේගු පොළේ හුන් මතෙව් නම් මිනිසෙකු දැක, ”මා අනුව එන්නැ”යි ඔහුට වදාළ සේක. ඔහු නැඟිට උන් වහන්සේ අනුව ගියේ ය. 10තවද, ජේසුස් වහන්සේ ඔහුගේ නිවෙසහි වැඩහුන් කල, බොහෝ අයකැමියෝ ද පව්කාරයෝ ද අවුත් උන් වහන්සේ සහ ශ්‍රාවකයන් සමඟ හිඳගත්හ. 11පරිසිවරු ඒ දැක, ”ඔබේ ඇදුරු තුමා අයකැමියන් ද පව්කාරයන් ද සමඟ කෑම කන්නේ මන්දැ”යි උන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් ඇසූ හ. 12උන් වහන්සේ ඒ අසා ඔවුන්ට කතා කොට, ”රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදෙකුගෙන් වැඩක් නැත. 13‘මම යාග පූජාවට නොව, දයාවට කැමැත්තෙමි’යි යන කීමේ අර්ථය ඔබ ගොස් තේරුම්ගන්න. මා ආයේ දමිටුන් නොව පවිටුන් කැඳවීමට ය”යි වදාළ සේක.