කියවීම්
2027 ජූලි 18
Sixteenth Sunday in Ordinary Time
දවසේ දේව මෙහෙය
First Reading
ජෙරමියා 23: 1-6
1මාගේ තණ බිමේ පෝෂණය වන බැටළුවන් වනසා විසුරුවා හරින එඬේරුන් පිට සමිඳාණන් වහන්සේගෙන් පැමිණෙන විපතක මහත!
2මාගේ සෙනඟ පෝෂණය කළ යුතු මේ එඬේරුන් ගැන ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ වදාරන දේට සවන් දෙන්න, ‘නුඹලා මාගේ බැටළුවන් රැක බලා නොගෙන, ඔවුන් විසුරුවා පන්නාදැමුවහු ය. දැන් මම නුඹලාගේ නපුරු ක්‍රියා නිසා නුඹලාට දඬුවම් කරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.
3එහෙත්, මාගේ රැළෙන් ඉතිරි වන්නන් මා විසින් ඔවුන් පන්නාදමනු ලැබූ සියලු දේශවලින් මම ම රැස් කර නැවත ඔවුන්ගේ ගාලට ගෙනෙන්නෙමි; ඔව්හු බෝ වී වැඩි වන්නෝ ය.
4ඔවුන් පෝෂණය කරන පිණිස මම එඬේරුන් පත් කරන්නෙමි. ඔව්හු තවත් බිය නොවන්නෝ ය; නොකැළඹෙන්නෝ ය. ඔවුන්ගෙන් එකෙක් වත් නැති නොවන්නේ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.
5ස්වාමීන් වන මම මෙසේ වදාරමි: දාවිත්ගේ පෙළපතින් දැහැමි රජ කෙනෙකු නැඟී එන කාලය පැමිණෙන්නේ ය. එතුමාණන් නැණනුවණින් රජකම් කරමින්, දැහැමිකමත් යුක්තියත් දේශය මුළුල්ලේ ඉටු කරනු ඇත.
6එතුමන්ගේ රජ දවස, ජුදා ගළවනු ලබන්නෝ ය. ඉශ්රායෙල්වරු සුරැකි ව වසන්නෝ ය. ‘අපේ දැහැමිතාව’ යන්නෙන් එතුමාණෝ නම් කරනු ලබන්නාහ.
Responsorial Psalm
ගීතාවලිය 23: 1-3, 3-4, 5, 6
1සමිඳාණෝ මා එඬේරාණෝ ය; අග හිඟ මට නොවන්නේ ය.
2එතුමාණෝ නිල් තණ බිම් මත මා සතප්වා, නිසල දිය වෙත පමුණුවා,
3මා පණගන්වන සේක. සිය නාමයේ මහිමය සැලසෙන ලෙස දමිටු මඟ මා ගෙන යන සේක.
4මරණය වැනි ගන’ඳුරු රුදුරු නිම්නය මැදින් ගියත්, ඔබ මා සමඟ බැවින්, මට කිසි බියක් නොවන්නේ ය. ඔබේ කෙවිට ද සැරයටිය ද මා නියත සැනසිල්ල වන්නේ ය.
5ඔබ මාගේ සතුරන් ඉදිරියේ දී, මංගල බොජුනක් පිළියෙළ කර දී, මා සිරස තෙලින් ආලේප කරන සේක. මාගේ කුසලාන උතුරා යන්නේ ය.
6ඔබේ දයාව හා කරුණාව නියත ව, දිවිහිමියෙන් මා අනුව එන්නේ ය. සමිඳුන්ගේ නිවාසය මාගේ සදාතන වාසය වන්නේ ය.
Second Reading
එපීස 2: 13-18
13එහෙත් ක්‍රිස්තුන් වහන්සේ තුළින්, වරක් දුර සිටියා වූ ඔබ, දැන් උන් වහන්සේගේ දිවි පිදීම කරණකොටගෙන ළං කරනු ලැබුවහු ය.
14ජුදෙව්වරුන් හා විජාතිකයන් එක්කරමින් උන් වහන්සේ අප අතර සමඟිය ඇති කළ සේක. උන් වහන්සේ මිනිසත් බව ගෙන, ඔවුන් වෙන් කළ, ඔවුන් අතර වෛරය ඇති කළ, මැද බිත්තිය කඩා දැමූ සේක.
15මේ දෙජාතිය, නව මනුෂ්‍යත්වයක් කොට මවා, සමඟිය ඇති කරන පිණිස, උන් වහන්සේ නීති නියෝග ඇතුළත් ව්‍යවස්ථාව අවලංගු කළ සේක.
16කුරුසිය කරණකොටගෙන උන් වහන්සේ වෛරය නැති කර, දෙවියන් වහන්සේ උදෙසා ඒ දෙජාතිය එක ම ශරීරයක් වන පිණිස සමඟි කර වදාළ සේක.
17එසේ උන් වහන්සේ වැඩම කර, දුර සිටියා වූ ඔබටත්, ළඟ සිටියා වූ අයටත්, සාමයේ පණිවුඩය දේශනා කර වදාළ සේක.
18එක ම ආත්මයාණන් වහන්සේ තුළ, ජුදෙව්වරුන් හා විජාතීන් යන දෙපක්ෂයට, පියාණන් වහන්සේ වෙතට පිවිසීමේ වරය ලැබිය හැක්කේ, ක්‍රිස්තුන් වහන්සේ නිසා ය.
Alleluia
ශුද්ධ වූ ජොහන් 10: 27
27මාගේ බැටළුවෝ මාගේ කටහඬ අසති. මම ද ඔවුන් අඳුනමි; ඔව්හු ද මා පසුපස්සේ එති.
Gospel
ශුද්ධ වූ මාර්ක් 6: 30-34
30ප්‍රේරිතයෝ ජේසුස් වහන්සේ වෙත රැස් ව තමන් කළ සියල්ල ද ඉගැන්වූ සියල්ල ද උන් වහන්සේට සැළ කළහ.
31එවිට උන් වහන්සේ කතා කරමින්, ”ඔබ පමණක් වෙන් ව, හුදකලා තැනකට අවුත් මඳ වේලාවක් විවේක ගන්නැ”යි ඔවුන්ට වදාළ සේක. එසේ කීවේ, ඔවුන්ට කෑම කන්න වත් අවකාශයක් නැති තරමට යන එන අය බොහෝ වූ බැවිනි.
32එවිට ඔව්හු පමණක් ඔරුවෙන් හුදකලා තැනකට ගියෝ ය.
33බොහෝ දෙනෙක් ඔවුන් යනවා දැක, ඔව්හු කවරහු දැ යි හැඳින, සියලු නුවරවලින් එක් වී ගොඩින් දිව අවුත්, ඔවුන්ට පෙර එහි පැමිණියහ.
34උන් වහන්සේ ගොඩට ආ කල, මහ පිරිසක් දැක, එඬේරෙකු නැති බැටළුවන් වැනි වූ, ඔවුන්ට අනුකම්පා කොට, ඔවුන්ට බොහෝ දේ උගන්වන්න පටන්ගත් සේක.