කියවීම්
2027 ජූලි 13
Ordinary Weekday/ Henry, Married Man
Henry, Married Man
First Reading
නික්මයාම 2: 1-15a
1එකල ලෙවී ගෝත්‍රයේ මිනිසෙක්, එම ගෝත්‍රයේ කාන්තාවක සරණ පාවාගත්තේ ය.
2ඒ ස්ත්‍රිය ගැබ්ගෙන, දරුවෙකු ලැබූ පසු දරුවා රුවැති බව දුටු ඈ, තෙමසක් ඔහු සඟවා තැබුවා ය.
3ඔහු තවත් සඟවා තබාගැන්මට නොහැකි වූ කල, ඈ පන් පෙට්ටියක් ගෙන, එය පිට කීල් හා මැලියම් තවරා, දරුවා එහි බහා, ගං ඉවුරේ බට ගස් අතර එය තැබුවා ය.
4තවද, දරුවා හට කුමක් වේ දෝ කියා දැනගැන්මට ඔහුගේ සහෝදරිය ඈතින් බලා සිටියා ය.
5එවිට ගඟේ ස්නානය කරනු පිණිස පාරාවෝගේ දූ කුමරිය පැමිණියා ය. ඇගේ සේවිකාවෝ ගං ඉවුර දිගේ ඇවිදිමින් සිටියා හ. ඈ බට ගස් අතර වූ පෙට්ටිය දැක, සේවිකාවක යවා, එය ගෙන්වාගෙන,
6ඇරිය විට එහි දරුවෙකු දුටුවා ය. බලන්න, දරුවා ද අඬමින් සිටියේ ය. එවිට ඈ ඔහු කෙරෙහි අනුකම්පා උපදවා, ”මේ හෙබ්‍රෙව් ජාතික දරුවෙකැ”යි කීවා ය.
7එවිට ඔහුගේ සොහොයුරිය පාරාවෝගේ දූ කුමරියට කතා කොට, ”ඔබ උදෙසා දරුවාට කිරි දෙන්නට මා ගොස් හෙබ්‍රෙව් ජාතික කිරි මවක කැඳවාගෙන එන්න දැ”යි විචාළා ය.
8පාරාවෝගේ දියණිය ඈට, ”යන්නැ”යි කීවෙන්, ඈ ගොස් දරුවාගේ මව කැඳවාගෙන ආවා ය.
9එවිට කුමරිය ඈ අමතා, ”මේ දරුවා රැගෙන ගොස්, මා වෙනුවෙන් ඔහුට කිරි දෙන්න, මම ද ඔබට කුලිය දෙමි”යි කී විට ඈ දරුවා රැගෙන ගොස් ඔහුට කිරි දී හැදුවා ය.
10දරුවා වැඩුණු පසු ඈ ඔහු පාරාවෝගේ දියණිය වෙත ගෙනාවෙන්, ඔහු ඈට පුතෙකු සේ විය. තවද ඈ, ”මම ඔහු වතුරෙන් ගොඩ ගතිමි”යි කියා ඔහුට මෝසෙස් යන නම තැබුවා ය.
11එකල මෝසෙස් වයසින් වැඩුණු පසු ඔහු තමාගේ සෙනඟ බලන්නට ගිය විට, ඔවුන් කළ බර වැඩ දිටී ය. තවද, ඔහු තමාගේ ම හෙබ්‍රෙව් ජාතිකයෙකුට මිසර වැසියෙකු පහර දෙනවා දිටී ය.
12එවිට ඔහු වට පිට බලා, කිසිවෙකු නොසිටි බව දැක මිසර වැසියා මරා මළකඳ වැල්ලෙහි සැඟවී ය.
13පසු දින ඔහු නික්ම යන විට හෙබ්‍රෙව් ජාතික දෙදෙනෙකු ගහගනිමින් සිටිනු දිටී ය. වැරැද්ද කළ තැනැත්තාට ඔහු කතා කොට, ”ඔබේ සහෝදරයාට ඔබ පහර දෙන්නේ මන්දැ”යි විචාළේ ය.
14ඔහු පිළිතුරු දෙමින්, ”අපට අධිපතියෙකු හා විනිසකරුවෙකු ලෙස ඔබ පත් කෙළේ කවරෙක් ද? ඔබ මිසර වැසියා මැරුවා සේ ම මාත් මරන්න හදන්නෙහි දැ”යි ඇසී ය. එවිට මෝසෙස් බිය වී, ”ඇත්තට ම කාරණය එළි වී තිබේ ය”යි කියාගත්තේ ය.
15එපවත් සැළ වූ විට පාරාවෝ මෝසෙස් මරාදැමීමට සෙවී ය. එහෙත්, මෝසෙස් පාරාවෝ වෙතින් පලා ගොස් මිදියන් දේශයෙහි පදිංචි විය. ඔහු එහි ළිඳක් ළඟ වාඩි වී සිටියේ ය.
Responsorial Psalm
ගීතාවලිය 69: 3, 14, 30-31, 33-34
3මොරගැසීමෙන් මා විඩාපත් ව මාගේ උගුර වියළී ඇත්තේ ය. මාගේ දෙවිඳුන් ගැන බලා සිටීමෙන් දෙනෙත අඳුරු වී ඇත්තේ ය.
14මට එරී යන්න නොදී මඩ වගුරෙන් මා මුදාගත මැනව! මාගේ සතුරාගෙන් ද ගැඹුරු ජලයෙන් ද මා මුදාගත මැනව!
30එවිට මම ගී ගයා දෙවිඳුන් පසසන්නෙමි; තුති ගී ගයමින් මම එතුමන් බොහෝ සේ පසසන්නෙමි.
31ගවයෙකු පිදීමට වඩා මෙවැන්නක් සමිඳුන්ට ප්‍රසන්න වන්නේ ය. අං සහ කුර සහිත ගොනෙකු පිදීමට වඩා එය ප්‍රසන්න වන්නේ ය.
33මන්ද, සමිඳාණෝ දිළිඳුන් හට සවන් දෙන සේක; හිරගත වී සිටින තම සෙනඟ අත් නොහරින සේක.
34අහසත්, පොළොවත් උන් වහන්සේට ප්‍රශංසා කරත් වා! මුහුදත්, එහි හැසිරෙන සියල්ලෝත් එතුමන්ට ප්‍රශංසා කරත් වා!
Alleluia
ගීතාවලිය 95: 8
8පාළුකරයේ මස්සා නම් ස්ථානයේ සිටි දවසේ දී මෙන් ද මෙරිබා නම් ස්ථානයේ දී මෙන් ද ඔබේ සිත් දැඩි කර නොගන්න.
Gospel
ශුද්ධ වූ මතෙව් 11: 20-24
20එකල උන් වහන්සේගේ ප්‍රබල ක්‍රියාවලින් බොහොමයක් කරනු ලැබූ නගරවල වැසියන් පසුතැවී සිත් හරවා නොගත් බැවින්, උන් වහන්සේ ඒවාට වරද තබන්න පටන්ගෙන මෙසේ වදාළ සේක:
21එම්බා කොරාශීනය, ඔබට වන විපතක මහත! එම්බා බෙත්සයිදාව, ඔබට වන විපතක මහත! ඔබ තුළ කළ ප්‍රබල ක්‍රියා, තීර්හි හා සීදොන්හි කළා නම්, ඒ නගර වැසියන් මීට බොහෝ කලින් ගෝණි රෙදි ඇඳ, අළුයෙහි හිඳ පසුතැවී සිත් හරවාගත් බව පෙන්වනු ඇත.
22එසේ වුව ද දේව විනිශ්චය දවසේ දී ඔබට වඩා තීර් හා සීදොනයට සහනය ලැබෙන්නේ යයි කියමි.
23එම්බා කපර්ණවුම, ඔබ සගලොව දක්වා උසස් කරනු ලබන්නෙහි ද? නැත, පාතාලය දක්වා පහත හෙළනු ලබන්නෙහි ය. ඔබ තුළ කරන ලද ප්‍රබල ක්‍රියා සොදොම්හි කරන ලද්දේ නම්, එය අද වන තුරු පවතිනු ඇත.
24එසේ වුව ද දේව විනිශ්චය දවසේ දී ඔබට වඩා සොදොම් රටට සහනය ලැබෙන්නේ ය.”