කියවීම්
2027 ජූලි 27
Ordinary Weekday
දවසේ දේව මෙහෙය
First Reading
නික්මයාම 33: 7-11; 34: 5b-9, 28
7මෝසෙස් මණ්ඩපය රැගෙන කඳවුරෙන් පිටත, ඊට ඈතින් එය පිහිටුවීමට පුරුදු ව සිටියේ ය. ඔහු එයට සම්මුඛ මණ්ඩපය කියා නම් කෙළේ ය. සමිඳාණන් වහන්සේගේ උපදෙස් ලබාගැනීමට ඕනෑ වූ සෑම කෙනෙකු ම කඳවුරින් පිටත වූ සම්මුඛ මණ්ඩපයට යා යුතු විය.
8තවද, මෝසෙස් සම්මුඛ මණ්ඩපයට ඇතුළු වන පිණිස පිටතට ගිය කල, සියල්ලෝ ම නැඟිට තම තමන්ගේ කූඩාරම් දොරටු ළඟ සිටගෙන ඔහු සම්මුඛ මණ්ඩපයට ඇතුළු වන තෙක් ඔහු දෙස බලා සිටියහ.
9මෝසෙස් සම්මුඛ මණ්ඩපයට ඇතුළු වූ විට ම වලා ටැඹ බැස, එහි දොරටුව ළඟ සිටගති. සමිඳාණන් වහන්සේ මෝසෙස් සමඟ කතා කළ සේක.
10සියලු සෙනඟ සම්මුඛ මණ්ඩපයේ දොර ළඟ වූ වලා ටැඹ දුටු විට ඔව්හු නැඟිට තම තමන්ගේ කූඩාරම් දොරටු අසල සිටගෙන නමස්කාර කළහ.
11යමෙකු තම මිතුරා හා සමඟ කතා කරනු මෙන් සමිඳාණන් වහන්සේ මෝසෙස් සමඟ මුහුණට මුහුණ ලා කතා කළ සේක. ඉන්පසු ඔහු කඳවුරට එන්නට ආපසු හැරුණ නමුත් ඔහුගේ තරුණ සේවක නූන්ගේ පුත්, ජෝෂුවා සම්මුඛ මණ්ඩපයෙන් නික්ම නොගියේ ය.
5සමිඳාණන් වහන්සේ ද වලාකුළක ආකාරයෙන් බැස, එහි ඔහු සමඟ සිටගෙන, ‘සමිඳාණන් වහන්සේ’ යන ස්වකීය නාමය ප්‍රකාශ කළ සේක.
6උන් වහන්සේ ඔහු ඉදිරියෙන් ගමන් කරමින්, ”මම සමිඳාණන් වහන්සේ ය. මම දයානුකම්පාවෙන් පූර්ණ, වහා නොකිපෙන සුලු, මහා කාරුණික සහ විශ්වාසදායී දෙවියන් වහන්සේ ය;
7මම දහස් ගණනකට කරුණාව පාමින්, දුෂ්ටකමට ද නපුරට හා පාපයට ද කමාව දෙන්නෙමි. එහෙත් වරදකරුවන් නිදහස් නොකර, පියවරුන්ගේ පව් නිසා තුන් වන, හතර වන දරු පරපුර දක්වා ඔවුන්ගේ දරු මුණුබුරන්ට දඬුවම් කරන දෙවියන් වහන්සේ මම යැ”යි වදාළ සේක.
8මෝසෙස් ද වහා බිමට හිස නමා නමස්කාර කෙළේ ය.
9ඉන්පසු ඔහු කතා කොට, ”සමිඳුනි, ඔබ ඉදිරියෙහි මම අනුග්‍රහය ලබා ඇත්තෙම් නම්, මාගේ සමිඳුන් වන ඔබ අප සමඟ වඩින ලෙස මම අයැද සිටිමි. මේ සෙනඟ නම් මුරණ්ඩු ය. අපේ දුෂ්ටකම හා පාප කමා කොට අප ඔබේ ම උරුමය වශයෙන් ගත මැනව”යි කී ය.
28මෝසෙස් ද කන්ද මත සමිඳාණන් වහන්සේ සමඟ දාවල් හතළිහක් හා රාත්‍රි හතළිහක් කිසිවක් නොකා නොබී සිටියේ ය. ඔහු ගිවිසුමේ වචන වන දස පණත ගල් පුවරුවල සටහන් කෙළේ ය.
Responsorial Psalm
ගීතාවලිය 103: 6-7, 8-9, 10-11, 12-13
6සමිඳාණෝ සාධාරණ ලෙස ක්‍රියා කරන සේක. පීඩිතයන්ට එතුමාණෝ යුක්තිය ඉටු කරන සේක.
7සමිඳාණෝ ස්වකීය මාර්ග මෝසෙස්ටත්, තම බලවත් ක්‍රියා ඉශ්රායෙල් සෙනඟටත් දැක් වූ සේක.
8සමිඳාණෝ අනුකම්පාවෙන් හා දයාවෙන් පරිපූර්ණ ය; නොකිපෙන සුලු ය, අතිශයින් කරුණාවන්ත ය.
9එතුමාණෝ නිතර තරවටු නොකරන සේක; සදහට ම සිතෙහි කෝපය තබා නොගන්න සේක.
10එතුමාණෝ අපේ පාපවලට සරිලන ලෙස අපට දඬුවම් නොදෙන සේක; අපේ අයුතුකම්වලට සැසඳෙන ලෙස ප්‍රතිවිපාක නොදෙන සේක.
11මන්ද, පොළොවට ඉහළින් අහස උස් ව තිබෙන්නාක් මෙන් එතුමාණන් කෙරෙහි ගරුබිය පාන අයට එතුමාණන්ගේ කරුණාව මහත් ය.
12නැගෙනහිරෙන් බටහිර ඈත් ව තිබෙන්නාක් මෙන් එතුමාණෝ අපේ පාප අපෙන් දුරු කරන සේක.
13පියෙකු දරුවන්ට අනුකම්පා කරන සේ සමිඳාණෝ, තමන් කෙරෙහි ගරුබිය ඇත්තන්ට අනුකම්පා කරන සේක.
Gospel
ශුද්ධ වූ මතෙව් 13: 36-43
36එවිට උන් වහන්සේ ජනකාය යන්න හැර ගෙට වැඩිය සේක. ශ්‍රාවකයෝ උන් වහන්සේ වෙත අවුත්, ”කෙතේ කිරිඳි පිළිබඳ උපමාව අපට පහදා දුන මැනව”යි කී හ.
37උන් වහන්සේ උත්තර දෙමින්, මෙසේ වදාළ සේක: ”හොඳ බීජ වපුරන තැනැත්තේ නම්, මනුෂ්‍ය-පුත්‍රයාණෝ ය;
38කෙත නම් ලෝකය ය; හොඳ බීජ නම් රාජ්‍යයට අයිති අය ය; කිරිඳි නම් නපුරාට අයිති අය ය.
39ඒවා වපුළ සතුරා නම් යක්ෂයා ය; කපන කාලය නම් යුගාන්තය ය; කපන්නෝ නම් දේව දූතයෝ ය.
40කිරිඳි එක් කොට ගින්නෙහි දවන්නේ යම් සේ ද, යුගාන්තයේ දී එසේ ම වන්නේ ය.
41මනුෂ්‍ය-පුත්‍රයාණෝ ස්වකීය දූතයන් එවන සේක. ඔව්හු උන් වහන්සේගේ රාජ්‍යයේ බාධා උපදවන සියල්ල ද අදමිටුකම් කරන්නන් ද එක් කොට,
42ගිනි උදුනෙහි හෙළන්නෝ ය. එහි දී වැලපීම ද දත්මිටි කෑම ද වන්නේ ය.
43එකල දැහැමි අය තම පියාණන් වහන්සේගේ රාජ්‍යයෙහි සූර්යයා මෙන් බබළන්නෝ ය. සවන් ඇත්තෝ සවන් දෙත් වා!”