ගීතාවලිය 1

පෙර මීළඟ
1දුදනන් උපදෙස් අනුව නොයන, පව්කරුවන්ගේ මඟ නොයන, දෙවිඳුන් ගරහන්නන් ඇසුරු නොකරන, 2සමිඳුන්ගේ විනයෙහි ප්‍රීති ප්‍රමුදිත වන, දිවා රෑ එය භාවනා කරන මිනිසා භාග්‍යවන්තයෙක් වන්නේ ය. 3ඔහු ඇල දොළ අද්දර සිටුවා ඇති, නියම කලට පල දරන, කොළ පර වී නොයන ගසකට සමාන ය; ඔහු කරන සැම දේ සරු සාර වේ. 4පවිටු දනෝ එසේ නොවෙති; ඔව්හු සුළඟේ යන බොල් හා සමාන වන්නෝ ය. 5විනිසය එන දා දුදනන්ට නම් වරද පැවරේ; දමිටුන් සමඟ ඔවුන්ට ගැවසුම් නැත්තේ ය. 6දමිටුන් හට සමිඳාණෝ සරණ වන සේක. පවිටුන්ගේ මාර්ගය විනාශයට යන්නේ ය.