කියවීම්
2027 ජූලි 15
Bonaventure, Bishop, Religious, Doctor Obligatory Memorial
දවසේ දේව මෙහෙය
First Reading
නික්මයාම 3: 13-20
13එවිට මෝසෙස් දෙවියන් වහන්සේට කතා කොට, ”එසේ නම් මා, ඉශ්රායෙල් සෙනඟ වෙත ගොස්, ‘නුඹලාගේ පියවරුන්ගේ දෙවියන් වහන්සේ මා නුඹලා වෙත එවූ සේකැ’යි කී විට, ඔවුන් ද, ‘උන් වහන්සේගේ නම කුමක් දැ’යි මාගෙන් අසන කල මම ඔවුන්ට කුමක් කියම් දැ”යි ඇසී ය.
14උන් වහන්සේ මෝසෙස්ට පිළිතුරු දෙමින්, ”මම වනාහි ස්වයම්භූ නම් තැනැන් වහන්සේ වෙමි. ‘ස්වයම්භූ තැනැන් වහන්සේ ඔබ වෙත මා එවූ සේකැ’යි නුඹ ඉශ්රායෙල් ජනයාට කිව යුතු ය”යි වදාළ සේක.
15තවදුරටත් උන් වහන්සේ මෝසෙස්ට කතා කරමින්, මෙසේ වදාළ සේක: ” ‘ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ද ඊසාක්ගේ දෙවියන් වහන්සේ ද ජාකොබ්ගේ දෙවියන් වහන්සේ ද වන නුඹලාගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ වෙත මා එවූ සේකැ’යි කිව යුතු ය; සදහට ම මෙය මාගේ නාමය වේ; මතු සියලු පරම්පරාවෝ මේ නාමයෙන් මට ආමන්ත්‍රණය කරති.”
16නුඹ ගොස් ඉශ්රායෙල් ජනයාගේ ප්‍රජා මූලිකයන් රැස් කොට, ඔවුන් අමතා, ‘ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද ජාකොබ්ගේ ද දෙවියන් වහන්සේ වන, ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මට දර්ශනය වී කතා කොට, මම සැබැවින් ම ඔබ වෙත පැමිණ, මිසර වාසීන් ඔබට කරන දේ දිටිමි.
17එබැවින් ඔබ පීඩා විඳින මිසර දේශයෙන් මා ඔබ පිටත්කොට කානානිවරුන්ගේ හා හිත්තීවරුන්ගේ ද අමෝරිවරුන්ගේ හා පෙරිස්සිවරුන්ගේ ද හිවීවරුන්ගේ හා ජෙබුසිවරුන්ගේ ද දේශය වන, කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන දේශයකට ඔබ ගෙන එන්ට මම ඉටාගෙන සිටිමි’යි කියන්න.
18ඔව්හු ද නුඹේ හඬට සවන් දෙනු ඇත. නුඹ ද ඉශ්රායෙල්ගේ ප්‍රජා මූලිකයන් ද මිසරයේ රජු වෙත ගොස් ඔහුට කතා කොට, ‘හෙබ්‍රෙව්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අපට හමු වූ සේක. එබැවින් අපගේ දෙවි සමිඳාණන් වහන්සේට පුද පූජා ඔප්පු කරන ලෙස, තුන් දවසක ගමනක්, පාළුකරයට යන්නට අපට අවසර දෙන ලෙස අපි ඔබෙන් බැගෑපත් ව ඉල්ලමු’යි කියන්න.
19එහෙත් මිසරයේ රජ, තදින් බල කරනු ලැබුවොත් මිස නුඹලාට යන්නට අවසර නොදෙන බව මට සහතික ය.
20මම ද මාගේ බාහු බලය පා, මා එහි කරන්ට යන හාස්කම් සියල්ලෙන් මිසරයට පහර දෙන්නෙමි. ඉන්පසු ඔහු නුඹලාට යන්ට අවසර දෙනු ඇත.
Responsorial Psalm
ගීතාවලිය 105: 1 and 5, 8-9, 24-25, 26-27
1සමිඳුන්ට තුති පුදන්න, එතුමන්ගේ නාමයෙන් අයැදින්න, ජාතීන් අතරේ එතුමන්ගේ ක්‍රියා පළ කරන්න.
5එතුමන්ගේ මෙහෙකරුන් වූ ඉශ්රායෙල් වංශයෙනි,
8එතුමන් පරම්පරා දහසක් දක්වා අණ කළ සිය ගිවිසුම සදහට ම සිහි කරන සේක.
9ඒ ගිවිසුම එතුමාණෝ ආබ්‍රහම් සමඟ කළ සේක. ඊසාක්ට ද දිවුරුම් දුන් සේක.
24සමිඳාණෝ ඔහුගේ සෙනඟට බොහෝ දරුවන් දුන් සේක; ඔවුන්ගේ සතුරන්ට වඩා ඔවුන් බලවත් කළ සේක.
25ඔහුගේ සෙනඟට ද්වේෂ කරන්නත්, ඔහුගේ සේවකයන් වංචාවෙන් රවටන්නත් සමිඳාණෝ මිසර වැසියන් පෙළඹවූ සේක.
26එවිට සිය සේවක මෝසෙස් ද තමන් තෝරාගත් ආරොන් ද සමිඳාණෝ යැවූ සේක.
27ඔව්හු දෙවිඳුන්ගේ බලවත් ක්‍රියා කළෝ ය; මිසරයේ අසිරිමත් ක්‍රියා කළෝ ය.
Alleluia
ශුද්ධ වූ මතෙව් 11: 28
28වෙහෙස වන, බර උසුලන සියල්ලෙනි, මා වෙත එන්න; මම ඔබට සහනය දෙමි.
Gospel
ශුද්ධ වූ මතෙව් 11: 28-30
28වෙහෙස වන, බර උසුලන සියල්ලෙනි, මා වෙත එන්න; මම ඔබට සහනය දෙමි.
29මා ගුණවත්, මෘදු, නිහතමානී කෙනෙකු බැවින් මාගේ වියගහ කරට ගෙන මාගෙන් ඉගෙනගන්න. එවිට ඔබට සහනය ලැබෙනු ඇත.
30මාගේ වියගහ පහසු ය; මාගේ බර ද සැහැල්ලු ය.”