ජූලි 2027

බ්‍ර සි සෙ
123
45678910
11121314151617
18192021222324
25262728293031
අද දිනට

කියවීම්

2027 ජූලි 6

Ordinary Weekday/ Maria Goretti, Virgin, Martyr

Maria Goretti, Virgin, Martyr
First Reading

උත්පත්ති කථාව 32: 23-33

23ඔහු ඔවුන් රැගෙන ගඟින් එගොඩ කළ පසු, තමා සතු දේ ද එතෙරට යැවී ය. 24එහෙත් ජාකොබ් තනි ව සිටියේ ය. එවිට එක්තරා මිනිසෙක්, පහන් වන තුරු ඔහු සමඟ පොරබැදී ය. 25ඒ තැනැත්තා ද ජාකොබ්ගෙන් තමාට ජය නොලැබෙන බව දුටු විට, ඔහුගේ කලවා සන්ධියට පහරක් ගැසී ය. එවිට ඔහුගේ කලවා සන්ධිය විසන්ධි විය. 26ඒ තැනැත්තා ද, ”පහන් වේගන එන බැවින් මට යන්න හරින්නැ”යි කී විට ජාකොබ්, ”ඔබ මට ආශීර්වාද කළොත් මිස මම ඔබට යන්න නොහරින්නෙමි”යි උත්තර දුනි. 27එවිට ඒ තැනැත්තා, ”ඔබේ නම කුමක් දැ”යි ඇසූ විට ඔහු ද, ”ජාකොබ්” යයි කීයෙන්, 28මින්මතු ඔබ ජාකොබ් නොවනු ඇත. ඔබ දෙවියන් වහන්සේ හා මනුෂ්‍යයා සමඟ පොරබදා ජයගත් බැවින් ඔබේ නම ඉශ්රායෙල් වන්නේ ය”යි කී ය. 29ජාකොබ් කතා කොට, ”කරුණාකර ඔබේ නම ද මට කියන්නැ”යි ඉල්ලී ය. එවිට ඔහු, ”ඔබ, මාගේ නම අසන්නේ මන්දැ”යි කියා ජාකොබ්ට එහි දී ආශීර්වාද කෙළේ ය. 30මා දෙවියන් වහන්සේ මුහුණට මුහුණ ලා දුටු පසුත් මාගේ ජීවිතය තවමත් ආරක්ෂා වී ඇත” කියා ජාකොබ් එම ස්ථානයට පෙනුයෙල් යයි නම තැබී ය. 31ඔහු ද පෙනුයෙල් පසු කර යද්දී, ඉර උදාවිය. තමාගේ කලවයේ වේදනාව නිසා ඔහු කොරගසමින් ගියේය. 32මේ සිද්ධිය නිසා ඉශ්රායෙල් ජනතාව කලවා සන්ධිය මත වූ මස් ගොබය අද දක්වා අනුභව නොකරති. ඒ මන්ද, ජාකොබ් පහර ලද්දේ කලවයේ එම සන්ධියට බැවිනි.
Responsorial Psalm

ගීතාවලිය 17: 1b, 2-3, 6-7ab, 8b and 15

1සමිඳුනි, මාගේ මේ සාධාරණ යැදුමට සවන් දුන මැනව; මාගේ හඬගැසීමට කන් දුන මැනව. මන්ද, මා එය පුදන්නේ අවංක සිතිනි. 2මා ගැන නඩු තීන්දුව ඔබෙන් ම පැමිණේ වා! ඔබේ දෙනෙතට යුක්තිය පෙනේ වා! 3ඔබ මසිත උරගා බැලූ සේක; රාත්‍රියේ මා පරීක්ෂා කළ සේක; ඔබ මා විමසා බැලූ සේක; එහෙත්, කිසි නපුරක් නැති බව දුටු සේක. 6දෙවිඳුනි, ඔබ මට පිළිතුරු දෙන නිසා මම ඔබට හඬගසමි. මා අයැදුමට කන් යොමු කළ මැනව; මාගේ බස් ඇසුව මැනව. 7මිදුම්කරුනි, ඔබේ දකුණු අතින් සතුරු බියෙන් අප ගළවනු මැනව; ඔබේ අසිරිමත් පෙම හෙළි කළ මැනව. 8ඔබේ ම දෙනෙත රක්නා සේ මා රැකගන්න; ඔබ පියාපත් සෙවණෙහි සුරැකි ව මා සඟවන්න. 15මා දමිටු හෙයින් මම ඔබේ මුහුණ දකින්නෙමි; මා අවදි වන කල ඔබේ ස්වරූපය දැක සෑහීමට පත් වන්නෙමි.
Alleluia

ශුද්ධ වූ ජොහන් 10: 14

14යහපත් බැටළු එඬේරා මම වෙමි; මම මගේ බැටළුවන් අඳුනමි; ඔව්හු ද මා අඳුනති.
Gospel

ශුද්ධ වූ මතෙව් 9: 32-38

32ඔවුන් පිටත් ව යද්දී දුෂ්ටාත්මාවේශ වූ ගොළුවෙක් උන් වහන්සේ වෙත ගෙනෙන ලද්දේ ය. 33දුෂ්ටාත්මය දුරු කරනු ලැබූ විට ගොළුවා කතා කරන්නට වන. එකල ජනකාය මවිත ව, ”මෙවැන්නක් ඉශ්රායෙල් රටේ කිසි කලෙක දක්නට නොලැබිණි”යි කී හ. 34එහෙත් පරිසිවරු කතා කරමින්, ”මොහු දුෂ්ටාත්මයන් දුරු කරන්නේ දුෂ්ටාත්මාධිපතියාගේ අනුහසින් ය”යි කී හ. 35ජේසුස් වහන්සේ ඔවුන්ගේ ධර්මශාලාවල උගන්වමින් ද, රාජ්‍යය පිළිබඳ සුබ අස්න දේශනා කරමින් ද, හැම අන්දමේ ලෙඩ රෝග සුව කරමින් ද සියලු නුවරවල හා ගම්වල සැරිසැරූ සේක. 36ජේසුස් වහන්සේ ජනකාය දැක, ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන් දුක්ගැහැට විඳිමින් විසිර ගොස් සිටි බැවින් ඔවුන්ට අනුකම්පා කළ සේක. 37එවිට උන් වහන්සේ සිය ශ්‍රාවකයන්ට කතා කොට, ”අස්වැන්න බහුල ය; ගොවීහු විරල ය. 38එහෙයින් අස්වැන්න කැපීමට ගොවීන් එවන ලෙස අස්වැන්න භාර හිමියා හට අයැදින්නැ”යි වදාළ සේක.