කියවීම්
2027 ජූලි 24
Ordinary Weekday/ Optional Memorial of the Blessed Virgin Mary/ Sharbel Makhluf, Priest
Sharbel Makhluf, Priest
First Reading
නික්මයාම 24: 3-8
3මෝසෙස් ද ඇවිත් සමිඳාණන් වහන්සේගේ සියලු ආඥා හා නියෝග සෙනඟට දැන්වී ය. සියලු සෙනඟ ද එක හඬින් උත්තර දෙමින්, ”සමිඳාණන් වහන්සේගේ ආඥා සියල්ල ම අපි ඉටු කරන්නෙමු”යි කී හ.
4ඉන්පසු ඔහු උන් වහන්සේගේ ආඥා සියල්ල ම ලියා තැබී ය. පසු දින අලුයම ඔහු නැඟිට, කන්ද පාමුල පූජාසනයක් ද ඉශ්රායෙල් ගෝත්‍ර දොළොස අනුව ශිලාස්තම්භ දොළහක් ද ඉදි කෙළේ ය.
5පසුව ඔහු ඉශ්රායෙල් ජනයා අතරෙන් තරුණයන් යැවී ය. ඔව්හු දවන යාග පූජා හා ගවයන් මරා, සහභාගිකමේ පූජා ද සමිඳාණන් වහන්සේට ඔප්පු කළහ.
6මෝසෙස් සතුන්ගේ ලෙයින් දෙකෙන් කොටසක් ගෙන එය බඳුන්වල දැමී ය, ලෙයින් අඩක් පූජාසනය මත ඉස්සේ ය.
7පසුව ඔහු ගිවිසුම් පොත රැගෙන සෙනඟට ඇසෙන ලෙස එය කියවී ය. ඔව්හු ද පිළිතුරු දෙමින්, ”සමිඳාණන් වහන්සේ වදාළ සියල්ල අපි ඉටු කරන්නෙමු”යි කී හ.
8එවිට මෝසෙස් ලේ රැගෙන, සෙනඟ මත ඉසිමින්, ”මෙය වනාහි සමිඳාණන් වහන්සේ මෙකී සියලු ආඥා ඔබට දෙමින්, ඔබ සමඟ කළ ගිවිසුම ස්ථිර කරන ලේ ය”යි පැවසී ය.
Responsorial Psalm
ගීතාවලිය 50: 1b-2, 5-6, 14-15
1සව් බලැති දෙවි සමිඳාණෝ ශ්‍රී මුඛය විවෘත කර පෙරදිග පටන් අපර දිග දක්වා මුළු ලොවට කතා කරන සේක.
2අලංකාරයෙන් අගතැන් පත් සියොන්හි සිට, දෙවිඳාණෝ වැජඹෙන සේක.
5පුද පූජා ඇති ව මා සමඟ ගිවිසුමක් කළ මාගේ සැදැහැවතුන් මා වෙත රැස් කරන්නැ”යි එතුමාණෝ වදාළ සේක.
6දෙවිඳාණන් දැහැමි බව ද දෙවිඳාණන් විනිසකරුවන් බව ද අහස් මඬල ලොවට දන්වයි.
14දෙවියන්ට තුති දීම නුඹේ යාගය වේවා. සව් බලැති දෙවිඳුන්ට නුඹේ භාර ඉටු කරන්න.
15විපත්තියේ දී මට යාච්ඤා කරන්න; මම නුඹ මුදන්නෙමි. නුඹ මට ගෞරව කරනු ඇත.”
Alleluia
ජාකොබ් 1: 21bc
21එහෙයින් සියලු අධම දෙය ද දමනය කළ නොහැකි දුෂ්ටකම ද ඉවත ලා ඔබට ගැළවීම සාදා දිය හැකි, ඔබ සිත් සතන්හි මුල් බැසගත් දහම් පණිවුඩය යටහත් ලෙස පිළිගන්න.
Gospel
ශුද්ධ වූ මතෙව් 13: 24-30
24උන් වහන්සේ තවත් උපමාවක් මෙසේ වදාළ සේක:
25ස්වර්ග රාජ්‍යය හොඳ බීජ වපුළ මිනිසෙකුට සමාන ය. මිනිසුන් නිදා සිටිය දී ඔහුගේ සතුරා අවුත් තිරිඟු අතර කිරිඳි වපුරා ගියේ ය.
26තිරිඟු පැල නැඟී, කරල් හටගත් කල කිරිඳිත් මතු විය.
27එවිට ගෘහ මූලිකයාගේ දාසයෝ අවුත්, ‘ස්වාමීනි, ඔබේ කෙතෙහි ඔබ හොඳ බීජ වපුළා නොවේ ද? එසේ නම් කිරිඳි කොහෙන් දැ’යි ඔහුගෙන් ඇසූ හ.
28‘මෙය සතුරෙකුගේ වැඩක් ය’යි ඔහු කී ය. එවිට දාසයෝ කතා කොට, ‘එසේ නම්, අප ගොස් ඒවා උදුරාදමන්න දැ’යි ඔහුගෙන් ඇසූ හ.
29එහෙත්, ඔහු උත්තර දෙමින්, ‘එසේ නොකරන්න. ඔබ කිරිඳි උදුරද්දී ඒ සමඟ තිරිඟුත් ඉදිරෙන්නට පුළුවන.
30ගොයම් කපන කාලය දක්වා දෙවගේ ම එකට වැඩෙන්න හරින්න. ඉන්පසු ගොයම් කපන කාලයේ දී පළමු කොට කිරිඳි එකතු කොට දවන පිණිස මිටි බඳින්න. තිරිඟු මාගේ අටුවේ රැස් කරන්නැ යි කපන්නන්ට කියමි’යි කීවේ ය.”